මගේ කැමැත්ත තිබුණෙ පොඩි කාලෙදි නර්ථන ගුරුවරියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේ රංගනයෙන්, නර්ථනයෙන් දක්ෂතා දක්වමින් ඒ තුළ දැඩි ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් දිනා සිටින නව පරපුරේ කලා තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගත්තා. ඇය නමින් දසුනි සෙනෙත්මා

දසුනි සෙනෙත්මා මේ දිනවල පුංචි තිරයේ නිතරම දකින්න ඉන්න චරිතයක් නේද?

ඔව්. මෑතකම විකාශය ආරම්භ වුණා මම රංගනයෙන් දායක වුණු ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘දිව්‍යාදරී’ ටෙලි නිර්මාණය. ඒ වගේම හිරු නාලිකාවෙ විකාශය වුණු ‘මහවිරු පණ්ඩු’ අවසන් වුණා. ඒ නිර්මාණ එක්ක හිරු නාලිකාවෙ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි සහ සිරස නාලිකාවෙ විකාශය වන ‘නීල පබළු’ ටෙලි නිර්මාණය හරහා තමයි මාව දකින්න ඉන්නෙ.

දසුනි මෑතකදී සම්බන්ධ වුණු දිව්‍යාදරී ගැන කතා කළොත්?

මට මේ වෙනුවෙන් ආරාධනා කරන්නෙ දිව්‍යාදරී හි අධ්‍යක්ෂවරයා ප්‍රදීප් ධර්මදාස මහත්මයා සහ එහි නිෂ්පාදක චාමර සමරවික්‍රම මහත්මයා. ඒ දෙපළ මගෙත් එක්ක මේ ටෙලි නිර්මාණය ගැනත් ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න චරිතය ගැනත් කතා කළා. චරිතය තමයි රදීෂා. ඇය ධනවත් පවුලක තරුණියක්. දුප්පත් පවුලක තරුණයෙකුට ඔහුගේ හීනවලට යන්න ශක්තියක් වෙන ගමන් ඒ දේත් එක්කම ගලාගෙන යන ආදර කතාවක් මේ තුළ ගැබ්වෙලා තියෙන්නෙ.

ඉතින් මේ නිර්මාණය විකාශය ආරම්භ කරලා තවම සතියක් දෙකක් වගේ වෙන්නෙ. ඒ ටික කාලෙට හිතුවටත් වඩා ප්‍රේක්ෂකයන් අතරට මේ නිර්මාණය ගිහින් තියෙනවා. මේ දිනවල ඇත්තටම ඉතා ඉහළ ප්‍රතිචාරයක් මේ රංගනය වෙනුවෙන් ලබාගන්නට හැකිවෙලා තියෙනවා.

රංගනයට පිවිසෙන්නෙ කොහොමද?

මම පුංචි කාලේ ඉඳන්ම කලා ක්ෂේත්‍රයට නැඹුරුවීමක් තිබුණා. ඒ මට නර්ථනයට දක්ෂතාවක් ඒ කාලෙම තිබුණ නිසා. මම විතරක් නෙමෙයි මගේ පවුලෙත් ගොඩක් දෙනෙක් නර්ථනයට දක්ෂයි. ඒ දක්ෂතාව ගැන මගේ තාත්තා තමයි මුලින්ම දැනගෙන හිටියෙ. ඒ නිසාම මට අවුරුදු තුන හමාරෙදි තාත්තා මාව දෙරණ Little Star තරගයට යොමු කරනවා. ඒ තුළින් මට අවසන් තරගකරුවන් 5 දෙනා අතරට එන්න ලැබෙනවා. ඒ ආරම්භ කරපු ගමන් මගේදි වෙළඳ දැන්වීම් කිහිපයකටත් රූපවාහිනි නාළිකා කිහිපයක වැඩසටහන් නිවේදනයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් අම්මා කැමති වුණේ මාව අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියටම යවන්න.

කලාවට අකැමැත්තක් තිබුණෙත් නැහැ. නමුත් ශිෂ්‍යත්ව විභාගය ආරම්භයේදී වගේ කලාව පැත්තෙන් මාව ටිකක් ඉවත් කරගත්තා. එතැනින් පසුව මට අවුරුදු 12 දී තාත්තා සහ මගේ අයියා නැවතත් මාව හිරු නාලිකාවෙ Super Dancer තරගයට සම්බන්ධ කළා. ඒ තුළින් විවිධ බාධක මධ්‍යයේ අවසන් තරගකරුවන් 10 දෙනා අතරට එන්න හැකිවෙනවා. එතැනින් පසුව තමයි ටෙලි නිර්මාණ රංගනයට පිවිසෙන්න මග විවෘත වෙන්නෙ.

ඒ මං විවර වීමත් එක්ක සම්බන්ධ වුණු පළමු ටෙලි රංගනය ගැන කිව්වොත්?

රොමේෂ් ටොලමි අධ්‍යක්ෂවරයාගේ ‘සිද්ධාර්ථ ගෞතම’ තමයි මගේ මුල්ම රංගනය. එහිදී කුමාරිකාවකගේ චරිතයක් මම රඟ දැක්වූවේ. එතැනින් පසුව රංගනයෙන් මම ‘මහවිරු පණ්ඩු’ නිර්මාණයෙත් භූමි කුමරියගේ චරිතය රඟපෑවා. පසුව තමයි රැල්ල වෙරළට ආදරෙයි සහ නීල පබළු නාට්‍යයවලට එකතුවෙන්නෙ.

දසුනිගේ බලාපොරොත්තුව වුණේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමද?

ඇත්තටම නැහැ. මගේ කැමැත්ත තිබුණෙ පොඩි කාලෙදි නර්ථන ගුරුවරියක් වෙන්න. ඒ වගේම ගණිත විෂයට දැඩි කැමැත්තක් තිබුණ නිසා ඉංජිනේරුවරියක් වෙන්නත් කැමැත්තක් තිබුණා. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ තාත්තාගේ කැමැත්තට. තාත්තාට ලොකු ආසාවක් තිබුණා මාව කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යවලා කලා තරුවක් බවට පත්වෙනවා දකින්න. ඒ නිසාමයි අවුරුදු තුන හමාරෙදි මාව ඒ ක්ෂේත්‍රයට යොමු කරන්නෙ.

ඒ කියන්නෙ මේ සැබෑවෙලා තියෙන්නෙ තාත්තා දැකපු හීනයක්?

ඔව්. තාත්තාගේ හීනයක් වෙලා තියෙනවා නළුවෙක් වෙන්න. නමුත් ඒ කාලෙ තිබුණු තත්ත්වය එක්ක තාත්තාගේ හීනය සැබෑ කරගන්න බැරිවෙලා. නමුත් තාත්තා බලාපොරොත්තු වෙලා තියෙනවා දරුවෙක්ගෙන් හෝ ඒ හීනය සැබෑ කරගන්න. ඉතින් මගේ දක්ෂතාවය දැකලා මාව ඒ තැනට යොමු කළා.

ඉතින් දසුනිව පුංචි තිරයේ දකිද්දි තාත්තා සතුටුවෙන්න ඇති?

අනිවාර්යයෙන්ම. මම විභාගවලින් හොඳින් සමත්වුණාටත් වඩා රූපවාහිනියෙ දකිද්දි ගොඩක් සතුටු වුණා. ඉතින් අද තාත්තා ජීවතුන් අතර නැහැ. අවුරුදු තුන හමාරක් වගේ වෙනවා අපි අතරින් වෙන්වෙලා. ඉතින් මට හිතෙනවා අදටත් මගේ තාත්තා කොහේ හරි හොඳ තැනක ඉඳලා මගෙ දිහා බලාගෙන මට ආශිර්වාද කරනවා ඇති කියලා. ඉතින් මම අද මේ ක්ෂේත්‍රයේ යම්තැනක ඉන්නව නම් මේ තුළින් ආදරය, ප්‍රතිචාර, ආශිර්වාද ලබනව නම් ඒ මගේ තාත්තා නිසා තමයි.

මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන දැන් තෘප්තිමත්ද?

ඔව් අනිවාර්යයෙන්ම. මේ ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. නමුත් මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන ගමන් අධ්‍යාපනය පැත්තෙනුත් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

අද කලා ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින දසුනි පාසල තුළත් ජනප්‍රිය වුණු චරිතයක්ද?

මම පාසල් ගියේ ජාඇල ජනාධිපති බාලිකා විද්‍යාලයට. ඉතින් ඒ පාසලේ දසුනි කිව්වම හැමෝම දන්නවා. විදුහල්පතිනියගේ සිට පාසලේ හැමෝම වගේ මට ආදරෙයි.

ඒ කලා අංශයෙන් මම ඉදිරියෙන් හිටපු නිසා. චිත්‍ර, නර්ථනය, සංගීතය අංශවලින් සමස්ථ ලංකා ජයග්‍රහණ අරගෙන තියෙනවා. නර්ථනය පැත්තෙන් පාසල තුළ මගේ නර්ථන ප්‍රසංගයක් පැවැත්තුවා ‘මල් සුවඳ’ නමින්. ඒ ප්‍රසංගයෙන් පසුව පාසලට ලොකු ආදායමක් ලබාගන්නත් හැකිවුණා. පාසලේ විදුහල්පතිනියත් මට දුවෙකුට වගේ ආදරෙයි. පාසලේ හැමෝගෙම ආදරේ ලැබුණා ඒ කාලෙදි.

ඒ ආදරෙයි, ප්‍රේක්ෂක ආදරෙයි දෙකම ලබාගෙන කලා ක්ෂේත්‍රය තුළ යන ගමනෙ ඉදිරි සැලසුම් කොයිවගේද?

මම සිනමාවට සම්බන්ධවෙලා ඉන්නවා මේ වෙද්දි. දායකවුණු සිනමා නිර්මාණ 4 ක් ඉදිරියේදි එන්න තියෙනවා. ඒවා නුදුරේම තිරගතවෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒදේත් එක්ක පුංචි තිරයේත් නිර්මාණ තුළින් ඉදිරියේදි දකින්න ලැබෙයි.

ධනු විජේරත්න