මේ ක්ෂේත්රය තුළ අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ
හිරුස්ටාර් රියලටි තරු මාවත තුළින් ගායන ක්ෂේත්රයට පැමිණි ශිහාන් ලන්ත්‍රා වර්තමානය වන විට කොයි කාගෙත් ආදරය දිනූ තරුණ ගායන ශිල්පියෙකි. මේ වනවිට ගී නිර්මාණ රැසක් එළිදක්වා ඇති ඔහු තවත් නව නිර්මාණ කිහිපයක්ම නුදුරේම එළිදැක්වීමේ සූදානමකින් පසුවෙයි.
මොනවද ඔබගේ අලුත් නිර්මාණ?
මේ දවස්වල අලුත් වැඩ කිහිපයක්ම කරගෙන යනවා. සංසාර සෙවණැල්ල.. කියලා අලුත් ගීතයක් එනවා. ඊට අමතරව මල්වරුසාවේ.. කියල ගීතයක් දැනට නිර්මාණය වෙමින් පවතිනවා. ඇත්තටම පසුගිය අවුරුදු දෙක පුරාවටම මම කිසිදු නිර්මාණයක් කළේ නැහැ. ඉතින් අවුරුදු දෙකකට පස්සේ තමයි මේ ගීත දෙක මම මගේ ආදරණිය රසික පිරිස් වෙත නිකුත් කරන්න සූදානම් වෙන්නේ. මේ ගීත දෙකේ ගී තනුව පද රචනය සියල්ලම මා විසින් සිදු කළේ. මේ හැමදේකටම මට උදව් කරන්නේ පසන් ඉරෝෂන් බණ්ඩාර (මිස්ටර් සිලෝන්) මගේ මිත්‍රයා.
ඔබ කාලයක් වෙනවා දැන් ක්ෂේත්රයට ඇවිල්ලා?
හිරුස්ටාර් තරගයෙන් තමයි මම ගායන ක්ෂේත්රයට අවතිර්ණ වුණේ. ඇත්තටම ඒක හරි සුන්දර කාලයක්. ගායකයෙක් වෙන්න කලින් මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් දක්ෂ. සංගීතය පැත්තට නැඹුරුවෙන්න ගත්තේ හිරුස්ටාර් තරගයෙන් පස්සේ. තරගයෙන් ලැබුණු අත්දැකිම් මත ගායකයෙක් විදිහට දැන් ඉන්න තැන ගැන සතුටුයි.
දැනට ඔබ නිකුත් කර ඇති ගී නිර්මාණ මොනවද?
දැනට මම ගීත කිහිපයක් එළිදක්වලා තියෙනවා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ ආදරය පූජනීයයි.. කියන ගීතය. ඒක ගීත දර්ශකවල පවා අංක එකෙට ආවා. ඇත්තටම මට අවශ්‍ය වුණා මේ යන සංගීත ශෛලය වෙනස් කරන්න. මගේ ඇගේ තිබුණා වෙනස්ම ගීත ශෛලයක්. එහෙම හිතලා තමයි දැන් මම ගීත නිර්මාණය කරන්නේ.
ගායන හැකියාව ඔබට තියෙනවා කියලා දැනගත්තේ කොහොමද?
කුඩා කාලයේ සිටම මම ගීත ගායනා කළා. නමුත්, ගායකයෙක් විදිමට මා වටා රසික පිරිසක් එකතු වෙන්න ගත්තේ හිරුස්ටාර් රියලටි තරගයෙන් පස්සේ. ඒ හරහා තමයි මම දැනගත්තේ මට ගායන හැකියාව තියෙනවා කියලා ඒ හැකියාවෙන් ඉදිරියට යන්න ඕනා කියලා.
ගායකයෝ නළුවෝ වෙනවා, නළුවෝ ගායකයෝ වෙනවා. ඔබත් එහෙමද?
ගායකයෝ ඇත්තටම දැන් රඟපානවා. රඟපාන අය ගීත කියනවා. කලා ක්ෂේත්රය තුළ එවැනි අය බොහෝ දෙනෙක් ඉන්නවා. මටත් ආරාධනා ඇවිල්ලා තියෙනවා රඟපාන්න නම්. නමුත්, මගේ මතය නම් ගායකයෙක් වුණාම ගීත විතරක් කියන්න ඕනා කියලා. ඒක තමන්ට පුළුවන් දේනේ.
රියලටි තරගවලදි සුලබවල දකින දෙයක් තමයි කැපිලි කෙටිලි. ඒ අත්දැකිම් ඔබටත් තියෙනවද?
ඇත්තටම මේ ක්ෂේත්රය ගැන මට ලොකු කලකිරිමක් ඇතිවෙලා තිබුණේ. ප්‍රවිණයෝ ඇවිල්ලා අපිට හදවතින්ම ප්‍රතිචාර දක්වනවා කියලා හිතුවට එහෙම දෙයක් නැහැ. ගොඩක් කැපිලි කෙටිලි තියෙනවා මේ ක්ෂේත්රය තුළ. හරි අමාරුයි ඉදිරියට යන්න. ඒ නිසාම තමයි මම තිරණය කළේ මගේම නිර්මාණ මා විසින්ම කරනවා කියලා. මේ ක්ෂේත්රය තුළ අපිට එහෙම කවුරුත් උදව් කරන්නේ නැ. අපේ ගමන අපි විසින්ම යා යුතුයි කියලයි මම නම් හිතන්නේ.
බුද්ධික සේනාධීර