මේ වෘත්තිය මම කරන්නෙ හරිම තෘප්තිමත් ලෙසයි. මම රඟපෑමට කෑදරයි
- සිරි දළදාගමනය:- පණ්ඩු රජතුමා
- සංගීතේ - අසේල මොරවක
- ලංවී - පොඩි රාජා
- රෝස සංධ්වනිය – තාත්තා
- සිත් බැඳි දනව්ව – ආරච්චිල
- බන්ධනා - සනත් (තාත්තා)
- සංගිලි කනදරාව – කපටි කට්ටඬියා
අපේ රටේ රංගන කලාවට අත්‍යාවශ්‍ය චරිතයක් වී සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රවීනයා මේ දිනවල එලෙසින් විකාශය කෙරෙන නාට්‍ය හතක රංගනයේ යෙදෙන මොහොතක මේ සුන්දර පිළිසඳර ඔහු සමගයි.
මේ දිනවල සෑහෙන්න කාර්ය බහුලයි නේද?
තරමක් අවිවේකයි. මොකද කිව්වොත් බොහොමයක් කලා කටයුතුවල යෙදී සිටින නිසයි. ඒ අතරේ සමාජයේ වැඩවල වගේම ගෙදර පවුලේ අය එක්කත් කාලය ගෙවෙනවා.
ඔබ දායක වූ ටෙලිනාට්‍ය ‘හතක්’ එකවර විකාශය වෙනවා මොකද හිතෙන්නෙ?
වසර 40ක් හෙවත් දශක හතරක් තිස්සේ රංගනයෙන් දායක වෙනවනෙ. එදා ඉඳලාම මේ ටෙලිනාට්‍ය කියන විෂයෙහි මම හිටියා. නමුත් එක් අවස්ථාවකදි අපේ සිනමා සක්විති ලෙස විරුදාවලිය ලද ගාමිණී ෆොන්සේකා ශූරීන් හමු වූ අවස්ථාවකදි නිතරම පේන්න දකින්න ඉන්න එපා හිටියොත් ඒක හරියට නිතර දකින කුකුළාගේ කරමළය සුදු පාටට පෙනෙන්නෙ වගේ කියලා කිව්වා. නමුත් හැමදාම දකින්නෙ විවිධ චරිතවලින් නිසා ඒක එච්චරම මට බලපෑමක් වුණේ නැහැ. ඒත් ඉතින් මා කියූ ඒ දේ කොයිතරම් දුරට නිවැරදිද කියලා තීන්දු කරන්න මට බැහැ.
එකවර නාට්‍ය කීපයක රඟපෑම වෙහෙසකර දෙයක් නෙවෙයිද?
මේ වෘත්තිය මම කරන්නෙ හරිම තෘප්තිමත් ලෙසයි. මම රඟපෑමට කෑදරයි. ඒ රඟපෑමට ඇති කෑදරකම ඉවර වෙන්නෙ නැහැ. ඒක හරියට සංසාරේ වගේ දිගයි. ආර්ථික හා දේශපාලනික වගේම සෞඛ්‍ය ප්‍රශ්න නිසා සමාජය අද වේදිකාවෙන් තරමක් දුරස්ථ වෙලා. ඒත් වේදිකාව යළි ඒ තැනට ගේන්න අපි උත්සාහ ගන්නවා. ඒ ස්වභාවය යටතේ ටෙලිනාට්‍ය ක්ෂේත්රය ජනතාවට වඩා සමීපයි. දුරස්ථ නැහැ. ටෙලිනාට්‍ය එක්ක මිනිස්සු බැඳී සිටින ප්‍රමාණය වැඩියි. එවැනි ස්වභාවයකදි වැඩිපුර චරිත රඟපෑමට ලැබීම අර මා කියූ රඟපෑමට ඇති කෑදරකම නිසා ලැබුණු අවස්ථා කියලා කියන්න පුළුවනි.
මේ විවිධ චරිත අතරේ ඔබ නව පරපුරේ සහ ඊට පෙර ආ අය එක්ක වගේම ඔබගේ පරපුරේ අය එක්කත් රඟපානවා. ඒ අත්දැකීම මොන වගේ දෙයක්ද ඔබට ගෙන දෙන්නෙ?
ඒ අත්දැකීම ඉහළම විදියට ලබන ශිල්පියෙක් මම. ලංකාවේ නිෂ්පාදනය වූ තුන්වැනි ටෙලිනාට්‍යයේ සිට මට එක් එක් කාලවලදි විවිධ ශිල්පීන් සමග රඟපෑමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒක හරි අපූරු දෙයක්. සංගීතේ නාට්‍ය ගත්තොත් අලුත්ම පිරිසක් ඉන්නෙ. ලංවී එකේ තවත් අලුත්ම තරුණ කණ්ඩායමක්. මේ මොන විදියට හමුවුවත් ඔවුන් මට සළකන්නෙ ලොකු ගෞරවයකින්. ඒ වගේම එයාලා නොදන්නා දේ ගැන අහනවා. අතීතයේ වූ දේ දැන ගන්නවා. ඒවා හොඳ දේවල්. මටත් ඔවුන්ගේ දක්ෂතා මැන ගන්න පුළුවන් වෙනවා. ඔවුන්ගෙ අදහස් වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ සියලු දේ සමග යහපත් ගමනකට අවශ්‍ය පසුබිමක් අපි ඔවුන්ට කියා දෙනවා. ගුරුවරයකු, වැඩිහිටියකු, පියකු ලෙස එය මගෙන් ඉටුවන හොඳ සේවයක් කියලා හිතෙනවා.
කොහොමද මේ තරුණ පරපුර ඔබට කතා කරන්නෙ? මහත්මයා කියලද? අංකල් කියලද? ශ්‍රියන්ත අයියේ කියලද?
‘‘ශ්‍රියන්ත මාමා’’ කියලයි. ඒ ඥාතීත්වයට මම කැමතියි.
ඔබ එදා වෘත්තියෙන් ගුරුවරයකු ලෙස කටයුතු කළා. පසුව රංගන ශිල්පියකු වී ඒ භූමිකාවේ නියැලෙනවා. දේශපාලන භූමිකාව කරන්නත්, කාලයක අදහසක් තිබුණා නේද?
දේශපාලනයට ඇවිත් ඒ භූමිකාව කිරීමේ අරමුණක් මට කවදාවත් තිබුණේ නැහැ. හැබැයි ඉතින් ඊට සමගාමීව පරිපාලන කටයුතුවල යෙදුණා. ඒ සියලු දේ කළේ සහ ඉදිරියට කරන්නෙත් කලාකරුවා කියන පදනමේ සිට කලාවට යහපතක් කිරීමේ අරමුණින්.
කොහොමද ඉතින් ගෙදර ජීවිතේ? පසුගිය කාලයේදී ඔබගේ ආදරණීය ‘‘කුසුම්’’ටත් අසනීපවෙලා කියලා ආරංචි වුණා? දැන් කොහොමද?
පසුගිය කාලයේදී රටේ ලෝකයේ ඇතිවූ සෞඛ්‍ය පරිහානිය එක්ක, ඒ ස්වභාවය හමුවේ අපේ පවුලේ අයත් අසනීප වුණා. නමුත් කෙසේ වෙතත් ඉන් පසුව අපි පරිස්සමින් කටයුතු කළා. ‘‘කුසුම්ටත්’’ අසනීප වෙලා පසුගිය දිනවල රෝහල් ගත වෙලත් හිටියා. ඒ කාලය නම්, අපි ඔක්කෝටම වේදනාබර කාලයක් වුණා. කෙසේ වෙතත් දැන් ඇයට සුවයි. ඒ ගැන දෙවියන් වහන්සේට මා ස්තුතිවන්ත වෙනවා.
එදා ඔබ ක්ෂේත්රයට එද්දි සිටි සමකාලීන පිරිස හා සසඳද්දි, අද ක්ෂේත්රයට පැමිණෙන පිරිස දිහා බැලුවාම ඔබට මොකද හිතෙන්නෙ?
ඒ කාලයේදි අපට මේ රංගන ක්ෂේත්රය සොයා යාමේ උණක් තිබුණා. ඒ රංගනය හදාරන්න උත්සාහ කළා වගේම, ඒ පාසල් සොයා ගියා, වර්තමානයේ තරුණ පරපුරත් එහෙම වෙන්න ඇති. ඒත් එයාලා තරමක් අවිවේකීයි වගේ දෙයක් මා දකිනවා. කෙසේ වෙතත් ඒ අවිවේකීභාවය එක්ක එයාලත් යම්කිසි සොයා යාමක නිරත බව පෙනෙනවා. ඒක හොඳ දෙයක්. එදා මම රංගනය ගැන ඉගෙන ගනිද්දි මගේ ගුරුතුමාගෙන් ඇහුවෙ මම නළුවෙක් වෙන්න මොකද්ද කරන්න ඕනැ කියලයි? එතකොට මට ගුරුතුමා කිව්වෙ හොඳ නළුවෙක් වෙන්න කලින් හොඳ මිනිහෙක් වෙයන්, කියලයි.
ඔව්, අපි ඔක්කෝටම දැනෙන විදියට, හැඟෙන විදියට ඔබ හොඳ මිනිසෙක්. ඔබට ඔබ ගැන දැනෙන්නෙ කොහොමද? ඔබ හොඳ මිනිසෙක්ද?
ඊයේ වගේම අදත්, අද වගේම හෙටත්, සමාජයට යහපතක් කරන්නට එකඟ වූ කෙනෙක්. ඒ ධර්මතාවය මත තමයි මම වැඩ කරන්නෙ. යහපත් දේ කරන්න, හොඳ දේ කරන්න මම උත්සාහ කරනවා. සහෝදරත්වය නිර්මාණය කරන්න වගේම කලාකරුවකුට තිබිය යුතු ගුණාංග රකින්නත් උත්සාහ ගන්නවා. කවදාහරි මිය යන්න උත්සාහ කරන්නෙ ඒ විදියට සමාජයට යහපත් දෙයක් ඉටු කිරීමට කැපවූ මිනිසකු ලෙසයි.
විවිධ විෂයයන් සහ දක්ෂතාවලින් පොහොසත් ප්රතාපවත් රංග ධරයකු ලෙස මෙතෙක් ඔබ, ඔබගෙන් ප්‍රයෝජන නොගත් තවත් අංශයක් තිබෙනවද?
ටෙලිනාට්‍ය 400 ක විතර මේ දක්වා රඟපාල තියෙනවා. විවිධ චරිත නිරූපනය කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. රංගනයේදි තවත් විවිධ චරිත කරන්න තියෙනවා. මම ඒ වෙනස් චරිතවලට කැමතියි. අලුත් චරිතයක් ලැබුණාම එය ගවේෂණය කරන්න මම වෙහෙසෙනවා. වෙනස් චරිතවලට ආස කරන ඒ වෙනස තමයි අපි සොයාගෙන යන්නෙ.
විවේකය ගත කරන්න කොහොමද කැමති?
මිතුරන් එක්ක ගත කරන්න කැමතියි. ඒත් ලැබෙන විවේකය අඩුයි.
ශ්‍රියන්ත මේ ගත කරන විදිහටම ඉදිරියටත් රංගනයේම නිරත වේවිද?
අපි අද ඉන්නෙ සමාජ, ආර්ථික, දේශපාලන දුර්භික්ෂකයක. ආර්ථික හා සමාජයීය මෙන්ම දේශපාලනික අවපාතයක අපි ඉන්නෙ. ඒ ස්වභාවය යටතේ සමාජයට යහපත් දෙයක් කිරීම අපි හැමෝගෙම වගකීමක්. සමස්ත සමාජයම ගිණි ගොඩක ඉන්නෙ. ඒ ගිණි ගොඩ උඩ කොහොමද සිටිය යුත්තේ මොනවද කළ යුත්තේ කියන ‘භාෂාව’ තමයි අපි ඊළඟ පරපුරට ඉගැන්විය යුත්තේ.
සඳුන් ගමගේ