‘බජට්’ ගැන දෙතුන් වතාවක් හිතන්න වෙනවා - ‘මොනාලිසා’ වෙනස් අත්දැකීමක්
මේ දක්වා ටෙලි නාට්‍ය 42ක් පමණ නිර්මාණය කළ ඔහු සිනමා නිර්මාණ 12ක් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා. ඔහුගේ 11 වැනි සිනමා නිර්මාණය ලෙස ‘මොනාලිසා’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. සිනමාවට රූපවාහිනියට නිරන්තරයෙන් අධ්‍යක්‍ෂණයේ භූමිකාව සමඟ දායකත්වය ලබාදෙන ඒ ප්‍රවීණ නිර්මාණකරුවා, එරංග සේනාරත්නය. ඔහු මේ විදියට අද අප සමඟ එක්වන්නේ ‘මොනාලිසා’ නිසා අත්විඳි සියල්ල ගැන හෙළිදරව් කිරීමටය.
එරංග, ‘මොනාලිසා’ ඔබගේ අනෙකුත් නිර්මාණ හා සසඳද්දී මොන වගේ නිර්මාණයක් ද?
මොනාලිසා මගේ සිනමා නිර්මාණ දිවියේ සුවිශේෂී කඩඉඩමක්.
ඒකට හේතුව?
එතෙක් මම සිනමාකරණයේ යෙදුණේ, ජනප්‍රිය රැල්ලේ කතා තේමා රැගත් චිත්‍රපට එක්ක. ඊට වඩා වෙනස් වෙච්ච එක්තරා විදියක අත්හදා බැලීමක් ලෙස මම මොනාලිසා කළේ.
සිනමා ජීවිතයේ ආ මග වෙනස් කරලා, වෙනත් මගත් යන්න හිතුවෙ?
මොනාලිසා තිරපිටපත ඇතුළේ ‘කල්පනා’ නමැති ප්‍රධාන තරුණිය අපට හමුවෙනවා. ඇය තමයි මේ චිත්‍රපටයේ කතා නායිකා චරිතය. එය ඉතා සංකීර්ණ චරිතයක්. මොනාලිසා චිත්‍රය ගත්තොත් අපි ඒක දශක ගණනාවක්, තිස්සේ විවිධ කෝණවලින් රස විඳි මහා චිත්‍රයක්. ඒ රූපයෙහි ඇති ගුප්ත බව එක්ක ලෝක සමාජයේ බොහෝ දේ කතා වෙලා තියෙනවා. ඒ රූපය දිහා බලාගෙන ඉන්නකොට අපි දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් ඇතිවන්නෙ. ඒ සියලු කාරනා එක්ක ගත්තාම මේ චිත්‍රපටයේ කල්පනාගෙ චරිතයත් ඒ වගේ සංකීර්ණ චරිතයක්. ඒ නිසාම මේ චිත්‍රපටයේ තේමා පාඨය ලෙස මම යොදා ගන්නෙ ‘‘ඔබේ ඇසින් මා දකින්න’’ කියලයි. මේක කාලීනව සමාජයට වැදගත් පණිවුඩයක් ලබාදෙන චිත්‍රපටයක්. ඒ නිසයි එතෙක් ආ මගට එහා ගිය වෙනස් නිර්මාණයකට අත ගැසුවේ.
මොනාලිසා, ෂූටිං තිබුණෙ කොහේ ද? එතකොට මොනාලිසා කතාව මොන වගේ ද?
මේ කතාවෙ හැටියට කොළඹ නගරය හා ඒ අවට පළාත් යොදා ගත්තෙ. හැබැයි අපි මේ වැඩේ පටන් ගත්තෙ කෝවිඩ් නිසා, රටේ, ලෝකයේ සියලු කටයුතු අකර්මණ් ය වී තිබු මොහොතකදීයි. වත්මනෙහි විවිධ හේතු මත සිය දිවි නසා ගැනීම් අපට අහන්න දකින්න ලැබෙනවා. තරුණ, තරුණියන් ඇයි එහෙම කරගන්නෙ? එකී කාරනා එක්ක කිසියම් පර් යේෂණාත්මක නිර්මාණයක් කිරීමටයි මට ඕනෑ වුණේ. කල්පනා නමැති තරුණිය යම්කිසි සිදුවීමකට මුහුණ දීම නිසා ඇයට ඇතිවන ආවේගශීලි හැඟීම් නිසා ඇය සිය දිවි හානි කරගන්න තැනකට පත්වෙනවා. ඒත් ඒ අහිමිවීම කරා යන අවසාන නිමේෂයේ දී ඇයට හමුවන එක්තරා පුද්ගලයකු නිසා ඒ සියදිවි නසා ගැනීම නතර වෙනවා. ඉන්පසුව ඔවුන් දෙදෙනා අතර ඇතිවන කතාබහ තමයි, සංවාදය තමයි චිත්‍රපටය ඔස්සේ ගලා යන්නෙ.
රූගත කිරීම් වැඩි හරියක්ට කළේ මොරටුව, පානදුර, මතුගම, කළුතර සහ කොළඹ ආශ්‍රිතව. 2021 ජුනි මාසයේ දී චිත්‍රපටයේ වැඩ පටන් ගන්නෙ. කෝවිඩ් සීඝ්‍රව පැතිරී තිබූ මොහොතක තමයි රූගත කිරීම් පටන් ගන්නෙ. ඒ නිසාම සමහර ප්‍රදේශ ලොක් ඩවුන් වූ නිසා, අපට ඒ ප්‍රදේශ මග හැරුණා.
එවැනි වාතාවරණයක දී නළු නිළියන්ට නවාතැන් එහෙම දුන්නෙ කොහොම ද?
කොළඹ ආශ්‍රිතව සිටි නිසා ඒ කාටවත් අපි නවාතැන් පහසුකම් දුන්නෙ නැහැ. එදා දවසේ වැඩ ඉවර කළාම එයාලාව නිවෙස්වලට ඇරලුවා. නමුත් අපේ කාර්මික අංශයේ පිරිසට අපි හෝටලයක් වෙන් කර දුන්නා. ඒ වන විට හෝටලුත් වහලා තිබුණෙ. ඒ හෝටලය එදා වෙන් වූයේ අපේ කණ්ඩායමට විතරයි. ඒ නිසා සාමාන්‍ය විදියට කඩ හෝටල විවෘත වී නොතිබුණු නිසා, අපි දහසකුත් ප්‍රශ්න මැද්දේ රූගත කිරීම් කළේ. අපි මේ වැඩේ 2021 ජුනි වලදී වැඩ ඇරඹුවාම බොහෝ දෙනෙක් මගෙන් ඇහුවෙ උඹට පිස්සුද කියලයි. රටේ සියලුම කඩ, සාප්පු වැහිලා, ජන ජීවිතය සම්පූර්ණයෙන් ඇණහිට තිබූ මොහොතක චිත්‍රපටයක් කිරීම ඇත්තටම මෝඩ වැඩක් කියලයි හැමෝම වගේ කිව්වෙ. නමුත් මට ඕනෑ වුණේ, කාලීනව වැදගත් පණිවුඩයක් ලබාදෙන මේ චිත්‍රපටය මේ විදියට කරලා, හැකි ඉක්මණට තිරගත කරවීමට සැළැස්වීමයි. ඒ දේ මට මගේ කණ්ඩායම, නිෂ්පාදකයන් දෙදෙනා සමඟ එක්ව කරලා පෙන්නුවා.
මේ චිත්‍රපටය මෙච්චර ඉක්මණට තිරගත කරන්න පුළුවන් වුණේ කොහොම ද?
ඒකව මම විකල්ප බෙදාහැරීමක් අනුගමනය කළා.
මොකක්ද විකල්ප බෙදාහැරීම කියන්නෙ?
විවිධ මණ්ඩලවල සිනමාහල් තෝරා ගත්තා. සීමිත සිනමාහල් සංඛ්‍යාවක සීමිත දින ගණනකට මූලික වටයේ දී බෙදා හැරියා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිනමාශාලා 14ක දැනට මොනාලීසා ප්‍රදර්ශනය වෙනවා. මණ්ඩල පහේම හිඩසක්, ගැප් එකක් තියෙන ඒවයෙහි මොනාලිසා නරඹන්න පුළුවනි.
මෙම මොනාලිසා චිත්‍රපටයට ඔබ ප්‍රධාන චරිතයට තෝරාගෙන සිටින්නෙ අලුත් මුහුණක්? ජනප්‍රිය රැල්ලේ නොවූ, පිරිසක් මෙම චිත්‍රපටයට යොදා ගන්නෙ?
සිනමාව කියන්නෙ රස උපදවන තැනක්. ඒ නිසා සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව, ඒ චරිතයට කළ හැකි කැපවීම, දිය හැකි දායකත්වය ගැන හිතලා චරිත තෝරා ගත්තා. ඒ හැර මහා සිවිල් බලයක් තියෙන චරිතවලට වඩා, මට ඕනෑ වුණේ මගේ නිර්මාණයට සාධාරණයක් කළ හැකි පිරිස තෝරා ගැනීම විතරයි. වඩාත් ප්‍රසිද්ධ නොවූ ශිල්පීන් වගේම, සම්මානනීය නළු- නිළි පිරිසකුත් මොනාලිසාට දායකව සිටිනවා. අද සමහර අය පුරුදුවෙලා ඉන්නෙ කලබලයට ඇවිත්, දෙබස් පාඩම් කරගෙන කැමරාව ඉදිරියේ පෙනී හිටලා යන්නයි. ඒත් ඊට වඩා චරිතයට සාධාරණයක් කළ හැකි පිරිසක් ඕනෑ වුණා.
එහෙම නැතුව, අතිශය ජනප්‍රිය තරු නොගත්තෙ, ලොකු මුදලක් ගෙවන්න සිදුවන නිසා නෙවෙයිද?
කොහොම බැලුවත් අද වන විට අපේ රටේ සිනමා කර්මාන්තය කුඩා වෙලා තියෙන්නෙ. ඒ නිසා පිරිවැය, බජට් එක ගැන දෙපාරක්, තුන් පාරක් හිතන්න වෙලා තියෙන්නෙ. ඒ වගේම අපේ රටේ දක්‍ෂතා ඇති, අවස්ථා නොලැබෙන පිරිසකුත් ඉන්නවා. මෙහි සංගීත අධ්‍යක්‍ෂවරයාත් අලුත්. ඔහුගෙ නම එන්.එම්.ජේ. වසයිලාවො. ඒ විදියට විවිධ අංශවල දායක වන අලුත් දක්‍ෂයින් හඳුන්වාදීම කරනවා. සූර්යා දයාරුවන් සහ මාෂි මධුභාෂිණී ගායනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයේ දී පිරිවැය ගැන හිතන්නම ඕනෑ වුණා. මොකද මේ වැඩේ අපි පටන් ගත්තෙ කවුරුවත් චිත්‍රපටයක් කරන්න හිතන්නෙවත් නැති කාලයක. අද ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු වන්නෙ, අලුත් දෙයක්, අලුත් වෙනසක් මේ චිත්‍රපටයේ තියෙන බව කියන්න පුළුවන්. වෙනස් අත්දැකීමක් කිව්වොත් හරි. ඒ වගේම මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ ඉතාම අභියෝගාත්මක මොහොතක.
මොකද්ද ඒ අභියෝගය?
මේ දිනවල දිනපතා විදුලිය විසන්ධි වෙනවා. බහුතරයක් සිනමාශාලාවල ජෙනරේටර්ස් නැහැ. ඉන්ධන, ප්‍රශ්න, විදුලියෙ ප්‍රශ්න සහ වෙනත් ආර්ථික ප්‍රශ්න එක්ක මිනිස්සු ඉන්නෙ. මේ කරුණු කාරනා අතරේ මේ චිත්‍රපටය තිරගත වෙන්නෙ. කෝවිඩ් සමයේ දී අපි ලැබූ අත්දැකීම තවදුරටත් පරණ කරලා තියාගන්න. මට ඕනෑ වුණේ නැහැ. ඒ නිසා දෙවසරක් ඇතුළත දී චිත්‍රපටය නිමවා, ප්‍රදර්ශනයටත් කටයුතු සැලැසුවා.
නිෂ්පාදකයන් දෙදෙනා ඔබ කෙරෙහි විශ්වාසය තැබුව ද?
පැහැදිලිවම ඔවුන් දෙපොළ මා ගැන සහ මේ නිර්මාණය ගැන විශ්වාසය තැබුවා. ඒ නිසයි එයාලා මුදල් ආයෝජනය කළේ. කොහොම වුණත් චිත්‍රපටය තවම ප්‍රදර්ශනය වෙනවා. ලාභ- අලාභ ගැන තවම අපට කියන්න බැහැ. මොකද අද චිත්‍රපටයක් නරඹන්න තියෙන එකම තැන සිනමාශාලාව විතරක් නෙවෙයි. චිත්‍රපට නරඹන්න විකල්ප මාධ්‍ය බිහිවෙලා. එදා අපට සිනමා ශාලා 300ක් පමණ තිබුණා. අද ඒක 45ක් තරමට පහත බැහැලා. මණ්ඩල පහේම චිත්‍රපට බෙදා හරින්නෙ ඔය ශාලා 45ට. එකම සිනමා ශාලාවල එක්- එක් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට. ‘ෂෝ- ටයිම්’ දීලා තියෙන්නෙත් ඒකයි. අද චිත්‍රපටයක් නරඹන්න ප්‍රේක්‍ෂකයන් ගෙන්වා ගැනීම ඇත්තටම අභියෝගයක්. නමුත් මේ මොනාලිසා නරඹන පිරිස, පටන් ගත් තැන සිට, අවසානය දක්වා චිත්‍රපටය ඉතා ආසාවෙන් වින්දනය කරන බව නම් කියන්න පුළුවනි.
සඳුන් ගමගේ