බෙරයෙන් තොර ලෝකයක් මට කවදාවත් නෑ
බෙරයට පෙම් බැඳි හදවත බෙරයේ ස්වර සොයා ලෝකයේ බොහෝ සීමා අසීමාන්තිකව අතික්‍රමණය කළ වග ලියා තියන්නට සිත් වන්නේම දුටු සතුටු තුටු සිතිණි. මට අසන්නට සිත් වන්නේම බෙරයට තරම් යමකට ඔබ පෙම් කළාදැයි යන්නමය. පැටි වියේ සිටම 'බෙර උණ' රඛිතගේ සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දිව ගියෙන් අතට හසුවන්නේ කුමක්ද? ඒ සැම දේකටම තට්ටු කරන්නට ඔහු පුරුදු වූයේය. කුඩා වියේදී මඟුල් ගෙදරක, මළ ගෙදරක, පිරිතක, දානයක, පෙරහරක ගියේ ද, ඒ ගිය හැම වාරයකම අන් සියල්ල පසෙක තබා වාද්‍ය ශිල්පීන් රැඳෙන ඉසව්වේ හිඳ ඔවුන් වයන'යුරු රඛිත ඇස් පිය නොසෙල්වා බලා සිටියේය.
Q එහෙම බලාගෙන හිටපු රඛිතට තමන්ගෙම කියලා කියන්න අයිතියේ බෙරයක් ලැබුණෙ කවද්ද?
වයස අවුරුදු හතරෙදි.
Q එහෙම ලැබුණු බෙරේ ගැහුවද, නැත්නම්?
මම කළේ පුංචි කාලෙ ඒ ලැබුණු බෙරේ විතරක් නෙවෙයි, තව ලැබුණු බෙරවලටත් එකම එක දෙයයි. මට ලැබුණු එක එක විදිහේ පොඩි බෙර කෑලිවලට ගලවලා ඒවායේ හම් වතුර පුරවපු බෝතල්වලට දාලා ආයෙත් ආයෙත් ඒවා හදන්න උත්සාහ කළා. මම එහෙම හිතුවෙ ඇයි කියන්න අදටත් මම දන්නෙ නැහැ. කිසිම තාක්ෂණයක් දන්නෙ නැතුව වුණත් බෙර ගලවන්න හිතුණෙ ඇයි කියලා මම දන්නෙත් නැහැ. හැබැයි එක දෙයක් මට තේරෙනවා. පුංචි කාලෙ ඉඳන්ම මගේ හිතේ බෙර ගහන්න ආසාවක් වගේම බෙරයක සැකැස්ම නිර්මාණය වෙලා තිබුණෙ කොහොමද කියලා හිතෙන කුතුහලයක් මගේ හිතේ තිබිලා තියෙනවා.
Q ගලවපු හැම බෙරයක්ම ඒ විදිහටම හදන්න ඒ පුංචි ළමයට පුළුවන් වුණාද?
සමහර දවස්වලදි හම් වැඩි කාලයක් වතුරේ දාලා තිබුණු නිසා ඒවා නරක් වෙලා විසි කරන්න වුණා. එහෙම දවස්වල දුකක් දැනුණු වෙලාවල් තිබුණා.
Q රඛිත බෙරවලට දක්වපු කැමැත්ත සහ ආදරය ගැන දැනගෙන හිටපු අයගෙන් ලැබුණු ආදරණීයම ප්‍රතිචාර මොනවද?
ඒ දවස්වල අපේ ගෙදරට කවුරු හරි ආවොත් මට අම්මයි තාත්තයි කියන්නෙ බෙර ගහලා පෙන්නන්න කියලා. මම ඉතින් නිකම්ම බෙරයක් ගහලා මට බෙර ගහන්න පුළුවන් කියන එක පෙන්නන්නෙ නෑ. මම කරන්නෙ බෙර කිහිපයක් එකට තියාගෙන එක අතකින් එක රිද්මයකුත්, තව අතකින් තව රිද්මයකුත් එක විදිහට වාදනය කරන එක. මට දැන් හිතෙනවා මම එහෙම කරලා තියෙන්නෙ සීමාවෙන් ඔබ්බට හිතන්න මගේ පුංචි හිතට පුළුවන් වුණු නිසා නේද කියලා.
Q වයස අවුරුදු පහ කියන්නෙ බෙරයත් එක්ක රඛිතගේ ජීවිතේ සුවිශේෂී සංසිද්ධිස්ථානයක් සලකුණු වෙච්ච කාලයක්. අපි ඇවිදිමු අතීතයට?
ඔව්. අවුරුදු පහ වෙද්දි මට ලංකාවේ හිටපු දක්ෂතම වාදන ශිල්පියෙක් වගේම වාදන ගුරුවරයෙක් වූ පියසාර ශිල්පාධිපති ගුරුතුමා යටතේ දේශීය බෙර වාදනය හදාරන්න පුළුවන් වුණා. අද දවසේ බෙරයත් එක්ක දේශීය විදේශීය අත්දැකීම් ලබමින්, ප්‍රශංසා ඇගයීම් ලබමින් මම ආව දුර ගමනක් තියෙනවා නම් ඒ ගමනේ පළමු ගෞරවය හිමිවිය යුත්තේ පළමු බෙර පදය මට ඉගැන්වූ පියසාර ශිල්පාධිපතිතුමාටයි. ඒ ආදරණීය අත්වැලට මම හැමදාමත් ආදරෙයි.
Q ඔබ කියන විදිහට පියසාර ශිල්පාධිපති කියන්නෙ වෙනස්ම කාලයක වෙනස්ම හදගැස්මක් තිබුණු ප්‍රගතිශීලී ගුරුවරයෙක්. ඒක එහෙම නම් ඒ ආදරණීය ගුරු ඇසුරේ ලද අත්දැකීම් සිහිපත් කරමු?
ඇත්තටම පියසාර ශිල්පාධිපති ගුරුතුමා සාම්ප්‍රදායික චින්තනයක් තිබුණු ගුරුවරයෙක් නෙවෙයි. ඒ කාලෙ හිටපු හුඟාක් ශිල්පීන්ට සහ ගුරුවරුන්ට වඩා ඒ ගුරුතුමාගේ දැක්ම සහ චින්තනය හරි වෙනස්. දේශීය බෙර වාදනය පිළිබඳ දැකීම හා ඒ දැක්ම එතුමා තවත් පරම්පරාවකට දායාද කරන්න උත්සාහ ගත්තෙ වෙනස් විදිහකට. එතුමා විසින් දෙන ශිල්පයේ සීමාසහිත රාමුවක් තුළ අපිව රඳවන්න කවදාවත් එතුමාට වුවමනා වුණේ නැහැ. තව තවත් ඉගෙනුම් සොයාගෙන යන මඟ විවර කරන්න අපට අත්වැල් අල්ලන්නයි එතුමාට වුවමනා වුණේ. එතුමා ආදරණීය සහ ප්‍රගතිශීලී ගුරුවරයෙක් විදිහට මම හඳුන්වන්නෙ ඒකයි. එතුමා අපි එක්ක සාකච්ඡා කරපු දෙයක් තමයි විවිධ රටවල විවිධ වාදන ශිල්පීන් හා විවිධ වාදන භාණ්ඩ වාදනය කිරීම තුළින් ලබාගත් අත්දැකීම් සමඟ අපේ වාදන භාණ්ඩවල සහ ශෛලීන්වල අඩුලුහුඬුකම් සකස් කර ගන්නා ආකාරය. ඇත්තටම එතුමාගේ ඇසුරේ ඉඳිද්දි තමයි අපේ බෙර වාදන ශෛලිය සහ අපේ බෙර තවදුරටත් දියුණු කළ යුතුයි කියන අදහස මගේ මනසට ආවෙ.
Q ඉතින් ඊටපස්සෙ?
ඉතින් ඊටපස්සෙ නේද? ඔව් ඉතින් ඊටපස්සෙ මට ලංකාවේ සහ විවිධ රටවල බෙර එකතු කිරීමේ ආශාවත්, ඉගෙන ගැනීමේ ආශාවත් ඇතිවුණා. අවුරුදු නවය වෙද්දි මට පුළුවන් වුණා ලංකාවට ආවේණික බෙර වර්ග සියල්ලක්ම වගේ එකතු කර ගන්න. ඒත් මගේ කුතුහලය, ආශාව ඉවර නෑ. මට ඕනෑ වුණා විදේශීය බෙර වර්ග එකතු කරන්න. ඒත් ඒ වයසෙදි මට පුළුවන් වුණේ ඉන්දියානු බෙර වර්ග කිහිපයක් එකතු කර ගන්න විතරයි. මගේ ආච්චි දඹදිව වන්දනාවේ ගිය අවස්ථාවල මම ආච්චිට කියලා විවිධ බෙර වර්ග ගෙන්වා ගත්තා.
Q බෙරත් එක්කම ගෙවුණු ඒ කාලයේ සිදුවූ අදටත් මතකයේ රුඳුණු මතක මොනවාද?
මට අවුරුදු දහය වෙද්දි තවිල් බෙරයක් ලැබුණා. ඒ බෙරයේ මම එච්චර කාලයකට ලංකාවේ දැකපු සාම්ප්‍රදායික තවිල් බෙරයට වඩා වෙනස්කම් කිහිපයක් දැක්කා. ඒ බෙරයේ සුසර කිරීමට යකඩ පටි යොදාගෙන යතුරක් භාවිතයෙන් සුසර කිරීමට ඇති හැකියාව මම දැක්කා. මේ විශේෂත්වය මට හරි කුතුහලයක් වුණා. ඒ බෙරය දකිද්දි තමා මට මුල්වරට හිතුණෙ අපේ සාම්ප්‍රදායික බෙරත් මේ විදිහට පහසුවෙන් සුසර කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේම ඒ කාලේ ඉන්දියාවේ Sound of millennium ප්‍රසංගයත්, A.R. Rahman Live in concert ප්‍රසංගයත් මට දකින්න ලැබුණා. ඒ ප්‍රසංගවලදි සකීර් හුසේන්, ශිවමනි වගේ ලෝක ප්‍රකට තාල වාදන ශිල්පීන් විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ බෙර වර්ග වාදනය කරන හැටි දැක්කාම මට ආයෙත් විදේශීය බෙර ගැන සෙවීමේ කුතුහලය වැඩි වුණා. ඒ වගේම එවකට මට සහභාගි වෙන්න ලැබුණු කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මවලදි දයානන්ද සිරිසෝම, එම්.ඩී. සිරිඅහුගොඩ වැනි ප්‍රවීණ වාදන ශිල්පීන් එක්ක වාදනය කරන්න අවස්ථාව ලැබුණා.
Q බෙරයක් ගැන තිබුණු ලස්සනම හීනය මොකක්ද පුංචි කාලේ?
මට ඒ කාලේ ඇහැළ, කොහොඹ, මිල්ල වැනි දැව වලින් බෙර කඳ හදාගත් වඳුරු හම, මුව හම, ගෝන හම වැනි හම් භාවිතයෙන් නිමවාගත් බෙරයක් හදාගන්න පුදුමාකාර හීනයක් තිබුණා. ඒ හින්දම මම හමුවෙන හැමෝගෙන්ම අහන්න පුරුදු වුණේ ඇහැළ ගස් තියෙන තැන් ගැන. නැත්නම් වඳුරු හමක්, තලගොයි හමක් හොයාගන්න තියෙන තැන් ගැන. මගේ හීනය කොච්චර පිස්සුවක් වුණාද කියනවා නම් අපේ වත්තට එන වඳුරන්ගේ හම ගලවගෙන බෙරයක් හදාගන්න හිතුණු කාලයක් තිබුණා.
Q අවුරුදු දාසයේදි ඔබ ව්‍යවසායකයෙක් බවට පත් කළෙත් ඒ ආසාව සහ හීනයමද?
ඔව්. මට ඔය කාලයේදී මුතුබණ්ඩා කියලා අම්පාර ප්‍රදේශයේ හිටපු බෙර නිෂ්පාදනය කරන පාරම්පරික ශිල්පියෙක් හඳුනාගන්න ලැබුණා. එතුමා ඇහැළ, මිල්ල, කොහොඹ වගේ දැව යොදාගෙන වඳුරු හම, තලගොයි හම, මුව, ගෝන වැනි දුර්ලභ හම් වර්ග යොදාගෙන ඉතා උසස් වර්ගයේ බෙර වර්ග නිෂ්පාදනය කළා. මම අම්පාරෙන් බෙර කොළඹට ගෙනල්ලා අවශ්‍ය අයට විකුණන එක ආරම්භ කළා. අන්න එහෙමයි මම ව්‍යවසායකයෙක් වුණේ.
Q රඛිත ලාංකික සාහිත්‍යමය ඉතිහාසයත් එක්ක බෙරයට තියෙන නෑදෑකම මොකක්ද?
සද්ධර්මාලංකාරයේ බෙර වර්ග 64ක් ගැන කියනවා. ථූපවංසයේ බෙර වර්ග 36ක් ගැන කියනවා. දඹදෙණි අස්න, දළදා සිරිත වගේ ඒවගේ බෙර වර්ග ගැන කියනවා. ඒත් අද වෙද්දි අපට අපේ බෙර වර්ග දහයක් විතර වගේ තමයි තියෙන්නෙ. ඒ ගැට බෙරය, යක් බෙරය, දවුල, තම්මැට්ටම, ඩැක්කිය, උඩැක්කිය, අත්රබාන, බංකු රබාන, බුම්මැඩිය හා දඬු බෙරයයි. ඊට අමතරව තබ්බෝරුව යන බෙරය දළදා මාලිගාවේ විතරක් භාවිත වෙන අභාවයට යන භාණ්ඩයක්. ඊට අමතරව මෑත කාලයේ නිර්මාණය වූ භාණ්ඩ අතර පියසාර ශිල්පාධිපතිතුමා දවුලේ දකුණු කොටසත් ගැට බෙරයේ වම් කොටසත් එකතු කර නිර්මාණය කළ ගැවුලත් රවි බන්දු විද්‍යාපති නිර්මාණය කළ තල බෙරයත් තියෙනවා.
Q වසර ගණනාවක දුෂ්කර ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට ඔබ TECH BHERY නිර්මාණය කරනවා. එම නිර්මාණ වෑයම පිළිබඳ TECH BHERY නමින් ඔබ ග්‍රන්ථයකුත් රචනා කරනවා. එය එක් පැත්තකින් ඔබේ ස්වයං චරිතාපදානයක් ලෙස හැඳින්විය හැකියි. අලුත් බෙරයක් ලෝකයට දායාද කරමින් ඔබ බලාපොරොත්තු වුණේ මොකක්ද?
ඇත්තටම මට ඕනෑ වුණේ අපේ රටට, අපේ සංස්කෘතියට, අපේ වාදන කලාවට හා පරිසරයට ලැබෙන ප්‍රතිලාභ ප්‍රශංසනීය මට්ටමක තියෙන බෙරයක් නිර්මාණය කරන්න. හම් බෙරය විදේශ ප්‍රසංගවලට එහෙම අරගෙන යද්දි ගුවන් තොටුපළ නීති රීති අනුව හුඟක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මට ඇත්තටම අවශ්‍ය වුණේ ජාත්‍යන්තර සංගීතයට අපේ බෙරය ව්‍යාප්ත කරන්නත්, අපේ බෙරය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළක් නිර්මාණය කරන්නත්. තවත් අරමුණක් තමයි අපේ දේශීය වාදන කලාව හැදෑරීමට සහ ගවේෂණය කිරීමට විදේශිකයන් රට තුළට පැමිණීමෙන් රටේ සංචාරක ව්‍යාපාරයට ප්‍රතිලාභ හිමි කිරීම. අද වෙද්දි මම හම් භාවිතයෙන් තොරව, දැව භාවිතයෙන් තොරව බෙර නිෂ්පාදනය කරමින් එම සින්තටික් සහ ෆයිබර් බෙර නිර්මාණය ඔස්සේ බෙර සඳහා ගස් කැපීම, සත්ව හම් භාවිතය තුළින් සතුන් ඝාතනය කිරීම වැළැක්වීම කියන කාරණා දෙකම වැළැක්වීමට දායක වෙලා තියෙනවා. මගේ TECH BHERY ව්‍යාපෘතිය මගින් ලංකාවේ බෙරය ලෝකයටම යයි කියන බලාපොරොත්තුව මට තියෙනවා. දැනටත් මට දේශීයව සහ විදේශීයව විශාල ඉල්ලුමක් සහ ප්‍රසංගත් තිබෙනවා. විදේශීය ශිල්පීන්ගේ විශාල ඇගයීම් මට හිමිවී තිබෙනවා. හැබැයි බෙරය ගැන මගේ ගවේෂණය තාම ඉවර නැහැ.
I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ