මේ දිනවල නම් ජීවිතේ ගෙවෙන්නේ පෙට්‍රල් පෝලිමේ තමයි
කලා ක්ෂේත්රයට අලුතින් එකතු වුණු කලාකරුවන් අතරින් පියවරෙන් පියවර ඉදිරියට යමින් අද වන විට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලබන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. ඔහු නමින්, ෂිහාන් මධූෂ.
ෂිහාන් කොහොම ද ජීවිතේ?
“මේ දිනවල නම් ජීවිතේ ගෙවෙන්නේ පෙට්‍රල් පෝලිමේ තමයි.”
එතකොට රංගන කටයුතු සිද්ධ වෙන්නෙ කොහොම ද?
“රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. විවේකයක් ලැබුණු ගමන් තමයි තෙල් පෝලිමට යන්න වෙලා තියෙන්නේ. දැන් ඒකත් අපේ ජීවිතේ වෙලා වගේනේ.”
ඉතින් කියමුකො නිර්මාණ දායකත්වය ගැන?
“සුපුරුදු විදිහට ‘නීල පබළු’ නාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඊට අමතරව සම්බන්ධ වුණේ රවීන්ද්‍ර විජේරත්න අධ්යක්ෂවරයාගේ ‘බොනිකර තරු’ නිර්මාණය වෙනුවෙන් තමයි.”
‘නීල පබළු’ තවම දුෂ්ටයා ද?
“ඔව්. ඒකෙ වෙනසක් නැහැ. තවම දුෂ්ට ‘රයන්’ තමයි. නමුත් ඉතින් පෙර පරිදිම ප්‍රතිචාර නම් ලැබෙනවා. එතකොට ‘බොනිකර තරු’ නිර්මාණයේ අවන්ත තමයි එහි චරිතය. බොරුවෙන් ආදරය ජය ගන්න වෙර දරන තරුණයෙක්ගේ චරිතයක් රඟපාන්න තියෙන්නේ. අවන්ත කියන්නෙ ආර්ථික මට්ටමින් පහළ පවුල් පසුබිමක ජීවත් වෙන තරුණයෙක්. නමුත් ඔහු බොරු කරලා ගැහැනු ළමයෙක්ව රවට්ටගෙන ආදරය කරන්න හදනවා. ඒ බොරුව ගැහැනු ළමයා දැනගෙන ඔහුගෙන් ඉවත් වෙන්න හදනවා. නමුත් මොහු කෙසේ හෝ ඒ ආදරය ලබාගන්න තමයි උත්සාහ කරන්නේ.”
ඇත්තටම එහෙම බොරු කරලා ආදරයක් ලබාගන්න උත්සාහ කරලා නැද්ද?
“අනේ නැහැ. අද කාලෙ ඉතින් මිල මුදල් නැතිව ජීවත් වෙන්න බැහැ තමයි. ඕනෑ කෙනෙක් සාමාන්‍ය දුරට හෝ සැපවත්ව ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මුදල් පසුපස දුවනවා කියලා ගැහැනු ළමයින්ට ඇඟිල්ල දික් කරන්නත් බැහැනේ. තමන් දියුණු වෙන්න උත්සාහ කරන්න ඕනෑ. මට නම් ඉතින් ඇත්ත ජීවිතේ කාටවත් බොරු කියන්න, බොරු කරන්න අවශ්‍යතාවක් නැහැ. ඇත්ත කියලා තමන්ට හැකි විදිහට ජීවත් වෙන්නේ.”
රංගනයට අමතරව දැන් ගායනයත් වැඩි වශයෙන් කරනවා නේද?
“කවර් සෝන්ග් එකක් කළා. ඒ, ෂිහාන් මිහිරංග අයියාගේ ගීතයක්. මම ආසම කලාකරුවා සහ ගායකයා ඔහු තමයි. ඉතින් මේ වෙද්දී මට ඔහුගේ ගීත කවර් සෝන්ග් කරන්න අවසරයක් ලබාදීලා තියෙනවා. ඒ පිළිබඳ ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.”
ෂිහාන්ගේ ප්‍රියතම ගායකයා ෂිහාන් වුණේ ඇයි?
“මම ඔහුගේ ගීතවලට මාරම ආසයි. ඒ ගීත ගොඩාක් මම ගායනා කරනවා. ෂිහාන් අයියා ගායන ක්ෂේත්රයට ආපු මුල් කාලෙදී මම පිස්සුවෙන් වගේ ඒ ගීත නැරැඹුවේ. ඒ මීට අවුරුදු කිහිපයකට කලින්. එතකොට මම පාසල් යනවා. පවුඩර් බෝතලේ මයික් එක විදිහට යොදාගෙන ෂිහාන් අයියගෙ ඇක්ෂන් දිහා බලාගෙන ඒ වගේ ගීත ගායනා කළේ. ඒ තරමට ඒ කාලෙ පිස්සුවක් තිබුණා. තවමත් ඒ කැමැත්ත ඒ විදිහටම තමයි.”
අද වෙද්දි ෂිහාන් මධූෂ කියන්නෙත් කලාකරුවෙක්නේ. ඉතින් දැන් ඔබට ෂිහාන්ව සජීවීව මුණගැහිලා තියෙනවා ද?
“ඔව්. මේ වෙද්දි කිහිප වතාවක්ම මුණගැහිලා තිබෙනවා. ඒ මුණගැහෙද්දී පළවෙනි දවසෙම ඇත්තටම ලොකු සතුටක් දැනුණා. ඔහු හරිම නිහතමානී කලාකරුවෙක්. ඉතින් හරි සතුටුයි මම අද මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා, එදා ගෙදර ඉඳලා ආදරය කරපු චරිත එකට මුණගැහිලා කතා කරන්න ලැබීම ගැන.
ඉතින් ඒ මුණගැහීමත් එක්ක තමයි මට ඔහුගේ ‘කියන් මගේ පුංචි කුමාරියේ’ ගීතය ගායනා කරන්න අවසරය ලබාදුන්නේ. ඉතින් මේ වෙද්දී මම ගායනා කරපු ඒ ගීතයට හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් දෙනෙක් ගීතය නරඹලාත් තියෙනවා. ඒ ලැබිලා තියෙන ප්‍රතිචාර එක්ක ලොකු සතුටක් තියෙනවා.”
ගීත ගායනයට අද වෙද්දී ලැබෙන ප්‍රතිචාරත් එක්ක ප්‍රසංග වේදිකාවට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?
“ආරාධනා ලැබුණා. ඒ ලැබුණු ප්‍රසංග සමහර ඒවා අවලංගුත් වුණා. මොකද රටේ දැන් පවතින තත්ත්වයත් එක්ක ප්‍රසංග පවත්වාගත නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවානේ. නමුත් ප්‍රසංග කිහිපයකට පසුගිය කාලෙ සම්බන්ධ වුණා. ඉතින් ඒ ප්‍රසංගවල වැඩිපුරම ෂිහාන් අයියගෙ ගීත ගායනය කරන්න කියලා තමයි ඉල්ලුමක් තිබුණේ.”
මේ දේවල් එක්ක ගීත ගායනයට වැඩි නැඹුරුවක් දක්වලා රංගනයට සමු දීමක් සිදු වෙයි ද?
“අනේ නැහැ. මට කොහොමත් පාසල් යන කාලෙ ඉඳන්ම ගායනයට තමයි නැඹුරුව තිබුණේ. ඒ කාලෙ ජන ගී ආදී විවිධ තරගවලට සම්බන්ධ වෙලා පාසල් මට්ටමෙන් ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. නමුත් මට දැන් ගායනයට වගේම රංගනයටත් ලොකු කැමැත්තක් තියෙනවා. ඒ නිසා රංගනය අත අරින්නේ නැහැ. මේ දෙකම සමබරව කරගෙන යනවා. මොකද මම කලාවට මේ ක්ෂේත්රයට ගොඩාක් ආදරේ නිසා. මේ තුළින් ලැබෙන තෘප්තිය මට වචන කරන්න බැහැ.”
අද කලාකරුවෙක් විදිහට ලබන ප්‍රතිචාර, ඒ ආදරය ගැන මොකද හිතෙන්නේ?
“මම මේ ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 12ක් වෙනවා. මේ අවුරුදු ගණන ඇතුළත මම මේ ආපු ගමන් මඟ ගැන ඇත්තටම සතුටුයි. මාර කට්ටක් කෑවා.
මගේ ගම රත්නපුර. රත්නපුර ඉඳලා මම රූගත කිරීම්වලට ආවේ පාරෙ බස් එකේ. දවස ගානෙ යනවා එනවා. ගමේ ඉඳලා පාන්දර එන්නේ. රෑ දෙගොඩහරියේ ආයෙත් ගෙදර යන්නේ. ඉතින් ඒ දුෂ්කරතා ඔස්සේ ආපු ගමන් මඟ අද යම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා. කොහොමත් මට ලොකු අධිෂ්ඨානයක් තිබුණා මේ ක්ෂේත්රයේ තැනකට යන්න. ඉතින් ඒ අධිෂ්ඨානය එක්ක කළුවර කියන දේ අවියක් කරගෙන වර්ෂාව කියන දේ ආශිර්වාදයක් කරගෙන මේ ගමන ආවා. ඉතින් මුල් කාලෙදී මගේ ගමන දුෂ්කර වුණත් අද වෙද්දී යම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා. මුලින් පුංචි තිරයෙන් ගමන් ආරම්භ කරපු මම නුදුරේම රිදී තිරය තුළිනුත් දකින්න ලැබෙයි.”
ධනු විජේරත්න