මේ දවස්වල පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ
“මන්දාරම් කතාවේ” මේ දිනවල පුංචි තිරයේ වැඩි කතාබහකට ලක්වූ ටෙලි නිර්මාණයක්. ඒ තුළ රංගනයෙන් එකතු වන චරිත අතර ‘විශ්ව’ කියන්නෙත් ප්‍රේක්ෂක අවධානය දැඩිව ලබාගත් චරිතයක්. නමුත්, ඔහු සම්බන්ධව ප්‍රේක්ෂකයන්ට වැඩිපුර තියෙන්නෙ නම් යහපත් ප්‍රතිචාර නෙමෙයි. ඒ ගැන ඔහුගෙන්ම අසා දැනගමු. මේ කතාබහ ‘මන්දාරම් කතාවේ’ විශ්ව වූ ඔහු ගාවින්ද නවරත්න සමගින්.
මුලින්ම කියමු ද ගාවින්දට මේ දිනවල තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
“මේ දවස්වල ඉතින් වැඩිපුර බැණුම් තමයි ප්‍රතිචාරවලට තියෙන්නෙ. පාරෙ බැහැලා යන්න බැරි සිද්ධියක් තියෙන්නෙ.”
පාරෙ බැහැලා යන්න බැරි තරමට බැණුම් අහන්න වෙලා තියෙන්නෙ ඇයි කියලා ගාවින්දම කියමු?
“ඇත්තටම එහෙම වෙලා තියෙන්නෙ ‘මන්දාරම් කතාවේ’ ටෙලි නිර්මාණය නිසා. එහි මගේ චරිතය විශ්ව. ඔහු දුක් විඳින ප්‍රේමවන්තයෙක්. ආදරෙන් පරාජය වෙලා ඉන්න ඔහු ඒ ආදරය වෙනුවෙන් පළිගැනීමක් සිදු කරනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මීට පෙරත් මම දුෂ්ට ප්‍රේමවන්තයාගේ චරිතය කරලා තියෙවා. නමුත් ඒ හැම චරිතයකටම වඩා මේ රංගනය ගොඩක්ම වෙනස්. ලැබෙන ප්‍රතිචාරත් ඇත්තටම ඉතා ඉහළයි. පාර තොටේ එහෙම යද්දි කට්ටිය කියනවා ගෑණුන්ට වද දෙන්න එපා කියලා.”
ඇත්තටම ආදරයක් ලබාගන්න එහෙම දුෂ්ටකම් කරන්නෙ නැහැ නේද?
“අපෝ නැහැ. මම කවුරුත් ළඟ බලෙන් රැඳෙන්නෙ නැහැ. අකැමැත්තෙන් කිසිම කෙනෙක් ළඟ තියාගන්න බැහැනෙ. ඒ නිසා ඒ කෙනාට අවශ්‍ය නම් යන්න පුළුවන්.”
ගාවින්ද ආදරෙන් පැරැදිලා තියෙනවා ද?
“අපෝ ඔව්. ආදරේ නිසා අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියෙනවා.”
මේ දවස්වල එහෙම දුකක් නැහැනෙ?
“නැහැ. මේ දවස්වල සතුටින් ඉන්නෙ. ආදරේ සම්බන්ධ ප්‍රශ්න නැහැ.”
ඒ කියන්නෙ හරි ගිය ආදරයක් තියෙනවා?
“එහෙම හිතමු. ඒ ගැන පස්සෙ කතා කරමු නේද?”
“අනිවාර්යයෙන්ම. ඒ ගැන පසුවට කතා කරන්න තියලා විශ්වගේ චරිතය ගැන කතා කළොත් මේ රංගනය කොහොම ද ගාවින්දට දැනෙන්නෙ?
“මේ රංගනය ගැන කතා කළොත් ඇත්තටම පෙර සඳහන් කළා වගේ ගොඩක් දෙනෙක්ගෙන් බැණුම් අහන්නනෙ සිදු වෙලා තියෙන්නෙ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනෑ විශ්ව වැනි චරිත අද අපේ සමාජය තුළ ඕනෑ තරම් දකින්න ඉන්නවා.
මේ නිර්මාණය වෙනුවෙන් සමාජ ජාලාවල එකතු කරලා තියෙන ප්‍රතිචාර එහෙම දකිද්දි හිතෙනවා මෙවැනි අත්දැකීම් තියෙන පිරිස් ඉන්නවා කියලා. ඒ අය තමන්ගේ අත්දැකීම් සම්බන්ධව කතා කරලාත් තියෙනවා. ඉතින් මම මේ රඟපෑම වෙනුවෙන් සමහර තැන්වලදි බැණුම් අහන්නෙත් ඔවුන්ට චරිතය දැනෙන නිසා සහ විඳින නිසා වෙන්නත් ඇති. මේ විශ්ව කියන පුද්ගලයා කෙතරම් දරුණු වුවත් ඔහුට හොඳ කියන පිරිසකුත් නැතුවාම නෙමෙයි. මොකද ඔහු දරුණු වෙලා තියෙන්නෙ තමන්ගේ ආදරය නොලැබුණු නිසානෙ. ඉතින් ඒ තුළ විශ්ව කියන්නෙ වීරයෙක් කියන දේත් දකින පිරිසක් ඉන්නවා.”
මේ තුළ ගාවින්දට දුෂ්ටකම් කරන්න තියෙන්නෙ ආශා එදිරිසිංහටනෙ. ඉතින් ඇයගෙන් ලැබෙන සහාය කොහොම ද රංගනයේදී?
“ආශා අක්කා එක්ක මම මීට පෙර ගොඩක් වැඩ කරලා තියෙනවා. ඇත්තටම ඇය මාරම සහයෝගයක් ලබා දෙන රංගන ශිල්පිනියක්. අපි අලුත් කියලා එහෙම නැහැ. ඒ කණ්ඩායමේ ඉන්න හැම දෙනාගෙම සහයෝගය මාරම විදිහට ලැබෙන්නෙ. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ ගයාන් අයියා, පබෝධා අක්කා, ඒ වගේම මෙහි අධ්යක්ෂවරයා ධනුෂ්ක රත්නායක අයියා ඇතුළු සියලුම දෙනාව. ඒ හැම දෙනාම නිසා තමයි මගේ චරිතය සාර්ථකව කරගෙන යන්න ලැබුණෙ.
තවත් මතක් කරන්නම ඕනෑ විශේෂම චරිත දෙකක් තමයි මෙහි රචක තිලංක නිරන්ජන බණ්ඩාර සහ නිෂ්පාදකතුමිය අයේෂා අබේගුණරත්න.
මෙහි නිෂ්පාදකතුමිය තමයි මාව මේ නිර්මාණයට සම්බන්ධ කරන්නට අධ්යක්ෂවරයාට හඳුන්වා දුන්නෙත්. ඇයට මේ චරිතය මම හොඳින් කරයි කියන විශ්වාසය තිබුණා. ඇත්තටම මේ කතාවත් අතීතය සහ වර්තමානය එකට බද්ධ කරලා මෙහි රචකයා ඉතාම ලස්සනට රචනා කරනවා. අතීතයේ සිදුවීම් වර්තමානයට ගළපගෙන යන කතාවක්. මේ ආදර කතාවක්. ඒ තුළ මිනිසුන්ට තියෙන වේදනා, පරාජයන්, දරා ගැනීම් ආදී සියලුම දේ පෙන්නලා තියෙනවා. වෙනස්ම කතා තේමාවක්.
ගාවින්ද මේ නිර්මාණය එක්ක විතර ද එකතු වෙලා ඉන්නෙ?
“ඇත්තටම මේ වසර තුළ මම නිර්මාණ ගොඩක් කළේ නැහැ. නිර්මාණ තුනක් වගේ තමයි කළේ. නමුත් මේත් සමග ඉදිරියේදි තවත් කරපු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ඒවා තුළින් ලබන වසරේ දකින්න ලැබෙයි. ඒවා එකිනෙකට වෙනස් නිර්මාණ. රූපය, පෙනුම, කතා විලාශය හැමදේම වෙනස් වුණු නිර්මාණ.”
ඒ කියන්නෙ 2024 ජීවිතයේ නව ඇරඹුමක් වෙයි?
“ඔව්. ඇත්තටම ඇරඹුමක් වෙයි. ඇරඹුමක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.”
ධනු විජේරත්න