මගේ අරමුණ සිවිල් ඉංජිනේරුවරියක් වීම - සෙනංගා කැප්පෙටිපොළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කඳුළින් උපන් පහන් තාරකාව’ නමින් තේමාව රැගත් අශෝක අතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ, රේණුකා බාලසූරිය සහ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘මින්නු’ සිනමා නිර්මාණය සදහා රංගනයෙන් දායක විය. එහි මින්නු ගේ ළමා වියේ චරිතයට දායක වන්නේ, සෙනංගා කැප්පෙටිපොළ ය. මීට වසර කිහිපයකට පෙරදී රූගත කිරීම් සිදු කරද්දී ඇය ළමා වියේ සිටි දැරියක වූවාය. අද ඇය භද්‍ර යෞවනියකි. මේ, එම සෙනංගා නව යොවුන් ශිල්පිනියයි.

සෙනංගා විතර ද නම?

“මම සෙනංගා කැප්පෙටිපොළ.

සෙනංගා දන්නවා ද, එහි තේරුම?

“සෙනංගා කියන්නෙ, සේනාවට අධිපති කියන තේරුමයි.”

 කැප්පෙටිපොළ පරම්පරාවට අයිති ද?

“එහෙමම කියන්න බැහැ. හැබැයි තාත්තාගෙ ගම කැප්පෙටිපොළ පළාතේ.

සෙනංගා උපන්නෙ?

“හෝමාගම. දැනට පදිංචියත් හෝමාගම.”

සෙනංගා මොනවා ද කරන්නේ?

“පාසල් අධ්‍යාපනය හමාර කරලා සරසවි යන්න බලාගෙන ඉන්නෙ. දැන් මේ දිනවල ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. මම ඉගෙන ගත්තෙ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්. ඉගෙන ගත්තෙ ගණිත අංශයෙන්. ලන්ඩන් A/L කළේ.”

පවුලේ විස්තර කියන්න පුළුවන් ද?

“අම්මයි, තාත්තයි, මමයි. නංගියි.”

කලාවට සම්බන්ධ පවුලක් ද?

“නැහැ. තාත්තා ඉංජිනේරුවරයෙක්. පුද්ගලික ආයතනයක රැකියාව කරනවා. අම්මටත් ව්‍යාපාරයක් තියෙනවා.”

‘සෙනංගා’ ගෙ අරමුණ?

“පුංචි කාලයේ ඉඳලාම රංගනයට ආසයි. හැබැයි රංගනය කරගෙන ගියේ විනෝදාංශයක් විදිහට. මුල් තැන දුන්නෙ අධ්‍යාපනයට. ඒ නිසා ප්‍රධාන අරමුණු වුණේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වීමට. ඒ අරමුණ ඉටු කරගන්න පුළුවන් වුණා. දැන් මගේ අරමුණ සිවිල් ඉංජිනේරුවරියක වීමයි.”

මොන විදිහේ කෙනෙක් ද, සෙනංගා?

“මේ ගෙවී ගිය ජීවිතයේදී පොතපතේ වැඩ වගේම, පාසලේදී විෂය බාහිර බොහෝ අංශවලට දායක වුණා. ඉන් පස්සේ නාට්‍ය විෂයය හැදෑරුවා. නර්තනයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. පොඩි කාලයේදී ඒ විදිහට විවිධ දේ කළා. ඒ නිසා කම්මැළි නැති චරිතයක් කිව්වොත් හරි.”

රඟපෑමට අවස්ථාව ලැබුණු විදිහ කියන්නකෝ?

“මුලින්ම මට අවස්ථාව ලැබුණෙ සිරිපැරකුම් චිත්‍රපටයෙ රඟපෑමට. එතකොට මට වයස අවුරුදු 6ක් විතර ඇති. ගෙදරදී මම නටන, සිංදු කියන ඒවා දැකලා අම්මයි තාත්තයි මගේ හැකියාව හඳුනාගෙන තිබුණා. සිරිපැරකුම් චිත්‍රපටයට ළමයින් තෝරා ගැනීමේ දැන්වීමක් පත්තරේ තියෙනවා දැකලා තමයි අම්මා ඒකට මගේ අයැදුම්පත යොමු කළේ. එදා විශාල පිරිසක් ඇවිත් හිටියා. අන්තිමට කොහොම හරි කළු එතනාගේ චරිතයට මාව තේරුණා. ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා තමයි මගේ ඒ හැකියාව සිනමාවට ගෙනාවේ. එදා ඒ ෆිල්ම් එකේ සහාය අධ්‍යක්ෂණය කළේ අශෝක අතාවුදහෙට්ටි මහතා. එතුමාගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘මින්නු’ චිත්‍රපටියට මාව ගැනීමත් එක්තරා අහම්බයක්. දවසක් මම දහම් පාසල් නිම වී ගෙදර යමින් සිටියදී එතුමා මාව දැකලා මේ ඉන්නේ මගේ ෆිල්ම් එකට ගැළපෙනම චරිතය කියලා කිව්වා. මම ‘මින්නු’ වුණේ ඒ විදිහටයි. මින්නු තමයි මගේ දෙවැනි ෆිල්ම් එක.”

මින්නු කොයි කාලයේදී ද රූගත කළේ?

“මට මතක විදිහට 2013 හෝ 2014 කාලයේදී. එතකොට වයස 8ක් විතර ඇති. ඒ කියන්නෙ මීට වසර 10කට කලින්.”

‘මින්නු’ රුගත කිරීම් කළේ කොහේ ද?

“මගේ කොටස් රූගත කිරීම් වැඩි හරියකක්ම සිදු වුණේ ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී. ඒ කාලයේ මගේ කොණ්ඩය හරි දිගයි. ඉතින් චරිතයේ හැටියට කොණ්ඩය කපන්න වෙනවා කියලා කිව්වාම, කොණ්ඩෙට කොච්චර ආදරේ ද කිව්වොත් මම බැහැ කිව්වා. චරිතය නැතත් මට කොණ්ඩය නම් කපන්න බැහැ කිව්වාම චරිතයේ හැටියට මාව මේක්අප් කළා. හැබැයි කොටට කපන්න වුණා.”

දැන් කොණ්ඩය දිගු වෙලා ද?

“දිගු වුණා. ඒත් මේ ළඟදී මම ආයෙත් ටිකක් කොට කළා.”

මින්නුගේ කතාව ගැන කෙටියෙන් කියන්නකෝ?

“මේ කතාව ඇතුළෙ ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. කතාව ගලා ගෙන යන්නෙ ඒ අනුව. මගේ චරිතයෙ හැටියට ‘මින්නු’ රෝගී තත්ත්වයකින් පෙළෙන දැරිවියක්. එයා ඒ රෝගී තත්ත්වය නිසා පීඩා විඳින කෙනෙක්. එයා ප්‍රාර්ථනා කරන්නෙ ඉක්මනින් සුව වී ගෙදර යන්න. මින්නුට හිනා වෙන්න බැරිව යන්නෙ ප්‍රතිකාර ලබන නිසයි. ඒ නිසා එයාගේ එකම ආසාව කවදා හරි හිනා වීමයි. පොඩි ළමයකුට හිනා නොවී ඉන්න බැහැනේ. ඉතින් ඒක හරි සංවේදී කතාවක්.”

අද ෆිල්ම් එක නරඹද්දි, ඔබට ‘මින්නු’ දකිද්දි මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

“එදා රූගත කිරීම් කළ විදිහ මට මතක් වුණා. කොච්චර සංවේදී ද කිව්වොත්, ෆිල්ම් එක නරඹද්දී මටත් ඉබේටම ඇඬුණා. එදා ප්‍රේක්ෂකයින් හැමෝම වගේ හැඟුම්බර වූ බව මම දැක්කා. මේ වයසට මම එදා කළ රංගනය විශිෂ්ටයි කියලා අශෝක අතාවුදහෙට්ටි මහතා මා ළඟට ඇවිත් කිව්වාම මට ලොකු සතටක් ඇති වුණේ. එයා බලාපොරොත්තු වූ චරිතය මම අකුරටම කළාය කියලා අශෝක සර් කිව්වාම මට පුදුම සතුටක් ඇති වුණේ. මගේ රංගනය ගැන සර්ට හරි සතුටුයි.”

‘මින්නු’ හැර සෙනංගා රඟපෑ වෙනත් චරිත තියෙනවා ද?

“ඉන් පස්සෙ ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒකේ නම ‘සොඳුරු දඩයක්කාරයා’. එය විකාශය වුණා.”

සෙනංගා රඟපෑමට හැර දක්ෂ?

“නර්තනයට.” 

සෙනංගා ජීවිතය ගැන හිතන්නෙ කොහොම ද?

“ඕනෑම කෙනෙක්, ගෙවෙන සෑම තත්පරයකදීම ජීවිතේ උපරිම ප්‍රයෝජන ගැනීම කළොත් හොඳයි. තමුන්ට කළ හැකි දේ උපරිමයෙන් කරන්න කියන දේ තමයි මට හැඟෙන්නේ.”

සෙනංගා දවස ගෙවන්නෙ කොහොම ද?

“මේ දිනවල නම් පාසල් වැඩ හමාර කරලා යුනිවර්සිටි යන්න බලාගෙන ඉන්නෙ. මගේ උපාධියට අදාළ වන විස්තර ගැන තමයි සොයා බලන්නෙ.”

මේ විදිහට බාහිර වැඩ කරමින් විභාග සමත් වීමට නම්, ඔබගේ වයසේ අයට ඔබ දෙන උපදෙස?

“මම හිතන්නේ මගේ වයසේ සිටින අය තමුන් සතු බාහිර හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම කළොත් හොඳයි. අධ්‍යාපනය වගේම ඒ දේවල් කිරීමෙන් තමුන්ට තමුන්ව හරියට වටහා ගන්න පුළුවනි. සෑම අභියෝගයකටම පුළුවන් විදිහට මුහුණ දීලා සෑම දෙයක්ම කිරීමට උත්සාහ ගැනීම වගේම ඉදිරිය ගැන හිතලා වැඩ කරනවා නම් හොඳයි.”

ගෙදර වැඩත් කරනවා ද සෙනංගා?

“ඔව් ඒවත් කරනවා. සාමාන්‍ය විදිහට වේලක් උයා ගන්න පුළුවන්.”

සෙනංගා ගැන ඇයගේ මව හර්ෂණී ධර්මසේන සඳැල්ලට විස්තර කළ විදිහ.

“සෙනංගා මගේ ලොකු දුව. පොඩි කාලයේ ඉඳලාම සෑම දෙයකටම දක්ෂ දරුවෙක් එයා. ඒ වගේම හරි හොඳ ළමයෙක්. ගෙදර වැඩ ගැන වගේම අපි ගැනත් හොයලා බලන හොඳ දරුවෙක්. ‘සිරි පැරකුම්’ ෆිල්ම් එකට තේරුණ අවස්ථාව මට ඇය ගැන අමතකම නොවන මොහොතක්.”

සෙනංගා ගේ තාත්තා රන්ජන් කැප්පෙටිපොළ

“පොඩි කාලයේ ඉඳලාම අපි දැකපු දේ තමයි ඇය සතු නර්තන හැකියාව. ඒ වගේම යම් යම් දේ අනුකරණය කරලා ඇයට පෙන්වීමේ හැකියාවක් තිබුණෙ. ඒ දක්ෂතා නිතර පෙන්වද්දී මෙයා සතු හැකියාව අපි හඳුනාගෙන සිටියේ. මොන දේ කළත් උනන්දුවෙන් කැපවීමෙන් කරන්නේ. පාසලේදී ඇය දක්ෂ වුණේ විෂයයට විතරක් නෙවෙයි. ක්‍රීඩා, කථික තරග, නාට්‍ය වගේ සෑම දේකටම දක්ෂ වුණා. ඇත්තටම මට ආඩම්බරයි ඇය ගැන.”

සඳුන් ගමගේ