බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු මට පුංචි කාලෙ ඉඳලම දක්නට ලැබුණේ අඟපසඟ වැසුනු විලාසිතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අනුරුද්ධිකා පාදුක්කගේ. වේදිකාව හා පුංචි තිරය බොහොමයක් හරහා  ඔබේ හදවතේ ලැගුම් ගත් බොහොම ආදරණීය රංගන ශිල්පිනියක්. හුරුබුහුටි  පෙනුමක් ඇති සොඳුරු ඇයට මෙවර ෆැෂන්  පිටුව හැඩ ගැන්වීමට ආරාධනා කළෙමු.

මොනවද මේ දිනවල කෙරෙන්නේ ?

ප්‍රවාහන අපහසුතා නිසා රූගත කිරීම් බොහොමයක් ම නතර වෙලා.  ඒ නිසා දරුවෝ එක්ක නිවසේ සාමාන්‍ය විදිහට සතුටින් කාලය ගත කරනවා.

විලාසිතා කියන්නේ මොකක් විදිහට ද ඔබ දකින්නේ ?

විලාසිතා කිවූ සැණින් ම අපට හිතට එන්නේ ඇඳුම් පැළඳුම්.  නමුත් ඒ ඇඳුම් පැළඳුම් විලාසිතා  ඇතුලෙ  අපට ආවේණික බොහොමයක් දේ අන්තර්ගතයි. අප ආස දේවල් වගේම අප රටට ආවේණික සංස්කෘතීන්, අපේකම ,වගේම අප හැදි වැඩුණු  පරිසර වල  පවා ආභාෂයන් පවා විලාසිතාවල අන්තර්ගතයි කියලයි මට හිතෙන්නේ. කොටින්ම  කියනවා නම් අප ජීවත් වෙන විදිහත් අපට ආවේනික වූ විලාසිතාවක් .

විලාසිතාවක් තෝරා ගැනීමේදී ඔබ මොනවගේ කරුණු කෙරෙහි ද සැලකිලිමත් වන්නෙ?

අඳින ඇඳුම ශරීරයට පහසු විය යුතුයි.මොන තරම් වටින ඇඳුමක් වුණත් ඇඳන් ඉන්න අපහසු නම් එවැනි දේ  විලාසිතා ලෙසට තෝරා ගන්නේ නැහැ .ඊට අමතරව ශරීරයේ හැඩය, හමේ පාට වගේම දේශගුණයට ගැලපෙන විදිහටත් තමයි විලාසිතා තෝරා ගන්න උත්සහ කරන්නෙ. නිතර සරල විදියට විලාසිතා කරන්න  ගොඩක් කැමැති වුණත්  උත්සව අවස්ථාවලට, විශේෂ අවස්ථා වලට, විශේෂයෙන්ම රූපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීමේ දී නම් විශේෂ මෝස්තරවලින් ඊට ගැළපෙන විදිහට විලාසිතා කරන්න ගොඩක් කැමති කෙනෙක් මම.

ඔබට වඩාත්ම ගැලපෙන විලාසිතාව කුමක් ද ?

ඉන්දියානු සම්ප්‍රදායේ විලාසිතා වලට ටිකක් වැඩිපුර මම කැමතියි

ඔබ කැමතිම පාට?

විලාසිතා කිරීමේදී මම ආසම පාට සුදු සහ කොළ පාට . ඊට අමතරව ලා පාට වලටත් මම  ගොඩාක්ම කැමති. නමුත් උත්සව අවස්ථාවලට, විශේෂ අවස්ථා වලට සහභාගි  වෙනකොට තද පාට විවිධ වර්ණවලින් ඇඳුම් තෝරා ගන්නවා. මොන අවස්ථාවට ඇඳුම් තෝරා ගත්තත් ලු‍මිනස් පාට වලට නම් මම පොඞ්ඩක්වත් කැමැති නැහැ..

ඔබ ආභරණ පලඳින්න කැමති කෙනෙක් ද?

 සාමාන්‍ය ගමනට නම් බොහොම සරල විදිහට ආභරණ පලඳින්නේ .නමුත් විශේෂ විදිහට සැරසෙන සෑම අවස්ථාවකදීම ඇඳුමට ගැළපෙන විදිහට විලාසිතා කරනවා .

ඇඳුමකින් කෙනෙකු මනින්න පුළුවන් කියලා ඔබ හිතනවද?

මම හිතනවා යම්තාක් දුරකට මනින්න පුළුවන් කියලා. මොකද අපගේ මතුපිට පෙනුම අප ප්‍රදර්ශනය කරන්නේ අප තෝරා ගන්නා විලාසිතාවලින්. එය හුදෙක් අපගෙ පෞරුෂය මත ගොඩනැගෙන දෙයක්.

ඔබත් විලාසිතාවලින් ප්රේක්ෂක ආකර්ෂණය ලබා ගන්න උත්සාහ කරන කෙනෙක් ද ?

මම හිතන්නේ මම  මේ තාක් පැමිණි ගමන්මගේ මා ප්‍රේක්ෂකයා තුළ මතකයක් ඇති කළා නම් ඇති කළේ රංගන කුසලතාවයන්ගෙන් .කොහොමටත් මම එන එන විලාසිතා කරන කෙනෙක් නොවන නිසා අදටත් රංගන ශිල්පිනියක් ලෙසට ප්‍රේක්ෂකයා මාව මතකයේ රඳවාගෙන ඇති කියලා මම හිතනවා .

 

ඔබ කරන විලාසිතා අන්අය අනුකරණය කරන බව  දැන ගන්න ලැබිලා තියෙනවද ?

ඇතැම් රඟපෑම් වල දී අඳින ඇඳුම් යුවතියන්  ආසාවෙන් අනුකරණය කරන බව ඉඳහිට අසන්නට ලැබිලා තියෙනවා.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුගමනය කරන්න උත්සාහ කරනවාද?

ඇතැම් වෙලාවට අන්තර්ජාලයෙන් මා කැමති විලාසිතා ගැන නිරීක්ෂණය කරනවා. ඊට අමතරව ෆැෂන්  ෂෝ හෙමත් බලන අවස්ථා ති​ෙයනවා. ඒ හැරෙන්න නම් කිසිම කෙනෙක් සියට සීයක් අනුකරණය කරමින්  මම විලාසිතා කරන්න යන්නෙ  නැහැ.

ඔබ කරන විලාසිතා වලට ගැලපීම සිද්ධ කරන්නේ කොහොමද?

අඳින ඇඳුමට පාවහන් ගැලපීම නම්   සිද්ධ  කරනවා. සාමාන්‍යයෙන් මම බෑග් ගෙනියන්න අකමැති කෙනෙක් . අඳින ඇඳුමට ගැලපෙන විදිහට යන තැන අනුව හෙයාස්ටයිල් එක මේකප් එක අඳින ඇඳුමට වටිනාකමක් එන විදිහට   කරගන්න උත්සාහ කරනවා.

ජීවිතය ලස්සනටම සැරසුණු දවස ?

මනාලියක් ලෙස හැඩ ගැන්වුණු දවස ගොඩක් ලස්සන මතකයක් විදිහට අදටත්  තියෙනවා .

ගැළපෙන විලාසිතා නොගැළපෙන විලාසිතා කියලා වර්ග වෙනවා කියලා ඔබ හිතනව ද ?

බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු මට පුංචි කාලෙ ඉඳලම දක්නට ලැබුණේ අඟපසඟ වැසුනු විලාසිතා. අදටත් ශරීරය නිරාවරණය වන  විදිහට විලාසිතා කිරීම  මට නොගැලපෙන දෙයක් විදිහටයි මම හිතන්නේ .නමුත් වෙන කෙනෙක් ඔවුන්ට ගැළපෙන විදිහට කරන  ඕනෑම  විලාසිතාවක් ගැන මම හරිම සතුටින් බලනවා.  බොහෝ විට අප පුරුදු වී සිටින්නේ  අපට ගැලපෙන විදිහට  විලාසිතා කිරීමට.

පුංචි කාලේ දී ආසාවෙන්ම කළ විලාසිතා මොකක්ද ?

වර්තමානයේ තරම් නම් ඉස්සර විලාසිතා කියන විෂය ගැන අපට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් මට මතකයි අවුරුදු හත අට වයසේදී සායවල් බ්ලවුස් අඳින්න මම වැඩිපුර කැමති.  ඒකට හේතුව තමයි ඒවා ඇන්දහම ”‍ලොකුවට”‍ පේන නිසා .පුංචි කාලේදී අපි හරි ආසයි නේ ඉක්මනට ලොකු වෙන්න .ඒ වගේ විලාසිතා කරලා ලොකු පෙනුමක් ලබා ගන්න උත්සාහ කලා කියල නම් මතකයක් තියෙනවා.

ගැලපෙන විදිහට විලාසිතාවක් කලහම හිතට මොන වගේ හැඟීමක් ද දැනෙන්නෙ?

හිතට හරිම සතුටුයි. යන ගමනත් අලු‍ත් ජවයකින් යන්න පුළුවන් කියලා හැඟීමක් එනවා. ලස්සනට ඇඳුමක් ඇන්දාම හිතට පුංචි අභිමානය කුත් එනවා ...ඒක නැහැයි කියන්න බැහැ.

අසුන්තා එදිරිසූරිය