මගේ ජීවිතේ මම ලබපු ලොකුම භාග්‍ය, ශේෂාද්‍රි බිරිඳක් විදියට මගේ ජීවිතයට එකතු වීමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ක්‍රිෂාන්... කාලයකට පස්සේ අලුත් ගීතයක් නිර්මාණය වුණා?

ඔව්... වසර ගණනාවකට පස්සේ අලුතින් සින්දුවක් කරන්න හිතුණා. මම මේ සම්බන්ධයෙන් මගේ යාළුවෙක් වෙන මලින්ද රණසිංහට කිව්වා. ඉතින් අපි දෙන්නා එකතු වෙලා කාලයකට පස්සේ අහලා නැති ගීතයක් කරන්න කතා වුණා. මේ ගීතය පද රචනා කළේ අන්සාෆ් අමීර් (Ansaf Ameer) මල්ලි. ඉතින් අපේ ගීතයේ නම ‘බොනිකර තරුවක්’. අන්සාෆ් මල්ලි ගීතය ලිව්වට පස්සේ අපි ඒක ගැන හිතුවා. ගැහැනු ළමයි දෙන්නෙක් හෝ ගැහැනු ළමයෙක් කරන බොරුව ගැන කරන කතාවක් තමයි ‘බොනිකර තරුවක්’ කියලා කියන්නේ.

අන්සාෆ් ඒ පද ලියලා දුන්නට පස්සේ ඔබ ඒකට කැමති වුණාද? ටිකක් වෙනස් කළාද?

නැහැ. ඒ වචනත් එක්ක අපි ඒකට කැමති වුණා. මම අවුරුදු ගණනාවක් ‘Doctor’ සංගීත කණ්ඩායමත් එක්ක හිටියා. ජිප්සීස් කණ්ඩායමේ ලොකු ආභාෂයක් මට තියෙනවා. සංගීත ජීවිතයේ මම වැඩි වශයෙන්ම සුනිල් පෙරේරා මහතා, පියල් පෙරේරා මහතා ඇතුළු ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම දැකලා තිබුණා. මට කාලයකට පස්සේ ටිකක් වෙනස් විදියේ ගීතයක් කරන්න ඕනෑ වුණා. ඒ නිසා මායි මලින්දයි එකතු වෙලා මේ ‘බොනිකර තරුවක්’ ගීතය හැදුවා. ඒකට ඇන්ටන් දිනේෂ් වීඩියෝවක් කළා.

‘බොනිකර තරුවක්’ ගීතයේ සංකල්පනාව ක්‍රිෂාන්ගෙද?

මට ටිකක් වෙනස් විදිහේ බයිලා ගීතයක් කරන්න ඕනෑ වුණා. සුනිල් පෙරේරා මහතාගේ වියෝවක් එක්ක හොඳ බයිලා ගීතයක් ඇහුණේ නැහැ. කොහොමටත් එවැනි ගීතයක් කරන්න තමයි මට ඕනෑ වුණේ. ඔය අතරේ පද රචනා කිහිපයක් මට ලැබිලයි තිබුණේ. ‘බොනිකර තරුවක්’ ගීතයත් ඒ පද රචනා ගොන්නේ තිබුණා. බොහෝ අයට මේ ගීතය පද තම ජීවිතය හා සසඳන්න පුළුවන්කමක් තියෙනවා. දැන් සමහර ගැහැනු ළමයි පිරිමි ළමයි එක්ක කරන පිස්සු වැඩත් එක්ක ‘බොනිකර තරුවක් - තනිකර බොරුවක්’ කියලා ඒ අයට ආදේශ කරගන්න පුළුවන්. ඒ වගේම ඒ පද රචනාවත් එක්ක ඒකට හොඳ වීඩියෝවක් කරන්න පුළුවන් කියලා දැනුණු නිසා අපි ඒ ගීතය කළා.

ගීතයක් කරන්න මෙපමණ  කාලයක් නිහඬව හිටියේ ඇයි?

‘ඩොක්ටර්’ කණ්ඩායමෙන් අයින් වෙලා දැන් අවුරුදු තුනහමාරක් පමණ වෙනවා. මම සංගීතය විනෝදාංශයක් විදියට කළේ. මම වෘත්තියෙන් පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. එක තැනකදී රැකියාවද සංගීතයද තෝරාගන්නේ කියන සිතිවිල්ල මට ඇතිවුණා. මට ශේෂාද්‍රිට මගේ දුවට වැඩි කාලයක් දෙන්න ඕනෑ වුණා. ඒ නිසා මම පූර්ණ කාලීනව හිටපු සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා රැකියාව කරන්න තීරණය කළා. ඔය අතරෙදි මම දෙවියන් වහන්සේ වෙනුවෙන් ගීතිකා කළා. මගේ දුවට සින්දුවක් කළා. මගේ ජීවිතයට සම්බන්ධ වුණු ගීත කිහිපයක්ම කළත් මිනිසුන් අතරට යවන්න අවශ්‍ය ගීතයක් කාලෙකට පස්සේ කළේ ‘බොනිකර තරුවක්’ ගීතයයි. මලින්දත් මට නිතරම “ඇයි මචං හොඳ සින්දුවක් හදන්නේ නැත්තේ?” කියලා ඇහුවා. ඒ වගේම ශේෂාද්‍රි මම වේදිකාවේ සින්දු කියනවා දකින්න කැමතියි. එයත් මාව දිරිමත් කළා. ඒ හැමදේම නිසා මේ සින්දුව මට කරන්න ඕනෑ වුණා.

‘දුවේ නුඹ හන්දා’ ගීතය ක්‍රිෂාන් ගායනා කළේ ක්‍රිෂාන්‍යා පුංචිම කාලේ නේද?

ඔව්... ඒක දුවගේ පළවෙනි උපන්දිනයට කරපු ගීතයයි. දැන් දුවට වයස අවුරුදු දෙකයි. දැන් දූ ඒ ගීතයට හරි ආසයි. දුව අපේ චැනල් එකේ යන ‘දුවේ නුඹ හන්දා’ ගීතය බලන්නත් ආසයි. ඒකෙ එයාගෙයි මගෙයි  පින්තූරයක් නිසා ඒක දැකපු ගමන් තාත්තා තාත්තා කියලා මට හොඳ ප්‍රතිචාරයක් දෙනවා. ඒක මගේ ජීවිතේ ගොඩක්ම සංවේදී වුණු ගීතයයි. ඒ ගීතය සංගීතවත් කළේ දිනේෂ් මල්ලි. පද රචනා කළේ තිසර මල්ලි. දිනේෂ් මල්ලි සාරණ්‍යාගේ පළවෙනි උපන් දිනයටත් ගීතයක් කළා. ඒක එයාගේ තෑග්ගක්. ක්‍රිෂාන්‍යාගේ පළවෙනි උපන් දිනයටත් දිනේෂ් මල්ලි මේ ගීතය හදලා දුන්නා. දුවට තේරෙන වයසෙදි ගීතයක් හදලා දෙන්නයි මම හිතාගෙන හිටියේ. හැබැයි දිනේෂ් මල්ලි අපිට මේ දීපු තෑග්ග ඇහෙද්දී මට ඇත්තටම ඇඬුණා. ඒ නිසා මේ ගීතය හදලා දුන්නට දිනේෂ් මල්ලිට ස්තුති කරනවා.

චූටි දුවත් එක්ක ගත කරන ජීවිතේ කොහොමද?

ඒක හරිම සුන්දර ජීවිතයක්. මම වැඩ ඇරිලා ගෙදර යන්නේ එයාව බලන්නමයි. එයා එක්ක කාලය ගත කරන්න මම හරි ආසයි. සති අන්තයෙත් මම එයා එක්කම ඉන්න උත්සාහ කරනවා. අපේ හැමදේම චූටි දුව නිසා සුන්දර විදිහට වෙනස් වුණා. එයා මගේ ශේෂාද්‍රිගේ ජීවිතවලට ඇවිත් අපේ ජීවිත ගොඩක් එළිය කළා. හැමදේම එයා හොඳින් වෙනස් කළා. අපිට හිතෙන විදියට එයා නර්තනයට හරි කැමතියි. සින්දුවක් ඇහෙද්දීම එයා නටනවා. එයා හරිම සුන්දර ආදරණීය චූටි දුවක්.

ශේෂාද්‍රි එක්ක ගත කරන ජීවිතය කොහොමද?

මගේ ජීවිතේ මම ලබපු ලොකුම භාග්‍ය, ශේෂාද්‍රි බිරිඳක් විදියට මගේ ජීවිතයට එකතු වීමයි. එයා මාව හොඳට තේරුම් ගත්තා. සංගීතය කළාට මගේ ජීවිතේ ලොකු කැපකිරීමක් රැකියාවට තියෙනවා. ඒ වැඩ කරද්දි මට බරක් නොදී ගෙදර වැඩත් කරගෙන අපේ දුවව හොඳින් බලාගෙන එයා ලොකු කැපකිරීමක් කරනවා. එයා හොඳ නිළියක්. හොඳ චිත්‍රපටවලට දායක වුණු කලාකාරියක්. ඒ කාලය සීමා කරලා අද එයා ඒ කාලය අපේ දරුවා වෙනුවෙන් වැය කරනවා. එයා ආදරණීය බිරිඳක් වගේම හොඳ අම්මා කෙනෙක්. කිසිමදාක මම එයාට රංගනයෙන් අයින් වෙන්නවත්, සීමා වෙන්නවත් කියලා නෑ. හැබැයි දුව නිසා එයා ආරාධනා කරන හැම නිර්මාණයක්ම බාරගන්නේ නැහැ. මාව දිරිමත් කරන්නේ එයාමයි. ශේෂාද්‍රි සහ ක්‍රිෂාන්‍යා මට දෙවියන් වහන්සේ ලබා දුන්න ලොකුම ලොකු තෑගි දෙකක්.

• දිශානි ජයමාලි