මං ඉස්කෝලේ කාලේ ඉඳලා නළු පිස්සුව කියන එක තිබුණා
කලාව ඇතුළේ එකම දේ දැකලා නීරස වෙලා තිබුණ වෙලාවක, ප්‍රේක්ෂක ඇස් ගැටිච්ච ප්‍රේක්ෂක රසවින්දනයට පණක් දුන්න තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න ජයකොඩි මහතාගේ උඩුගම් බලා පීනන ‘එයා දැන් බැඳලා’ ටෙලියක්ම විතරක් නෙමෙයි. ප්‍රේක්ෂකයින් උමතු කරවපු නාට්‍යවාදී සරසවියක්. නළුවෙක් කියන්නේ දෙබස්ම විතරක් නෙමෙයි. ප්‍රසන්න ජයකොඩි නම් නිර්මාණකරුවාගේ ඉවට රූප පෙට්ටියෙන් ප්‍රේක්ෂකයාගේ හිත් අල්ලපු ‘මනී’ ට අද අපේ කතාබහ විවර කරන්න සිතුවා. දිගුකාලයක් පුරාවට වේදිකාවට පෙම් බඳිමින් සිය රංගන කාර්යය තුළ හැඩ වැඩ දාපු ඔහු මේ දිනවල ටෙලි තිරය තුළ හැඩ වැඩ දමමින් ‘මනී’ ට ජීවය දෙන ප්‍රදීප් රාමවික්‍රම සමගයි මේ කතාබහ.
ප්‍රදීප්ට කොහොමද ‘මනී’ මුණගැසෙන්නේ?
මහේන්ද්‍ර පෙරේරා සර් තමයි ප්‍රසන්න ජයකොඩි මහත්මයාට මාව යෝජනා කරලා තිබුණේ. පස්සේ සර් මාව ප්‍රසන්න අයියාට මුණගැස්සුවා. ප්‍රසන්න අයියා මාව ගොඩක් ඉන්ටර්විව් කළා. චරිතයට මාව තෝරගෙන ගොඩක් දේවල් කතාකරලා තමයි අපි වැඩේ පටන් ගත්තේ. පිටපත සම්බන්ධයෙන් මගේ ඔළුවට ගොඩක් දේවල් ඔහු දැම්මා. ඉස්සර වෙලාම ප්‍රසන්න අයියා මාව කියෙව්වා. ඊට පස්සේ තමයි මට චරිතය කියවන්න දුන්නේ.
ටෙලි තිරය තුළ ඔබ දකින්නෙම නැති තරම්. ‘මනී’ ව විශේෂ වෙන්න හේතුවක් තිබුණද?
විශේෂ වෙන්න කාරණා කීපයක්ම තිබුණා. මහී වටා ගෙතුන කතාවේ බොහෝ දේවල් මගේ පෞද්ගලික ජීවිතේ වටාත් ගෙතිලා තිබුණ නිසා ‘මනී’ ව මට විශේෂ වෙන්න ලොකු හේතුවක් වුණා.
මොකද මගේ ජීවිතේ ඇතුළෙන් මම ගෙනාවේ ‘මනී’ වගේ චරිතයක්. පොඩි කාලේ ඉඳලා මගේ අම්මා හිටියේ රට. තාත්තා කළේ ගොවිතැන්. පවුලේ නංගිලා දෙන්නයි අයියයි. එයාලා කසාද බඳින තැන, නංගිලා වැඩිවියට පත්වෙන තැන ඉඳලා පවුලේ මධ්‍යස්ථයා වුණේ මම. වගකීම් එක්ක ජීවිතේ ගෙවුන කෙනෙක් විදිහට මට මනීව මගේ ජීවිතේ විදිහට පේන්න ගත්තා. පොඩි කාලේ ඉඳලා මම හැදුනේ වැඩුනේ ගෙදරින් පිට. මේ වගේ මගේ ජීවිතේ ගොඩක් දේවල් එක්ක මනී චරිතයටත් සමීප බවක් දැණුනා. ඇත්තම කියනව නම් මහීව කියවගන්න මගේ ජීවිතේ ගොඩක් දේවල් බලපෑවා. මේ මනී කියන චරිතය මේ තරම් ඉක්මනට ප්‍රේක්ෂකයා අතරට යෑම පිළිබඳව මට තිබෙන්නේ විශාල සතුටක්. මේ තිරපිටපත කාව්‍යාත්මකයි. ඒ තුළ යහමින් පෙන්වා දෙන්නේ මේ ජීවිතවල යථාර්ථය. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ මිනිස්සු කතා කරන්න අකමැති එළිපිට කතා කරන්න ලැජ්ජයි කියලා හිතන මාතෘකාවක්.
ලිංගිකත්වය කුණුහරුපයක් කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට ප්‍රසන්න අයියල වගේ අධ්යක්ෂවරු සංවරයක් ඇතුව එළිපිට කතා කරන්න ගන්න උත්සාහය මේ සමාජයට යහපතක්.
වේදිකාවෙන් ටෙලි තිරයට එන්නේ කොච්චර කාලෙකට පස්සෙද?
අවුරුදු පහකට පස්සේ තමයි ටෙලි නාට්‍යය පැත්තෙන් වැඩක් භාරගත්තේ. මීට කලින් මීදුම් අම්මා. කිරිකවඩි වගේ ටෙලි නාට්‍යවල වැඩ කරලා තියෙනවා. මම සාමාන්‍යයෙන් එළියට එන චරිතයක් නෙමෙයි. මට මෙගා නාට්‍යවලට හරියට කතාකරනවා. නමුත් මම මෙගා නාට්‍ය විරෝධියෙක්. මම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, ඇක්ටර් ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරනකොට ඒ වගේ වැඩ භාරගන්න බැහැ. ඒ වගේ වැඩවල වැඩ කරලා ඇවිල්ලා කොන්දක් තියන් ආපහු ළමයි එක්ක වැඩ කරන්න බැහැ.
‘මනී’ ගත්තාම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. අවංක සිතින් නිහතමානීව ඒ ප්‍රතිචාර භාරගන්නවා හරිම ආදරෙන්. ප්‍රතිචාර කියන්නේ. හොඳ ශක්තියක්. ඒත් මම ඒක විෂබීජයක් විදිහටත් දකිනවා. ඒ ප්‍රතිචාර ඇඟට දාගන්න ගියොත් අපිට පොළවේ පයගහලා නළු වෘත්තිය හරියට ගෙනියන්න බැරි වෙයි කියලා මම විශ්වාස කරනවා. නළුකමම ඉහට ගැහුව්වොත් අපිට මේ වැඩේ හරියට කරන්න අමාරුයි. ඒ නිසා මම නළුවෙක් කියන එක ඇඟට ගන්නේ නෑ. මම ආසයි මට නළුවෙක් කියනවට වඩා ප්‍රදීප් කියනවට.
ප්‍රදීප්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ මහේන්ද්‍ර පෙරේරාගේ මුණගැසීමත් එක්කද?
මං ඉස්කෝලේ කාලේ ඉඳලා නළු පිස්සුව කියන එක තිබුණා. මගේ ගම මාතර. අධ්‍යාපනය හැදෑරුවේ මාතර ඕල්කට් කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ මාතර සෙන් තෝමස් විද්‍යාලයෙන්. එක කාලෙක ජයලත් මනෝරත්න සර්ගේ ටෙලි නාට්‍යයක් ගියා ‘මගේ කවිය මට දෙන්න’ කියලා. ඒ නාට්‍යයේ මහේන්ද්‍ර සර්ගේ රංගනයට මාව පිස්සු වැටුණා. රඟපානවා කියන එක ඇතුළේ ඊට වඩා ලොකු දෙයක් තියෙනවා කියලා සර්ගේ රංගනය දැකලා මට හිතුණා. ඒ නාට්‍යයේ මහේන්ද්‍ර සර් කළේ අභිරූපණය සම්බන්ධ චරිතයක්. ඒක දැක්කම කවදා හරි කොළඹ ඇවිල්ලා මහේන්ද්‍ර සර්ව මුණගැහෙන්න ඕන කියලා හිතාගත්තා.
මම 4 පන්තියේ ඉඳලම සරසවිය පුවත්පත කියවනවා. කලාව ගැන තොරතුරු සොයන්න තියෙන ආසාවට තමයි ගන්නේ. ‘මගේ කවිය මට දෙන්න’ ටෙලියෙන් පස්සේ මහේන්ද්‍ර සර්ව සොයාගෙන කොළඹ එන්න ලොකු උණක් මට තිබුණා. ඒක පිස්සුවක්. මම A/L කරපු දවසට පහුවෙනිදාම මහේන්ද්‍ර සර්ගේ වැඩමුළුව සොයාගෙන කොළඹ ආවා. ඉගෙන ගන්න ආසයි ඒත් අතේ සල්ලි නෑ. ඒ ගමන අතිශය දුෂ්කරයි. මහේන්ද්‍ර සර්ගේ වර්ක් ෂොප් එකට එන්න තියෙන ආසාවටමයි මම කොළඹ ආවේ. මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් එකට යන්න සල්ලි හොයාගන්න හෝටල්වල, රෙදිකඩවල, හාඩ්වෙයාර්වල වැඩ කළා, මාස ගාණක්. දැන් වැඩමුළුවට ආවත් සර් මාව අඳුරන්නෙවත් නැහැ. මහේන්ද්‍ර සර් මාව සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. පස්සේ පස්සේ මම දිහා බලනවා. මාව එයට දැනෙනවා කියලා මට දැණුනා. දවසක් දෙකක් කතා කරා. ඊට පස්සේ මාව සර් එක්ක ගිහින් ඉංග්‍රීසි පන්තියට දැම්මා. ඇයි එහෙම කරන්නේ කියලා මටත් පුදුම හිතුණා. කැම්පස් යන්න කලින් අවුරුදු 3 ක් විතර එකදිගටම සර් ළඟ මම ඉගෙන ගත්තා. නිර්මාණය ඇතුළේ විවිධ ඉසව්වල අවුරුදු ගාණක් මම වැඩ කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවර කරලා විදෙස් රටවලත් ඉගෙන ගත්තා. ඊට පස්සේ මට ඇමතුමක් එනවා සර්ගෙන්, ඇවිල්ලා මගේ ඇකඩමියේ දරුවන්ට නාට්‍යය උගන්වන්න කියලා. ඒ විදිහට ජීවිතේ ගොඩක් දේවල් වෙන්න සහ වෙනස් කරපු එකම කෙනා මහේන්ද්‍ර සර්. මගේ ජීවිතේ දෙවෙනි තාත්තා වුණේ මහේන්ද්‍ර සර්.
මහේන්ද්‍ර සර් එක්ක මම මේ ටෙලියේ රඟපාන්නේ පළමු වතාවට. ඔහු සමග වසර 15 ක් එක දිගට වැඩ කළත් ඔහු සමග එකට තිරයක හමුවන පළමු අවස්ථාව. ඒක මගේ ජීවිතේට විශිෂ්ට අත්දැකීමක්.
වේදිකාව පැත්තෙන් මොනවද අලුත් වැඩ?
වේදිකාව පැත්තේ වැඩ ටිකක් කරගෙන යනවා. ඊට අමතරව ලංකාවේ යෞවන සහ රාජ්‍ය සම්මාන දිනපු දේවින්ද වික්‍රමසිංහගේ ‘මම අඩකුඹයි’ නාට්‍ය ඉන්දියාවේ අන්තර්ජාතික නාට්‍යය උළෙල සඳහා තේරිලා තියෙනවා. මේක ලංකාවේ මේ උළෙල නියෝජනය කරන එකම නාට්‍ය. මේක තනි නළුවෙක් වටා ගෙතුන පර් යේෂණාත්මක නාට්‍යක්. ඒ සඳහා මේ දිනවල පුහුණුවීම් කරනවා. අලුත් චිත්‍රපටයකටත් මේ දවස්වල ලක ලෑස්ති වෙමින් ඉන්නවා. ඊට අමතරව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. ඒ වැඩකටයුතුයි මහේන්ද්‍ර සර්ගේ ඇකඩමියේ වැඩයි කරගෙන යනවා.
මම හැමදාම ඇක්ටින් ගැන කියවන කෙනෙක්. වේදිකාව තමයි මගේ ජීවිතේ වෙනස් කරපු තැන. මට කවදාවත් වේදිකාවෙන් ගැලවීමක් නම් නෑ. අරමුණු ගොඩක් තියෙනවා ජීවිතේ. ඇක්ටින්වලින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න තමයි මගේ අරමුණ. මයිමින් වලින් ප්රොපෙෆර් කෙනෙක් වෙන්න තමයි එකම ආසාව. තවම ලංකාවේ එහෙම ප්‍රොෆෙසර් කෙනෙක් නැහැ. ඒ වෙනුවෙන් ගොඩක් අධ්‍යයනය කරමින් යනවා.
ඇක්ටින් කියලා පේන්නේ නැති නළු නිළියෝ කීප දෙනෙක් මැද්දට වැටෙන්න මහී නම් වාසනාවන්ත වුණා. ප්‍රදීප් ඔබ වාසනාවන්ත නළුවෙක් කියලා හිතෙනවද?
‘මනී’ වාසනාවන්තයි. රංගන පාසල් කිහිපයකින් එකවර ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ වාසනාවට වඩා පෙර පිනක්. හැබැයි ඒක වාසනාවම විතරක් නෙමෙයි. සොයා යෑම ඇතුළේ ප්‍රදීප්ට ලැබුණු දෙයක් තමයි වාසනාව. ප්‍රදීප්ට ඒ වාසනාව නිකං ලැබුණේ නෑ මම මහන්සිවෙලා සොයාගෙන ගියා.
නදීශා අතුකෝරළ