මෝක්ෂ හිරුගෙන් සමුගනී
හිරු එෆ්එම් සහ හිරු ටීවී මාධ්‍ය තුළ නිවේදකයෙක් ලෙස කටයුතු කළ එළිමහන් ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙක් ලෙසද කටයුතු කළ මෝක්ෂ ප්‍රසාද් හිරු නාලිකාවෙන් ඉවත්ව තිබෙනවා. ඔහු වසර දහ අටක් හිරු මාධ්‍ය ආයතනයේ නිවේදකයෙක් ඇතුළු තනතුරු කිහිපයක් ද දැරුවා. එමෙන්ම මෝක්ෂ හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංග මාලාවේද ආරම්භයේ සිට සිටි නිවේදකයෙක්.
සිය සමු ගැනීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෝක්ෂ පවසා සිටියේ අතිශය පෞද්ගලික කාරණාවක් මත හිරු ආයතනයෙන් සමුගන්නා බවයි. එමෙන්ම නුදුරේ සිටම නිදහස් සන්නිවේදයක්, නිදහස් නිවේදකයෙක් ලෙසද කටයුතු කරන බව ඔහු පවසා තිබුණා.
""හිරුට සමුදෙමි"
ඉතින් අවසරයි හිරු මඩලින් බැස යන්න !!
2004 වර්ෂයේ මැයි 13 වනදා සිට 2022 වර්ෂයේ ඔක්තෝම්බර් 25 වනදා දක්වා පුරා වසර 18 ක් සහ මාස 04 ක් මාගේ උපරිමයෙන් සහ අසීමිත කැපවිමකින් හිරු මාධ්‍ය ජාලයට කල සේවයට තිත තබමින් මාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ගරු සභාපතිතුමාට පසුගියදා ඉදිරිපත් කෙරුණි..එය හුදෙක් මාගේ අතිශය පෞද්ගලික කාරණාවක් සහ අයහපත් සෞඛ්‍ය තත්වය නිසාවෙන් වෛද්‍ය නිර්දේශයන් මත කෙටි කාලීන විවේකයක් අවැසි යන කාරණා මත ගත් තීරණයක් බවත් එය ඉතාමත් අසීරු තීරණයක් බවත් මා සිහිපත් කරන්නේ මහත් සංවේගයකිනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ , දොම්පේ ආසනයේ ඉතා දුෂ්කර ග්‍රාමයක උපත ලබා කණිෂ්ඨ විද්‍යාල , ජාතික පාසල් හරහා අධ්‍යාපනය ලැබූ මා හට මාගේ ජීව්තයේ මා දුටු දැවැන්තම සිහිනය වූ රූපවාහිනී සහ ගුවන්විදුලි සන්නිවේදකයකු මෙන්ම එළිමහන් ප්‍රසංග වේදිකා සන්නිවේදකයකු ලෙස "මෝක්ෂ ප්‍රසාද්" නම් වූ සන්නාමය මේ මහ පොලොවේ පැල කොට එය මහා වෘක්ෂයක් සේ වැඩෙන්නට වසර 18 ක් පුරා නියත විවරණ දුන් හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති "රේනෝ සිල්වා" මැතිදුනි ඔබට මා දිවි ඇති තෙක් ණය ගැති බව දන්වන්නේ කෘත ගුණ දන්නා මිනිසෙකු ලෙසයි..ගෙවුනු වසර 18 ක මාධ්‍ය ජීවිතයේ ඔබ මා හට ලබා දුන් සුවිශේෂී අවස්ථා නිසා මා ප්‍රභාශ්වර විය..එනිසාවෙන් ආයතනික වශයෙන් අප ආයතනයට ආ සියලු බාධක අභියෝග තුලදී ගෙවුනු වසර 18 තුල මා අඛණ්ඩව රැදුනේ ඔබ තුමන් සමග සහ ආයතනය සමගයි..2007 වර්ෂයේ නාලිකාව තහනම් වූ අවස්ථාවේදිත් , කොවිඩ් වසංගතය පැවති සමයේදිත් නිසි වේලාවට වැටුප් ලබාදී ඔබ මනා නායකයකුගේ ගුණාංග ඉස්මතු කරමින් අප වෙනුවෙන් සිදුකල අනූපමේය මෙහෙය ගෞරවාදරයෙන් සිහිපත් කරමි. ඒ ගෞරවය , ආදරය මාගේ අවසන් හුස්ම තෙක් ඇති බවත් මෙයින් සටහන් කරමි.
ආසියානු මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිළධාරි Vincent Silva මහතාට , මාගේ සෙවනැල්ල බදුවූ ප්‍රවර්ධන අධ්යක්ෂ Dilanka de Soysa ඇතුළු මාගේ ප්‍රාණසම දෙන සියළු වැඩ කරන ප්‍රවර්ධන අංශයේ සහෝදර කැලට , හිරු TV ආරම්භයේ පටන් මාගේ දක්ෂතා හදුනාගෙන මා හට ටෙලිවිෂන් තිරයේ අවස්ථා ලබා දුන් හිරු TV වැඩසටහන් අධ්යක්ෂ Viraj Weliwatte ඇතුළු හිරු TV සමස්ථ කාර්ය මණ්ඩලයට , හිරු මාධ්‍ය ජාලයේ ගුවන්විදුලි අංශයේ සමූහ අධ්යක්ෂ Jan Pereira ඇතුළු එම අංශයේ සමස්ත සේවකයින්ට , වසර 18 ක් මාගේ සේවාව වෙනුවෙන් උදව් උපකාර කල ආසියානු මාධ්‍ය ජාලයේ සියළු අංශයන් සහ දෙපාර්තමේන්තුන් හී කාර්ය මණ්ඩලය ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරමි.
තවද 2004 වර්ෂයේ මා හිරු මාධ්‍ය ජාලයට සම්බන්ධ කල අතුරුගිරිය සියොත් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පී නිලන්ත , එවකට ෂා Fm ප්‍රවර්ධන විධායක ධනුෂ්ක , සීදුව සකුරා සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික චන්දන හෙට්ටිආරච්චි සහ මා සේවයට බදවා ගත් ආසියානු මාධ්‍ය ජාලයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි Dhammika Tennakoon මහතාටත් , මට පළමු පුහුණුව ලබාදුන් ෂා FM හිටපු ප්‍රවර්ධන කළමනාකරු Lushantha Karunaratne අයියාවත් මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරමි..
හදවතේ නිකැලල් පැතුම නම් හිරු මාධ්‍ය ජාලය
යෙහෙන් වැජඹේවා යන්නයි..එදත් අදත් හෙටත්
"හිරු මගේ පණ වගේ"
සමුගමි..ආදරෙයි හිරු දිවි ගමනේ මෙතෙක් දුන් ආලෝකයට.
අද පටන් නිදහස් සන්නිවේදකයකු / මාධ්‍යවේදීයෙකු ලෙසින් ගමන අරඹමි.
ස්තුතියි
මෝක්ෂ ප්‍රසාද්"