බොරුව නැතුව හරි විදියට හිටියොත් ජීවිතේ ජය ගන්න පුළුවන් වේවි.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘මන්දාරම් කතාවේ’ ටෙලි නිර්මාණය ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ මේ දිනවල විකාශය වෙනවා. එහි රඟපාන සුරූපී සුහන්දි උපේත්මා වෝසදී සමග අපි පිළිසඳරකට එක්වෙමු. ඇය මීට පෙර විකාශය වූ ‘1990 නාට්‍යයේ රංගනයෙන් දායක වූ අතර සුහන්දි රංගනයෙන් දායක වන දෙවැනි ටෙලි නිර්මාණය වන්නේ මන්දාරම් කතාවය. ඉතින් මන්දාරම් කතාවට එළියක් වූ සුහන්දිගේ හඬයි මේ. 

සුහන්දි දන්නවද නමේ තේරුම? 

සුහද සිතක් ඇත්තී. 

ඉතින් සැබෑ ජීවිතයේ ඒ වගේ කෙනෙක්ද? 

මම හිතනවා ඒ වගේ කියලා. 

ආඩම්බර නැහැ? 

ඕනෑම කෙනෙක් එක්ක සුහදයි කියලා මම හිතනවා. 

කවුද මේ සුහන්දි? 

කලාවට බොහොම කැමති තවම ඉගෙන ගන්න අතරේ ජීවිතේ  හොයන කෙනෙක්. කලාවට ගොඩාක් ආදරෙයි. 

ජීවිතේ මොන විදියට සොයා යන්නේ? 

මම කැමති දේ කරමින් ජීවිතය සොයා යාමට කැමතියි. 

මොනවටද කැමති? 

සැහැල්ලුවෙන් ඉන්න කැමතියි. ඒ නිසා එන අභියෝග ජය ගන්න උත්සාහ  ගන්නවා. බොරුව නැතුව හරි විදියට හිටියොත් ජීවිතේ ජය ගන්න පුළුවන් වේවි. 

ඉගෙනීම් කරන්නෙ? 

පෞද්ගලික සරසවියක උපාධියක් හදාරනවා. ඒ වගේම රංගනය ගැනත් හදාරනවා. උපාධිය කරන්නෙ ව්‍යාපාර කළමනාකරණ අංශයෙන්. 

මොන වගේ පවුලක කෙනෙක්ද? 

පවුලේ අම්මයි, තාත්තයි, නංගියි, මමයි. අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක්. තාත්තා ව්‍යාපාරික කටයුතු කරන්නේ. නංගි තවම පාසල් යනවා. 

ව්‍යාපාර පරිපාලනය අංශයෙන් උපාධියට ඉගෙන ගන්න සුහන්දිගෙ අරමුණ? 

මගේම ව්‍යාපාරයක් කරන අතරේ කලා කටයුතු කරගෙන යාම. 

රඟපෑමට අවස්ථාව සළසා ගත්තේ කොහොමද? 

පාසල් කාලයේ ඉඳලම වේදිකා නාට්‍යවලට එහෙම දායක වුණා. ඒ විදියට තමයි පටන් ගත්තෙ. ඉන්පස්සේ වෙළඳ  දැන්වීමකට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ එක්කම දිගටම වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඒ  අතරේදී ITN එකේ අවුරුදු කුමාරිය තරගයට ඉදිරිපත් වී දෙවැනියා ලෙස තේරුණා. 1990 නාට්‍යයේ රඟපෑමට  අවස්ථාව ලැබුණෙ එයින් පසුවයි. අවුරුදු කුමාරිය මගේ කුඩා  කාලයේ ඉඳළම තිබූ ආසාවක්. 

සුහන්දි ඉගෙන ගත්තේ? 

සපුගස්කන්ද විශාඛා විද්‍යාලයේ. 

නර්තනයෙන් වැඩ පෙන්වූ කෙනෙක් නේද? 

නර්තනයට අම්මා මාව දැම්මේ කුඩා කාලයේදීමයි. කලාවේ ගමන පටන් ගත්තෙ ඇත්තටම නර්තනයෙන්. පොඩි කාලයේදීම රඟපෑමට ඇරයුම් ආවත් ගෙදරින් අවසර දුන්නෙ නැහැ. ඉගෙනීම් ඉවර කරලාම රඟපෑමට යන්න කිව්වා. දැන්නම් ගෙදරින් සපෝට් එක දෙනවා. 

ටෙලිනාට්‍යවල විතරද රඟපාන්නේ? 

මේ දිනවල ෆිල්ම් එකක් වෙනුවෙන් අපි රිහසල් කරමින් ඉන්නෙ. ජනවාරියේදී ඒකෙ ෂුටිං පටන් ගැනීමට නියමිතයි. 

‘මන්දාරම් කතාව’ නාට්‍යයේ චරිතයේ නම? 

විදු.

‘විදු’ ගැන කියමු? 

කතාවේ හැටියට ‘විදු’ලා දෙන්නෙක් ඉන්නවා. නව යොවුන් වියේ ‘විදු’ ලෙස රඟපාන්නෙ මම. පබෝදා අක්කා තමයි තරුණ කාලය රඟපාන්නෙ? ‘විදු’ කියන්නෙ ආදරයක් හිතේ තියාගෙන. අධ්‍යාපන කටයුතුවල නියැලෙන යුවතියක්. 

‘විදු සහ සුහන්දි දෙදෙනා මොන වගේද? 

විදුගෙ චරිත ස්වභාවය අනුව එයා ලොකුවට දඟලන කෙනෙක්වත් කතා කරන කෙනෙක්වක් නෙවෙයි. විදු කතාවට වඩා ඇස්වලින් කතා කරන ගෙදරම කාලය ගෙවන ළමයෙක්. මගේ සැබෑ ජීවිතයේ චරිතයට සමාන වූ සමහර දේ විදුගෙ චරිතයේ තියෙනවා. 

‘සුහන්දි’ගෙ ලස්සන දිහා පිරිමි ළමයි බලද්දී කොහොමද දක්වන ප්‍රතිචාර. 

ඒ දේවල් බොහොම සාමාන්‍යයිනෙ. ලස්සන ළමයි දැක්කාම පිරිමි ළමයි බලනවා. අපි ඒ වගේ අවස්ථාවලදී නිහතමානීවීම වැදගත්.

සුහන්දි දවසට කී වතාවක් කණ්ණාඩියෙන් මුහුණ බලනවද? ඔයාගෙ ලස්සන රුව? 

ෂූටිං තියෙන දවස්වලට වැඩිපුර මුහුණ බලන්න වෙනවා. වැඩි හරියක් බලන්න වෙනවා ඉතින්. 

‘සුහන්දි’ ලස්සන කියන දේ දකින්නෙ කොහොමද? 

එක එක්කෙනාට සාපේක්ෂව හැමෝම ලස්සනයි. එක එක්කෙනා බලන විදිය එක්ක තමයි ලස්සන දකින්න සහ වෙනස් වෙන්නෙ. මට නම් හැමෝම ලස්සනයි. ලස්සන කෙනෙක් දැක්කොත් කතා කරන්න ලැබුණොත් මම ඒ කෙනාට ලස්සනයි කියලා කියනවා. එතකොට එයා සතුටු වෙනවනෙ. මිනිස්සු ලස්සනට ඉන්නවට මම ආසයි. ලස්සන මිනිස්සුන්ගෙ හිත මුහුණෙන් දකින්න පුළුවන් කියලා කතාවකුත් තියෙනවා. ඊර්ෂ්‍යාව නැතුව ඉන්නවා නම් ලස්සන කැපිලා පේනවා. 

ලස්සන රැකගන්න විශේෂයෙන් අනුගමනය කරන දේ තියෙනවද? 

මම මොනවත් කරන්නෙ නැහැ. ඒත් අපේ අම්මා මට කියන්නෙ මූණේ ක්‍රීම් ටිකක්වත් ගාන්නෙ නැහැ කියලයි. අම්මා රූපලාවන්‍ය ශිල්පිණියක් නිසා මට එක එක දේ  හදලා දෙනවා. ඒත් මම ඒවා ගාන්නෙ නැහැ. 

සුහන්දි’ ට ජීවිතේ දැනෙන විදිය? 

ජීවිතේ කියන්නෙ අත්දැකීම්වලට මුහුණ දෙන්න තියෙන දෙයක්. මගේ ජීවිතය ගත්තොත් පොඩි කාලයේ ඉඳලම අත්දැකීම්වලට මුහුණ දුන්න කෙනෙක්. මගේ ජීවිතය ගත්තොත් ලස්සන දිග ජීවන කතාවක් මට තියෙන්නේ. 

ඒ ලස්සන කතාවෙන් ටිකක් කියමු? 

කුඩා කාලයේ ඉඳලම මම කාලයක් තනියම ජීවත් වූ කෙනෙක්. ගැහැනු ළමයකු ලෙස ඒ ලැබූ අත්දැකීම් මට අනාගතයට ශක්තියක් වුණා. ජීවිතේ කියන්නෙ නොහිතන විදියට බොහෝ දේට මුහුණ දෙන්න වෙන සහ ඒවාට මුහුණ දිය යුතුය කියලයි මම හිතන්නෙ. ඒ සියලු අත්දැකීම් එක්ක ඉදිරිය තමාට තීරණය කරගෙන හොඳ ගමනක් යන්න පුළුවනි. හොඳ හෝ නරක සියල්ලට මුහුණ දෙමින් හොඳ දේ ජීවිතයට සමිප කරගෙන ජීවිතය ගෙවීම මගේ අරමුණයි. 

කොහොමද මේ රඟපාන ක්ෂේත්‍රය ගැන හිතන්නෙ? 

බාහිරින් බලන අය කිසිවක් නොදැන එක එක දේ කියනවා. එහෙම එයාලට කියන්න පුළුවනි. මම නම් දැකපු දේ තමයි අපි හරියට ඉන්නවා නම් කිසිම අනවශ්‍ය දෙයක් වෙන්නෙ නැහැ. තමන් දක්ෂයි නම් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා නම් මේ ගමන යන්න හරි ලෙහෙසියි. තමන් වැරදි නොකරන තරමට තමුන්ගේ ගුණය රැඳී තියේවි. කවුරුවත් බලෙන් බලපෑම් කරන්නෙ නැහැ. කාටත් ගරු කරමින් හොඳ වටිනාකමක් ගන්න පුළුවන් තැනක් තමයි මේ ක්ෂේත්‍රය. යහපත් විදියට හිතලා කටයුතු කළොත් තමාගේ ගමන යහපත්. 

මොන වගේ විලාසිතාවලටද කැමති? 

මම හිතන්නෙ මට ගැලපෙන්නෙ සිරුරට තදට කොටට අඳින ඇඳුම් නෙවෙයි. ඊට වඩා සැහැල්ලුවට අඳින්න පුළුවන් ඇඳුම්, ගවුම් වගේ ඒවා තමයි මට වැඩිපුර ගැලපෙන්නෙ.

සුහන්දිගෙ ලස්සන ජීවිත කතාවේ ලස්සන ආදරය ප්‍රේමය එහෙම කොහොමද? 

මේ වනවිට ප්‍රේමයක් නැහැ. ආදරයක්, පෙම්වතෙක් හිටියා. ආදරයේ දී අපට කවුරුවත් බලෙන් රඳවා ගන්න අවශ්‍ය නැහැ. ඒ අදහස් තේරුම් ගෙන සුහදව වෙන්වීම තමයි වැදගත්. ආදරය කළ නිසා හිතින් මෙන්ම මානසිකව වැටුණ අවස්ථා තිබුණා. ඒත් අනෙක් කෙනාට යහපතක් වෙනවා නම් ඒ ගැන හිතලා සතුටුවෙලා හිත හදා ගැනීම තමයි  හොඳම දේ. සැබෑ ආදරේ කියන්නෙ අනෙක් කෙනාගේ ගමනට ආශිර්වාද කිරීමයි. මට කවදාහරි හොඳ  කෙනෙක් හමුවේවි. එතෙක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. කවදාහරි මට ගැලපෙන ආදරේ මට ලැබේවි. ආදරේ පරාද වෙනවා. පරාද වුණාය කියලා මම කවදාවත් හිතන්නෙ නැහැ හිත හදා ගන්න දරාගන්න එකපාරටම අමාරු වුණත් අපට හිත හදා ගන්නම වෙනවා. ජීවිතේට එන අත්දැකීම් අපි සතුටින් බාර ගත යුතුයි. මගේ ජීවිතයේ ලස්සනම කාලය එන්නෙ ඉදිරියට. 

විදුගෙ දෙබසකින්  මේ පිලිතුරට සමු දෙමු? 

මම විදු විමංශා. යාළුවෝ කියන්නෙ ‘විදු කියලා’ ඔයා ‘අරුන්’ නෙ? බර්ත් ඩේ ප්‍රසන්ට් එකක් දෙන්නම් හරිද? කේක් කැවුවට. 

සඳුන් ගමගේ / ඡායාරූප - සඳුන් ගමගේ