මගේ ආදරේ ඇතුළේ ඉන්නේ අම්මා තාත්තා මල්ලි විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර අපිත් සමග එකතු වන්නේ නවිඳි රැපියෙල්. අයි.ටී.එන් හි විකාශය වන දිව්‍යාදරී, හිරැ නාලිකාවේ විකාශය වන සංසාරිනී ටෙලි නාට්‍ය හරහාත් මේ දිනවල පුංචි තිරයේ මුණ ගැහෙන නවිඳි වෙනුවෙනුයි මේ ඉඩකඩ.

නවිඳි ගැන මුලින්ම කිව්වොත්?  

මගේ පවුලේ ඉන්නේ අම්මායි ,තාත්තායි,මල්ලියි මමයි. මගේ තාත්තා ශිවන්ත නීල් ඔහු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. මගේ අම්මා ගෘහණියක්. මගේ මල්ලි විහඟ ටෙලි නාට්‍ය නළුවෙක්.  මගේ වයස අවුරුදු 20 යි. මම දැනට උසස් අධ්‍යාපනය හදාරනවා. ICBT විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරනය පීඨයේ  පළමු වසරේ  ඉගෙන ගන්නවා. ඒ අතර තුර තමයි මම රංගනයට දායක වෙන්නේ. ඇත්තම කියනවනම් මම රංගනයට එන්නේ හරිම අහම්බෙන්.

නවිඳි රංගනයට අලුත් වුණාට වෙළඳ දැන්වීම් හරහා නිතර දකින්න ලැබෙන මුහුණක් ?  

ඔව්. මම පුංචි කාලේ  ඉඳලාම වෙළඳ දැන්වීම් කළා. මුල්ම වෙළඳ දැන්වීම කරද්දි මගේ වයස අවුරැදු 7යි.  මගේ මල්ලි පුංචි කාලේ ඉඳලාම රඟපාන කෙනෙක්. ඇත්තටම  මල්ලි වගේ ටෙලි නාට්‍ය රඟපාන්න රංගනයට එන්න කියලා එහෙම ලොකු අරමුණක් තිබුනෙත් නැහැ. ඒ වගේම මගේ  කැමැත්තක් තිබුනෙත් නැහැ. මේ අවස්ථාව ඇත්තටම මට ලැබුනේ අහම්බෙන්. හැබැයි මට රංගනයට ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් මට කැමැත්තක් තිබුණේ නැහැ. . 

දිව්‍යාදරී අධ්‍යක්ෂක ප්‍රදීප් ධර්මදාස  මගේ මල්ලිව අඳුරනවා . දිව්‍යාදරී ටෙලි නාට්‍යයට පීනන්නන් පුළුවන් වගේම රඟපාන්නත් පුළුවන් ගෑණු ළමයෙක් හොයනවා දන්න කෙනෙක් ඉන්නවානම් පණිවිඩයක් දෙන්න කියලා දවසක් අපේ මල්ලිට කියලා තිබුණා. මටත් හොඳට පීනන්න පුළුවන්. මල්ලි මගෙන් ඇහුවා මෙහෙම චරිතයකට ගෑනු ළමයෙක් හොයනවා. ෆොටෝ එකක් යවලා බලන්නද කියලා. මම ඒ ගැන ලොකුවට හිතන්න ගියේ නැහැ. මම හා කිව්වා. තිරපරීක්ෂණයට එන්න කිව්වා. ඒත් මට මේ චරිතය ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණේම නැහැ. මොකද ඒක ප්‍රධාන චරිතයක්. කොහොම වුණත්  නොසිතපු විදිහට මට ඒ චරිතය ලැබුණා.  රංගනය ගැන මම ඉගෙනගෙන නැහැ. දේවල් ඉගෙන ගනිමින් තමයි මම මේ ගමන යන්නේ. 

මේ වෙනකොට දිව්‍යාදරී, සංසාරීනී කියන ටෙලි නාට්‍ය දෙකේම ඔබ ජනප්‍රිය තරුවක්.? 

ප්‍රදීප් ධර්මදාස මහත්මා අධ්‍යක්ෂණය කරන දිව්‍යාදරී මගේ පලමු ටෙලි නාට්‍ය රංගන අද්දැකීම. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන් මාව මුලින්ම අඳුරගත්තේ තුෂි කියන චරිතයෙන්.  තුෂි කියන්නේ මගේ ජිවිතෙත් ගොඩාක් ආදරය කරන චරිතයක්. සංසාරිණි ටෙලි නාට්‍යයේ අමෝදි කියන චරිතය ටිකක් දඟකාර නිසා සමහර ප්‍රේක්ෂකයෝ නම් බණිනවා. කොහොම වුනත් මේ චරිත දෙකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මුලදි මගේ වැරදි අඩුපාඩු කතා කරලා කියපු අයත් හිටියා. ඒ හැම ප්‍රතිචාරයකටම මම ගොඩාක් කැමතියි. හොඳ නරක ප්‍රතිචාර දෙකම මගේ ගමනට ලොකු ශක්තියක්. 

සංසාරිනී අමෝදි කියන චරිතයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

සංසාරිනි ටෙලි නාට්‍යයට මාව දායක කරගත්තේ එහි අධ්‍යක්ෂක දිල්ශාන් අමරසිංහ. අමෝදි කියන්නේ ගෙදර වැඩකාරියකගේ දුවකගේ චරිතයක්. අමෝදි කියන්නේ තාත්තා නැති,ආර්ථික ප්‍රශ්න නිසා අම්මා විදේශගත රැකියාවක් කරන නැන්දා කෙනෙක් ළඟ හැදෙන චරිතයක්. නැන්දා වැඩ කරන ගෙදර පුතෙක් එක්ක ආමෝදිගේ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිවෙනවා. සමාජ තල දෙකක්. අමෝදි කියන්නේ ගෙදර වැඩකරන කෙනොගේ දුව , අමෝදි කියන චරිතය ඇතුලේ ගොඩක්ම ගෑනු අසරණ වෙන තැන් පෙන්වනවා.  ගෑණු ආදරේ ඉස්සරහ මෝඩ වෙනවා කියන දේ අමෝදි ගේ චරිතයෙන් හොඳටම පෙන්වනවා. 

නවිදිට ආදරේ ගැන තියෙන අත්දැකීම කොහොමද?  

විශේෂ ආදරයක්  තාම නැහැ. ආදරය කියන දේ ජීවිතේට ඕන. දැනට මගේ ආදරේ ඇතුළේ ඉන්නේ අම්මා තාත්තා මල්ලි විතරයි. 

මේ චරිත දෙකෙන් වැඩිපුරම දැණුන චරිතයක් තියෙනවාද? 

මගේ හිතට වැඩිපුරම දැණුන චරිතේ තමයි තුෂි කියන චරිතය. අම්මායි තාත්තායි නීතියෙන් දික්කසාද වෙච්ච දෙන්නෙකුගේ දරුවෙක් තමයි තුෂී කියන්නේ. දෙමාපියන්ගේ ආදරය දෙපැත්තකට ගිය තුෂී අසරණ වෙන තැන් ගොඩාක් තියෙනවා සමහර දෙබස් කියද්දි මට ඇත්තටම ඇඩෙන අවස්ථා තියෙනවා. අම්මා තාත්තා වෙන් වෙලා යන විදිහ තුෂි තනිවෙන විදිහ මට සමහර අවස්ථා දරාගන්න අමාරැ තැන් පවා තියෙනවා.  

නවිඳිට පාසල් වේදිකාවේ අත්දැකීම් නැද්ද?    

අපෝ තියෙනවා. මම පාසලේ සාමාන්‍ය පෙළට විෂයක් හැටියටත් නාට්‍ය ඉගෙන ගෙන තියෙනවා. මම පාසල් ගියේ Asian Grammar ජාත්‍යන්තර පාසලට. වේදිකාවට ක්‍රිඩාවට,සංගීතයට වගේ දේවල් වලින් මම පාසල් මට්ටමෙන් දක්ෂතා දක්වලා තියෙනවා.  

කොහොමද කලා කටයුතු වලට ගෙදරින් ලැබෙන සහය?         

මම කලාවට සම්බන්ධ වෙනවට අම්මාගෙයි තාත්තාගෙයි අකමැත්තක් තිබුණේ නැහැ. තාත්තා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මට මගේ ගමන හදාගන්න තාත්තා මල්ලි දෙන්නාම ලොකු සහයෝගයක් දෙනවා. හැමදේටම පිටිපස්සෙන් ඉන්නේ අම්මා. ඒදා මම රංගනයට එන්න ලොකු කැමැත්තක් නොතිබුනත් අද රගපාන්න ගත්ත තීරණය ගැන ගොඩක් සතුටු වෙනවා. 

මොනවද 2024  නවිඳිගේ අලුත් බලාපොරාත්තු? 

කාලය ගෙවෙනවා හරිම වේගයෙන්. 2024 අවුරැද්දේ මිනිස්සුන්ට  තියෙන පීඩාකාරි තත්වයන් නැති වෙලා හැම මුහුණකටම සිනවහක් රැගෙන එන්න පුළුවන් නම් මේ නව වසරේ ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනය. ඒ වගේම  මගේ උපාධිය අවසන් කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ හීන බලාපොරත්තු සියල්ල ඇතුලේ ඉදිරියේදි හොඳ නිර්මාණ ලැබුනොත් ඒවත් කරන්න බලාපොරාත්තු වෙනවා. මම ආසයි විවිධ චරිත කරන්න. 

නදීශා අතුකෝරළ

 

ඡායාරූප -  සජීව ලක්ෂාන්

හැඩගැන්වීම්: නිශී හඳුන්නෙත්තිගේ. 

(Salon Nisuki Rajagiriya)