මේ දිනවල නම් ලැබුණෙම යහපත් ප්‍රතිචාර තමයි. දායකවෙලා ඉන්න චරිත තුන විදි තුනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයේ මේ දිනවල වැඩිපුර දකින්න ලැබෙන චරිත අතරින් ඉදිරියෙන්ම සිටින චරිතයක් සමඟින් මෙවර සදැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. ඒ රංගන ශිල්පී චතුර එරංග රාජපක්‍ෂ සමඟින්.

චතුර මේ දිනවල පුංචි තිරයේ ටෙලි නිර්මාණ කිහිපයකම දකින්න ඉන්නවා නේද ?

මම රංගනයේ දායකවන නිර්මාණ 3 ක් මේ දිනවල විකාශය  වෙනවා. හිරු නාළිකාවෙ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයත්, ස්වර්ණවාහිනියෙ විකාශය වන ඇස් සහ මැස්සා නිර්මාණ දෙ​ෙකත්. ඉතින් මේ නාට්‍ය තුනේ එකිනෙකට වෙනස් වූ චරිත රංගනයන් තමයි මම කරන්නෙ. ඒ වගේම හරිම ආසාවෙන් මේ තුළ වැඩ කරගෙන යනවා. ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ගොඩක් හොඳයි.

ඉතින් මේ එකිනෙකට වෙනස් වූ චරිත රංගන ගැනත් කියමු ?

‘‘රැල්ල වෙරළට ආදරෙයි’’ හි පොඩි දුෂ්ට චරිතයක් කරන්නෙ. ඉතින් මේ ‘‘ජූඩ්’’ චරිතය දුෂ්ට වුණත් ඇතුළාන්තය සුදු චරිතයක්. සුදු කලු දෙකම අතර දෝලනය වෙනවා. ඒ වගේම ‘‘ඇස්’’ නිර්මාණයේ ‘‘ඩොමිනික්’’ සර්ටත් මේ වෙද්දී යහපත් මට්ටමේ ප්‍රතිචාර ලබමින් පවතිනවා. ඩොමිනික් කියන්නෙ බොක්ෂින් ක්‍රීඩාව උගන්වන ගුරුවරයෙක්. තමන්ගේ ගෝලයන්ගෙන් තමන්ව දකින්න ඔහු උත්සාහ කරන්නෙ.

මොකද ඔහුට බොක්ෂින් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න යම් අරමුණක් තිබුණා. නමුත් ඔහුගේ පවුල් පසුබිමක් එක්ක ඒ හීනයට, අරමුණට යන්න ලැබුණෙ නැහැ. ඒ නිසාම බොක්ෂින් පුහුණුකරුවෙක්, ගුරුවරයෙක් වෙලා දරුවන්ව ඒ තැනට යවන්න උත්සාහ කරනවා මම ‘‘මැස්සා’‘ගෙන් දකින්න ඉන්නෙ ‘‘දිගා’’ චරිතය තුළින්. ‘‘දිගා’’ කියන්නෙ වීදි දරුවෙක්. හීන මැරුණු තරුණයන් පිරිසකගේ ජීවිත කතාවක් මේ තුළ අන්තර්ගත වෙන්නෙ. මව්පියන් නොමැති කිසිදු හව්හරණක් නොමැතිව යන එන තැනක් නොදන්න මේ තරුණයන් පිරිස සමාජයේ නරක පැතිවලට යොමුව ජීවත්වීම සඳහා විවිධ අකටයුතුකම්වල නියැළෙනවා. 

චතුරට රංගනයෙදී ලැබුණෙම යහපත් ප්‍රතිචාර?

මේ දිනවල නම් ලැබුණෙම යහපත් ප්‍රතිචාර තමයි. දායකවෙලා ඉන්න චරිත තුන විදි තුනක්. ‘‘රැල්ල වෙරළට ආදරෙයි’’ ජූඩ් චරිතයට නම් මුල් කාලෙදී ගොඩක් දෙනෙක් බැන්නා. වෛර කරන චරිතයක් වෙලා තිබුණා. මොකද ඒ දුෂ්ටකම නිසා. නමුත් ඒ බැනුම් ගැන මම අවංකවම සතුටු වුණා. ප්‍රේක්‍ෂකයො එවැනි චරිත රංගනයකට බනිනවා නම් ඒ බනින්නෙ අපි ඒ වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරපු නිසානෙ. ඉතින් මටත් හිතුණා මම ඒ චරිත රංගනයට හොඳ සාධාරණයක් කළා කියලා. මොකද මේ අපේ ජීවිතේ ඇත්ත ස්වභාවය නෙමෙයිනෙ. රංගන ශිල්පීන් විදියට අපි කරන්නෙ රඟපෑම. ඒක අපේ වෘත්තිය. ඉතින් අපි රංගනයේ යෙදෙන චරිතවලට ලබාදෙන ප්‍රතිචාරත් එක්ක තමයි අපි තව තවත් ඉදිරියට යන්නෙ. ඒ නිසා යහපත් ප්‍රතිචාර ලැබුණත් මම හැමදේම සතුටින් තමයි භාරගන්නෙ. ඒ දේවල් අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.

රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ලොකු බලාපොරොත්තුවක් වුණා ද?

ඔව්. පුංචි කාලෙ ඉඳන්ම තිබුණෙ නළුවෙක් වීමේ හීනය තමයි. ඒ උණ දරුණුවටම තිබුණා. ඒ නිසාම පාසල් යන කාලේ ඉඳන්ම කලාවට නැඹුරු වෙලා හිටියෙ. මම පාසල් 3 කට ගියා. ඒ කොළඹ මාලිගාවත්ත ශ්‍රීමත් බාරෝන් ජයතිලක විද්‍යාලයටත්, බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයටත්, අවසානයේ කොළඹ රාජසිංහ විද්‍යාලයටත්, ඒ පාසල් තුනේම වේදිකාවට සම්බන්ධ වෙලා වැඩ කළා.

ඒ වගේම නාට්‍ය හා රංග කලාවත් හැදෑරුවා. ඒ ලබාගත් අත්දැකීම් එක්ක මට ඕනෑ වුණේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමම තමයි. ඒ නිසාම පාසල් ජීවිතය හමාර කිරීමත් එක්කම මම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණා. ඒ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යද්දි මට නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවත් අරගෙන පෞද්ගලික නාළිකාවක නිවේදකයෙක් විදියට වැඩ කරගෙන ගියා. ඒ අතර කාලයේදීත් මට රංගනයට සම්බන්ධ වීමට තමයි හිත තිබුණෙ. ඒ කැමැත්ත එක්ක මම මුලින්ම අනෝජා වීරසිංහ මහත්මියගෙ අභින වැඩමුළුවට සම්බන්ධ වුණා. ඒත් එක්කම මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ රංගන පාසලටත් ගියා. ඒ ආරම්භයත් එක්ක තමයි පියවරෙන් පියවර මේ ක්ෂේත්‍රයේ ගමනක් ආවෙ. ඒ ගමනෙ දී මම මුලින්ම සම්බන්ධ වුණේ සිරස නාළිකාවෙ විකාශය වුණු ‘‘සිහින පුරය’’ නිර්මාණයත් එක්ක. ඒ තුළ මම පුංචි චරිතයක් කළේ. ඒ ආරම්භයත් එකක් ටිකින් ටික මට චරිත ලැබෙන්න ගන්නවා. විවිධාකාර විදියෙ චරිත රංගනයන්.

පුංචි චරිත රංගනයකින් ආරම්භ කරපු ඒ ගමන අද වෙද්දී සාර්ථක වෙලා තියෙනවා නේද?

ඔව්. ඇත්තටම යම් දුරකට සාර්ථකයි. ඒ ගැන ගොඩක්ම සතුටුයි. අද වෙද්දි මම රංගන ශිල්පියෙක් විදියට මාව හඳුනාගෙන කතාබහ කරන පිරිසක් ඉන්නවා. ඉතින් මගේ හිතේ තිබුණු හීනය යම්තාක් දුරට ඉෂ්ට වෙලා මගේ අරමුණට ටිකින් ටික යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තවම ඒ තැනට ගිහින් නැහැ. තවත් අත්දැකීම් මේ ක්ෂේත්‍රයෙන් ලබාගෙන, අධ්‍යනයන් තුළින් ඉදිරි ලස්සන ගමනක් යන්න ඕනෑ. ඒ තැනට යන්න ගොඩක් උත්සාහ කරනවා. මොකද සම්මානයක් ලැබුණා හෝ නාට්‍යයක ප්‍රධාන චරිතයක් කළා හෝ ප්‍රතිරූපය ගොඩනඟා ගත්තා කියන දේ තුළින් රංගධරයෙක් සම්පූර්ණව බිහිවෙන්නෙ නැහැ. ඊට වඩා දේවල් මේ ගමන් මගේ තියෙනවා. ඉතින් මම උත්සාහ කරන්නෙ මේ ක්ෂේත්‍රයේ මම හිතන විදියෙ සාර්ථක ගමනක් යන්න.

නමුත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අතින්නම් යම් දුරකට මම සාර්ථකයි කියලා හිතෙනවා. ඒ ප්‍රතිචාර ආශිර්වාද ලොකු ශක්තියක්. මොකද ඒවා තුළින් තමයි අපි දිරිමත් වෙන්නෙ. තව ඉදිරියට කරන්න ඕනැ දේවල් සහ තමන්ගෙ කාර්යය මොකක් ද කියන දේ තේරුම්ගන්න හැකිවෙනවා.

 

චතුර හිතන විදියට රංගන ශිල්පියෙකුගෙ මූලිකම කාර්ය්‍ය භාරය මොකක්ද?

මූලිකම දේ තමයි ප්‍රේක්‍ෂකයා පිනවීම, ඇත්තටම වර්තමානයේ නම් රටේ තියෙන ප්‍රශ්න සහ ඒ වාතාවරණය එක්ක මිනිසුන්ට ඒ ප්‍රශ්නවලින් මිදිලා යම් දුරකට කලා නිර්මාණයකින් හෝ හිතට සතුටක් දෙන්න පුළුවන් නම් ඒක තමයි රංගන ශිල්පියෙක් විදියට අපිට කරන්න පුළුවන් ලොකුම කාර්යය. ඒක සිදුවුණා කියන්නෙ අපිත් මේ තුළින් ජයග්‍රහනයක් ලැබුවා කියන දේ තමයි, නමුත් ඉතින් අද දේශපාලනය කියන දේ මිනිසුන්ට හොඳටම කරලා තියෙන නිසා හැම වෘත්තියක්ම කරගන්න අපහසු වෙලා තියෙනවා. නිර්මාණ කෙරෙන්නෙත් නැති තරම්. මොකද මට මේ වෙද්දී රිදී තිරයට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් රටේ පවතින තත්ත්වයන් නිසා ඒ හැමදේම කල් දාලා තියෙනවා.

ඒ නිසා කිසි දෙයක් සැලසුම් කරන්න විදියත් නැහැ. ඉදිරි ජීවිතයක් ගැනවත් හිතන්න බැරි කාලයක්නෙ මේ. නමුත් ඉතින් අපිත් අතඅරින්නෙ නැතිව පුළුවන් කල් මේ ක්ෂේත්‍රය අල්ලගෙන ඉන්නවා. රංගන ශිල්පියෙක් විදියට හොඳ චරිතවලින් හොඳ නිර්මාණවලින් ප්‍රේක්‍ෂකයාව සතුටු කරන්න.

ධනු විජේරත්න