මොකද ඇත්ත ජීවිතේ මම නයන තරම් නරක පුද්ගලයෙක් නෙමෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීතේ’ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ලක්වුණූ නිර්මාණයක් එහි ‘නයන’ ගේ චරිතය රඟපාන තරිඳු ප්‍රදීප් මේ විදිහට සැඳැල්ලට ගොඩ වුණා.

තරිදු ප්‍රදීප් ගැන අද කතාබහ කරන්නේ ‘‘සංගීතේ’’ ටෙලි නිර්මානය නිසා, ඒ ගැන මුලින්ම කතා කරමු?

‘‘සංගීතේ’’ නිර්මාණයේ ‘‘නයන’’ චරිතය තුලින් තමයි මේ වෙද්දී කතාබහට ලක්වෙලා තියෙන්නේ, නයන කියන්නේ කලු චරිතයක් ගොඩක්ම කපටි, නපුරු ආත්මාර්ථකාමි පුද්ගලයෙක්, ඒ නිසාම ගොඩක් දෙනෙක්ගෙන් බැනුම් අහන්නත් වෙලා තියෙනවා. නමුත් ඉතින් රංග ශිල්පියෙක් විදියට ප්‍රතිචාර ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද ‘‘නයන’’ කියන්නේ බැනුම් ඇසිය යුතු චරිත රංගනයක්නෙ, ඒ නිසා ඒ චරිතයට මොන විදියේ ප්‍රතිචාර ආවත් අාදරෙන් බාරගන්න කැමතියි.

චරිත රංගනයේ නයනට බැන්නාට තරිඳුට කව්රුත් බනින්නේ නෑනේ නේද?

අනේ නැහැ. මොකද ඇත්ත ජීවිතේ මම නයන තරම් නරක පුද්ගලයෙක් නෙමෙයි. මම ගොඩක් අහිංසකයි. මාව ආශ්‍රය කරන මගේ යාළුවෝ ඒක හොඳින්ම දන්නවා. ඒ දේවල් නිසාම මට ඇත්තටම මේ චරිත රංගනය මුලින් අභියෝගයක් වුණා. ඒ මේ චරිත රංගනය කොහොමද කරන්නේ කියලා. නමුත් ටිකින් ටික කරගෙන යද්දි වැඩේ අල්ලගන්න අවුලක් වුණේ නැහැ.

මේ තරිඳුගේ පළමු රංගන අත්දැකීමද?

ඔව්, මීට පෙර මට පුංචි තිරයේ රංගන අත්දැකීමක් තිබිලා නැහැ. මේ නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ මගේ පාසල් මිතුරෙක් හරහා ඔහු චමිත් සුලක්ෂණ, චමිත් දැනගෙන හිටියා මට රංගනයට එකතු වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා කියලා. ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක්, ඉතින් මම ඔහුට කියලා තිබුණා රංගනයට අවස්ථාවක් ලැබුණොත් මට කියන්න කියලා. ඒ නිසා තමයි ‘‘සංගීතේ නිර්මානයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහත්මයාට ඔහු මවා හඳුන්වලා දුන්නේ. ඉන් පසුව තමයි මේ ටෙලි නිර්මානයට මම සම්බන්ධ වුණේ. ඇත්තටම මේ රංගන අත්දැකීම මගේ ජීවිතේට ලැබුණු ලොකු වටිනාකමක්, මාව මේ වෙනුවෙන් සම්බන්ධ කරගත්තාට මෙහි අධ්‍යක්‍ෂවරයා සාරංග මෙන්ඩිස් සහ නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මියට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔවුන් නිසා මගේ හීනය සැබෑ කරගන්න මට හැකියාව ලැබුණා.

පාසල්  වේදිකාවේ රංගනය පිළිබඳ අත්දැකිම් නැද්ද?

මම පුංචිම කාලේ ඉඳන් රංගනයට ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසාම ඒ කාලේ පාසලේ තිබුණු සමිති සමාගම් වගේ පුංචි පුංචි උත්සවවල රංගනයෙන් දායක වුණු අවස්ථා තිබුණා. නමුත් රංගනය පිළිබඳ වැඩිදුර හැදෑරීමක් කරන්න හැකිවුණේ නැහැ. මොකද අපේ පාසලේ නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට තිබුණේ නැහැ. මම පාසල් ගියේ මාවතගම පොතුභෝව මහා විද්‍යාලයට ඒ පාසලේ මම වැඩිදුර හැදෑරුවේ සංගීතය විෂය රංගනයට වගේම සංගීතයටත් මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසාම තමයි A/L දක්වාම සංගීතය හැදෑරුවේ. මට යම්තාක් දුරකට ගීත ගායනා කරන්නත් හැකියාවක් තිබුණා. ඒ දක්ෂතාවය එක්ක ගමේ සංගීත කණ්ඩායමක් එක්කත් සම්බන්ධ වෙලා වැඩ කළා.

මේ සියලුම දේවල් එක්ක බලද්දී තරිඳුට මුලින්ම රංගනයේ යෙදෙන්න ලැබිලා තියෙන්නෙත් වඩාත් ගැළපෙනම චරිත රංගනයක් නේද?

ඔව්, ඇත්තටම මගේ සැබෑ ජීවිතේ මගේ දක්ෂතාවලට ගැළපෙනම චරිත රංගනයක්.

මොකද මේ නාට්‍යයේ චරිතයේ නයනත් සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා ඉන්න තරුණයෙක්, මගේ ඇත්ත ජීවිතෙත් ඒ වගේ. මට මේ චරිත රංගනය ලැබෙද්දිත් මම ගමේ සංගීත කණ්ඩායමක වැඩ කරගෙන හිටියේ. මම එහි වැඩිපුරම කළේ නිවේදන කටයුතු තමයි, ඉතින් මේ චරිත රංගනය ලැබෙද්දිත් මේ නිර්මාණය ගැන දැනගන්න ලැබෙද්දිත් ගොඩක් සතුටු හිතුණා. කොහොමත් මේ නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් දෙනා ගායන ශිල්පීන්

දෙරණ Dream Star තරඟාවලිය හරහා ආපු ගායන ශිල්පින් රැසක් තමයි මේ ටෙලි නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ, ඔවුන් දක්ෂ පිරිසක්, ඉතින් ඒ පිරිස එක්ක මටත් මේ වෙනුවෙන් රංගනයෙන් එකතුවෙන්න ලැබීම ගැන සතුටුයි.

තරිඳුටත් ගායනා තරඟයකට සම්බන්ධ වෙන්න පුළුවන්නේ ගායන හැකියාවක් තියෙනවනේ නේද?

 ගීත ගායනය අත්තටම මට යම්කිසි මට්ටමක තියෙන්නේ. ඉතින් මගේම ගීත නිර්මාණයකුත් මේ වෙද්දි කරලා තියෙනවා. ඒ මගේ පළමු ගීත නිර්මාණය ගීතය රචනා කළේ මගේ රසිකයෙක් ෂෙහාන් කියලා මල්ලි කෙනෙක් FB  හරහා තමයි ඔහු මගෙන් ගීතයක් කරමුද කියලා ඇහුවේ ඉතින් ඒ ගී පද රචනය මට එවලා තිබුණා. ඇත්තටම ලස්සන පද රචනයක් නිසා මටත් හිතුණා ඒ ගීතය කළොත් හොඳයි කියලා. එහි සංගීත කටයුතු කළේ ෂෙනාල් මද්දුමගේ, ඉදිරියේ දී මේ ගීතය රසවිඳින්න හැකිවෙයි. ඇත්තටම මේ මම ආසාව නිසා කරන දෙයකි, මම ගීත ගායනය වැඩිපුර කරන කෙනෙක් නෙමෙයි. මට ගොඩක්ම ඕන වුණේ සංගීත කණ්ඩායමකට එකතු වෙන්න.

ඒ දේ සිද්ධ වුණා. ඉතින් අපි සම්බන්ධ වුණු ප්‍රසංගවලත් මම වැඩිපුර කළේ නිවේදනය තමයි.

ඒ කියන්නේ රංගනය/ ගායනය/ නිවේදනය සියල්ලටම හැකියාව තියෙනවා?

මගේ ජීවිතේම කලාවට තමයි මූලික තැන දීලා තියෙන්නේ. මොකද ඇත්තටම කලාව කියන්නේ සුන්දර දෙයක්, ඒ තුළ විඳින්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම කැමති කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න. මොකද මම මුලින් සඳහන් කළා වගේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම මට ලොකු හීනයක් වෙලා තිබුණේ.

පුංචි කාලේ රුපවාහිනිය නරඹද්දී, මටත් හිතුණා මටත් කවදාහරි රූපවාහිනියේ ඉන්න ලැබුණා නම් කියලා. ඒ දේට මම හින මැව්වා ඉතින් අද වෙද්දී ඒ හීනය සාර්ථක වෙලා තියෙනවා.

ගමේ ඉඳන් මේ තැනට ආපු කෙනෙක් විදියට මාව මුලින්ම ටීවී එකේ පෙන්නද්දී එදා ඒ දැනුණු සතුට කියන්න බැරි තරම්. ඒ දවස ජීවිතේ අමතක නොවනම දවසක්. ඇත්තටම එදා මගේ ගෙදර අයත් එක්ක ගොඩක් ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියේ.

ධනු විජේරත්න