මේ දිනවල නිතරම ඇහෙන පවනිගේ දුම්බර මැණිකා
හිරු ස්ටාර් රියැලටි තරු මාවතේ සංගීත ක්ෂේත්රයට පිවිසි පවනි පෙරේරා වර්තමානය වනවිට ඔබ අප දන්නා හඳුනන දක්ෂ යොවුන් ගායන ශිල්පිණියකි. මේ වනවිට සංගීත විශාරදවරියක් මෙන්ම ගුවන් විදුලියේ පළමු ශ්‍රේණියේ ගායිකාවක්ද වන ඇය පසුගියදා සිය අලුත්ම ගීතය දුම්බර මැණිකා.. නමින් එළිදක්වනු ලැබීය.
දුම්බර මැණිකා.. ඒක තමයි මගේ අලුත්ම ගීතය. මේක කවර් සෝන් එකක්. නියම අයිතිය තියෙන්නේ දිල්ශාන් මධුරංග මල්ලිට. මේ ගීතය කරලා තියෙන්නේ දෙසවන් මියුසික් ප්‍රඩක්ෂන් ආයතනය. ඒ අය මේ ගීතයම කාන්තා හඬකිනුත් නිර්මාණය කරන්න සැළසුම් කරලා තියෙනවා. මගේ ළය පුරා.. ගීතය පද රචනා කරපු ශිල්පා නානායක්කාර අක්කා. පස්සේ මේ ගීතය ගායනා කරන්න දෙසවන් මියුසික් ප්‍රඩක්ෂන් ආයතනයට මාව අඳුන්වලා දුන්නා. ඒ විදිහට තමයි මේ ගීතය මට ගායනා කරන්න අවස්ථාව ලැබුණේ.
දුම්බර මැණිකා.. යනු මේ දිනවල බොහෝ පිරිසක් අතර ජනප්‍රියව ඇති ගීතයක් මෙන්ම රූප රචනාවක්ද වෙයි. කැළුම් දිසානායකගේ ගී පද රචනයෙන් මෙන්ම අශේන් චක්රවර්තිගේ ගී තනු නිර්මාණයෙන් මෙන්ම සංගීතයෙන් හැඩ වුණ මෙම ගීතයට රූප රචනාවක් නිර්මාණය කර ඇත්තේ දෙසවන් මියුසික් ප්‍රඩක්ෂන් ආයතනය වෙනුවෙන් කසුන් මධුෂංක. දින දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ලක්ෂයකට අධික පිරිසක් යූ ටියුබ් නාළිකාව හරහා මේ වනවිට දුම්බර මැණිකා.. ගීතය නරඹාද තිබේ.
මේ ගීතය අපි රූපගත කළේ වාද්දුවේ ප්‍රදේශයේ පිහිටි කලාගාරයක් ඇතුළේ. පැය කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මේ වැඩේ අපිට සාර්ථකව කරගන්න පුළුවන් වුණා. රූප රචනාව රූපගත කිරිම් බලන්න ඒ වෙලාවේ ඇවිල්ලා හිටපු දිල්ශාන් මල්ලිත් පස්සේ මාත් එක්කම මේ විඩියෝ එකේ පෙනී හිටියා. මුලින්ම මේ රූප රචනාවට මාව විතරයි යෝජනා වෙලා තිබුණේ පස්සේ දිල්ශාන් මල්ලිත් අහම්බෙන් රූප රචනාවට සම්බන්ධ වුණා. ඒක ඇත්තටම දුම්බර මැණිකේ.. රූප රචනාවේ අතරට යන්න විශාල දායකත්වයක් ලබාදුන්නා.
බුද්ධික සේනාධීර