බාගෙට වැඩ කරන්න මට බැහැ - සහන් රන්වල
අපේ රටේ නම ජාත්‍යන්තරයේ සනිටුහන් කරන්නට, අපේකම ලෝකයට රුගෙන යන්නට කටයුතු කරන නිර්මාණවේදීන් යැයි කී සැණින් අපේ සිහියට නැගෙන පරපුරකින් පැවත එන අපූරු නිර්මාණවේදියකු සමඟ අපි අද කතාබහ කරමු. වර්තමානයේ මහා රුකක්ව මේ පරපුර දරා සිටින ඔහු අපේ ජන සංගීතය අපේ අනාගත පරපුරට නිවැරදිව හදාරන්නට නූතන තාක්ෂණික මාර්ගගත ක්‍රම පවා යොදාගනිමින් කරන මෙහෙවර සුවිශාලය. ලංකාවේ ජන සංගීතය වඩාත් ප්රශස්ත ලෙස ජනගත කරන්නට තම පිය උරුමයෙන් ලද දායාදය තම වගකීම කරගත් ඔහු මාධ්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු, සංගීතවේදියෙකු, ගීත රචකයෙකු ආදී වූ කලාවේ භූමිකා රැසක මෙන්ම නීතිඥවරයෙක් ලෙස ද විවිධ දක්ෂතා හැකියා ප්‍රකට කළ දක්ෂයෙකි. ඔහු නමින් සහන් රන්වල නම් වෙයි.
මෙරට ජන සංගීතය වඩාත් ආකර්ෂණීය ලෙස ජනතාව අතර ප්‍රචලිත කරන්නට සේම ජාත්‍යන්තරය කරාද රුගෙන යන්නට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ලයනල් රන්වලගේ ආදරණීය පුත්‍රයෙකු වන සහන් රන්වල, රන්වල පවුලේ බාල පුත්‍රයායි. සහන්ගේ වැඩිමහල් සොයුරා මාධ්‍යවේදී චිරන්ත රන්වලය. නුගේගොඩදී උපත ලැබූ සහන් මූලික අධ්‍යාපනය අශෝක විද්‍යාලයෙන් ලද අතර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළේය. ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ උපාධිය ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන උපාධිය ද, කැලණිය විශ්වවිද්‍යාලයේම නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත්තේය.
නීතිවේදී උපාධිය ද ලැබ නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දී ඇත්තෙකි. 1993 වසරේදී ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතන විභාගයෙන් (AAT) සංඛ්‍යාන විෂයෙන් ලංකාවේ ප්‍රථමයා බවට පත්වීමටද සහන් රන්වලට හැකි විය. කලාවේ මෙන්ම අනෙකුත් සුවිශේෂී අංශවලද ඔහු සතු හැකියා දක්ෂතා විටෙක පුදුමාකාරය.
"පුංචි කාලේ මම කිසිම කලා කටයුත්තකට එක්නොවුණු තරම්. තාත්තා සංගීත, ගායනා පුහුණුවීම් කරද්දි නිතරම අයියා තමයි තාත්තා එක්ක ඒවා කළේ. මට මතකයි අයියා සින්දු කිව්වා. රඟපෑවා. නැටුවා. මම පැත්තක ඉඳන් බලාගෙන හිටියා. තාත්තා මාව හොඳටම දැනගෙන හිටියා. තාත්තා මට කිව්වේ 'සීරියස් මෑන්' කියලා. මම ඇත්තටම ටිකක් බැරෑරුම් චරිත ස්වභාවයක් සහිත කෙනෙක්. හැබැයි ලොකු වෙද්දි ඒක මාරු වුණා. ඒක පාසල් කාලයේදීම ටිකෙන් ටික වෙනස් වුණා. පාසල් කාලයේම මමත් අයියත් දෙන්නම නාට්‍යයක රඟපෑවා. ඒ නාට්‍ය තමයි විදුර නාට්‍ය. අයියා (චිරන්ත රන්වල) පුතාගේ චරිතය කළා. මම තමයි දුවට හිටියේ. 'මෙම ගිම්හාන ග්‍රීස්ම වූ කාලේ..' කියන ගීතය ගයමින් අප දෙදෙනා වේදිකාවේ රංගනයේ යෙදුණා. ඒ තමයි මට මතක මගේ රංගනයේ ආරම්භය. ඒ කාලයේම වගේ රූපවාහිනියේ තිබුණු 'සවණක් රැස්' කියලා පොහොය වැඩසටහනක්. ලලිතා සිරිවර්ධන මහත්මිය තමයි එය කළේ. එහි විවිධ රංගනයන් ඉදිරිපත් කළා."සුන්දර ළමා වියේ මතකයන් සිහිපත් කරමින් ඔහු පවසයි.
සහන් රන්වල නම් ක්‍රියාශීලී නව යොවුන් තරුණයා ආනන්ද විද්‍යාලයේදී තම විවිධ හැකියාවන් සඳහා වැඩි ඉඩක් ලබාගත්තේය. එහි විවිධ සංගම් රැසකම සාමාජිකයෙකු සේම විවිධ නිලතල හොබවමින්ද ඔහු තම ජීවිතයට නායකත්ව ගුණාංග වැඩි ප්‍රමාණයක් පුහුණු කර ගත්තේය. එහිදී කලා කටයුතු සේම ක්‍රීඩා කටයුතුවලටද එක් විය. ඔහු පාපන්දු කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළේය.
"මම සාමාන්‍ය පෙළ විභාගය කරලා සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය කණ්ඩායමට එක්වුණා. එහිදී විවිධ නාට්‍යවලට සම්බන්ධ වුණා. විකෘති, හිම කුමාරි වගේ නාට්‍යවල රංගනයට එක්වුණා. එයින් ජීවිතයට බොහෝ දේ එකතු වුණා. ආනන්දෙ නාට්‍ය සංගමයේ සභාපතිවරයා විදිහටත්, ප්රවෘත්ති විකාශන ඒකකයේ භාණ්ඩාගාරික ලෙසත් ශිෂ්‍ය විධායක කමිටුවේ හිටියා. ඇත්තටම පාසල් කාලයේ ගොඩක් විෂය බාහිර වැඩ කළා. ඒ එක්කම තාත්තගේ ජන ගී කණ්ඩායමත් එක්ක ප්‍රසංග විශාල ප්‍රමාණයකට එක්වෙලා රට වටේ ගියා. ඉතින් ඔය ඔක්කොම වැඩ අතරේ මම පාසලේ වාණිජ අංශයේ ප්‍රථමයා බවටත් පත් වුණා."
සහන් මාධ්‍ය කලාවට අවතීර්ණ වූයේ ද පාසල් කාලයේදීමය. ඒ ගුවන්විදුලි මාධ්‍යයක සහන නිවේදකයෙකු ලෙසය. එය සිදුවන්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වීමද විශේෂත්වයකි. ඒ 1996 වසරේදීය. සිරස ගුවන්විදුලියේ තෙවැනි සංවත්සරය වනවිට ඔහු එහි රැඳී සිටියේය.
"මාව සම්මුඛ පරීක්ෂණයට ලක් කළේ නිමල් ලක්ෂපතිආරච්චි මහත්මයා, කිංස්ලි රත්නායක මහතා හා තමාලි පීරිස් මහත්මිය. මම ආනන්දෙ ඉගෙන ගන්නා කාලෙදි නිවේදන තරගයක් තිබුණා. පාසල් විශාල ගණනකින් ළමයි ඇවිල්ලා.
ඇත්තම කතාව කිව්වොත් මම ඒ තරගයට සහභාගි වුණේ නෑ. මම එතන හිටියා. මේ තරගය විනිශ්චය කරන්න ආවේ එවකට සිරසේ නිවේදක නිවේදිකාවන් දෙපළක් වූ කිංස්ලි අයියා (කිංස්ලි රත්නායක) සහ තමාලි අක්කා (තමාලි පීරිස්). ඉතින් මේ තරගය යන අතරතුර එහි ප්‍රතිඵල කියනකම් ගතවුණු කාලය තුළ විවිධ ඉදිරිපත් කිරීම් කළා. මෙහිදී මාත් මගේ මිත්‍ර සජිත් (සජිත් රත්නායක) සමඟ එක්ව ඉදිරිපත් කිරීමක් කළා. එය අභිරූපණ රංගනයක්. එය දැකලා කතාබහ කරලා තමයි කිංස්ලි අයියත් තමාලි අක්කත් මට සිරසට එක්වෙන්න කියලා අවස්ථාව ලබා දුන්නේ."
උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබූ සහන් රන්වල කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් විය. විශ්වවිද්‍යාල සමයේදී ඔහු ස්වර්ණවාහිනිය සමඟ සම්බන්ධ විය. ඒ 2001 වසරේදී පමණය. ඊට පෙර ඔහු 'හිරු' ගුවන්විදුලි නාලිකාව සමඟ ද එක්විය.
"මම ස්වර්ණවාහිනියට එක්වුණු කාලයේදීම ටෙලිනාට්‍ය රංගනයට එක්වුණා. එය 'රඟ මඬල සමුගනී' නාට්‍ය. මම එහි පෙම්වතාගේ චරිතය රඟපෑවා. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 'රඟ මඬල සමුගනී' මගේ ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය වගේම මගේ ආදරණීය පියාණන් ලයනල් රන්වලගේ අවසන් ටෙලිනාට්‍ය රංගනය. මෙහි රංගනය වෙනුවෙන් සුමති සම්මාන උළෙදේදී හොඳම නැගී එන ටෙලිනාට්‍ය රංගන ශිල්පියා සම්මානයට නිර්දේශ වුණා. 2002 වසර මගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වුණා. මගේ තාත්තා 2002 වසරේ නොවැම්බර් 13 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඉතින් තාත්තගේ හදිසි වියෝවත් එක්ක මට අනාගතය ගැන පැහැදිලි තීරණයක් ගන්න වුණා. මොකද එතෙක් මම කළේ ජන සංගීත කලා කටයුතු වෙනුවෙන් තාත්තාට සහය දීම පමණයි. මම මාධ්‍ය කලාවේ වැඩ කටයුතු, උසස් අධ්‍යාපනය සියල්ල කරගෙන යමින් තමයි තාත්තගේ වැඩ සඳහා දායක වුණේ. ඒත් තාත්තගෙ අභාවයත් එක්ක මේවා ඉදිරියට කරගෙන යනවාද නැද්ද යන්න මා තීරණය කළ යුතුව තිබුණා. මොකද මම යමක් කළොත් එය සම්පූර්ණ කැපවීමෙන් කරන්න ඕන. බාගෙට වැඩ කරන්න බැහැ මට. ඉතින් මම තාත්තා මේ කලාව රැකගන්න, පෝෂණය කරන්න කළ කැපකිරීම්, යෙදූ මහන්සිය හොඳටම දැක්කා. මම හිතුවා මෙය ඉදිරියට රැගෙන යන්න ඕනෑ කියලා. එය මම පූර්ණකාලීනව වගකීමක් ලෙස බාරගත්තා."
වගකීම බාරගත් ඔහු එය වඩාත් ඉහළ තැනකට එය රැගෙන යන්නට වෙර දරයි. ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ද සමඟ ඔහු එම වගකීම මැනවින් ඉටු කරන වග රටම දන්නා කරුණකි.
උපුල් ශාන්ත සන්නස්ගලගේ 'වස්සාන සිහිනය' සෙනේෂ් බණ්ඩාර දිසානායක සිනමාවට ගෙන ආවේ 'ආදරණීය වස්සානය' නමිනි. සහන් සිනමා නළුවෙකු බවට පත්වූයේ ඒ ඔස්සේය. එහෙත් ඒ අත්දැකීම ලබන සමයේදීම ඔහු සිය ජීවිතයේ වඩාත් දුක්බර අත්දැකීමක් පෞද්ගලිකව විඳිමින් සිටියේය. එනම් සහන්ගේ ආදරණීය මවත් පියාත් දෙදෙනාම දරුණු රිය අනතුරකට මුහුණ දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමයි. ඔහු චිත්‍රපට රූගත කිරීමේ යෙදුණේ එම අනතුර සිදුවූ කාලයේමය. එය ද ඔහු ලැබූ මුහුණ දීමට අසීරු එහෙත් දරාගත යුතුම අත්දැකීමක් විය. ටෙලිනාට්‍ය ගණනාවකට සහන් තම රංගනය ලබා දුන්නේය. සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ 'ගිනිඅවි සහ ගිනිකෙළි', රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ 'ජීවිතය ලස්සනයි' මෙන්ම නාලක වෙදමුල්ලගේ 'ඉටි මල්' හි සහන් රංගනයේ යෙදුණු මතකයේ රැඳුණු චරිත ඇතුළත් විය. මේ දිනවල 'ඉස්කෝලේ' සහ 'විසේකාර හාදුවක්' තුළින් පුංචි තිරයේදී ඔහු අපට හමුවෙයි. චිත්‍රපට කිහිපයකටද ඔහු රංගනයෙන් දායක විය.
විවිධ වැඩසටහන් සඳහා තේමා ගී නිර්මාණ හා ගුවන්විදුලි කිංකිණි නිර්මාණය ඔහු විසින් අවස්ථා විශාල ගණනකදී සිදු කළේය. සිරස ගුවන්විදුලියට කළ කිංකිණි නිර්මාණය සඳහා පසුගිය වසරේදී ගුවන්විදුලි රාජ්‍ය සම්මානය ද හිමි විය. ආනන්ද විද්‍යාලයේ 125 වැනි සංවත්සර ගීතය, ස්වාධීන රූපවාහිනියේ සූර්ය මංගල්‍ය තේමා ගීතය, දෙරණ 'ඩ්‍රීම් ස්ටාර්' හා 'සිටි ඔෆ් ඩාන්ස්' තේමා ගීත, රුහුණු කතරගම දේවාලයේ පෙරහර තේමා ගීතය ආදිය ඔහු කළ නිර්මාණ අතරින් කිහිපයකි. ලොව රටවල් විශාල ප්‍රමාණයක ජන ගී ප්‍රසංග සහ සංදර්ශන සඳහා සහභාගි වූ රන්වල ජන ගී කණ්ඩායම 2011 වසරේදී ඉතා සුවිශේෂී ජයක් ලැබුවේය. චීනයේ ෂැංජියාජි හි පැවැති ජාත්‍යන්තර ජන සංගීත සම්මාන උළෙලේදී ලොව හොඳම ප්‍රාසාංගික ජන ගී කණ්ඩායම ලෙස සම්මානයට පාත්රවීම ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයකි.
"මේ වෙද්දි අපි ගීත ඇල්බම් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒත් එක්කම බත්තරමුල්ල 'අපේ ගම' හා ගම්පහ 'නිවහන' පරිශ්‍රයේත්, මහනුවර 'සහස් උයන' හීත් අපේ පාඨමාලා පැවැත්වෙනවා. ජන සංගීතය, ගායනය, බෙර වාදනය වගේම චිත්‍ර කලා පාඨමාලා රැසක් ද විවිධ වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙනවා. ඒ වගේම ලංකා පාසල සහ මාර්ගගත ක්‍රමය ඔස්සේ ලොව පුරා දරුවන්ට මේ පාඨමාලා සමඟ එක්වෙන්නට හැකියාවක් තිබෙනවා. 'ලංකාරේ' වෙබ් රේඩියෝව ඔස්සේත් අපි ජන සංගීතය ජනගත කරන්නට කටයුතු කරනවා. අපේ රිද්මය උඩට ගේන්න අපි දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා. ඒ මේ 2020 – 2030 දශකය සඳහා. 'පළමු පාසල මව් කුසයි' කියලා මව් කුසේ ඉන්න දරුවා තුළ යහපත් රිද්මයකට හුරුවක් ඇති කිරීමට, යහපත් සිතුවිලි ඇති කිරීමට කොහොමද කටයුතු කරන්නේ කියලත්, 'බහ තෝරන කාලේ තාලේ' කියලා කුඩා දරුවන්ට එය රැගෙන යන්නේ කෙලෙසද ආදී ලෙසත් ඉතා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා."සහන් රන්වල පවසයි.
සහන් රන්වල අපේ රටේ නම, අපේකම ඉදිරියට ගෙන යන්නට වඩාත් සුදුසු වන දරු පරපුරකට මඟ කියන ගුරු පියෙකු ලෙස කරනු ලබන මෙම මෙහෙවර අප ඉතා අගය කළ යුතුය. සහන් මේ වනවිට එක්දරු පියෙකි. සෙත් රන්වල ඔහුගේ ආදරණීය පුතණුවන්ය. බිරිඳ මෙලනි රන්වලය. කලාවේ විවිධ ඉසව් ඔස්සේ ජන මනසට සමීප මේ සොඳුරු කලාකරුවාගේ හෙට දවස වඩාත් සුබවේවායි හදසර අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරමු.
මොනිකා සේරසිංහ