පසුගිය වසර දෙකක කාලයේදී ජාතික කණ්ඩායම එක්ක හිටපු නිසා විවේකය අඩුයි
අම්බලන්ගොඩින්, එදා සිට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ තරු බොහෝය. වත්මනෙහි එලෙසින් ජාතික කණ්ඩායමට එක්වූ රන් තරුවක් ලෙස රමේෂ් මෙන්ඩිස්, නම් කළ හැකිය. වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත්ව සිටන රමේෂ් මෙන්ඩිස් සමග අපි පිළිසඳරකට එක්වෙමු.
රමේෂ් යාළුවෝ කතා කරන්නේ ‘රමා’ කියලා නේද?
ඔව්, ටීම් එකේ යාළුවෝ කතා කරන්නේ ‘රමා’ කියලා.
රමේෂ්, ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ නැත්නම් හමුදා නිලධාරියකු ලෙස කටයුතු කිරීමේ ආසාවක් නේද තිබුණේ? ඒකට විශේෂ හේතුවක් තිබුණද?
යුධ හමුදා සේවයට යාමේ අදහසක් මට තිබුණෙ. මගේ බාප්පා විශ්‍රාමික මේජර් කෙනෙක්. ඒ දවස්වල බාප්පා මාව කෑම්ප් එකට එහෙම එක්කගෙන යනවා. ඉතින් ඒ වට පිටාව දුටුවාම හමුදාව ගැන මට ආසාවක් වගේම උනන්දුවක් ඇති වුණා.
රමේෂ්ගේ තාත්තා ඒ දිනවල ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් නේද?
තාත්තාගෙ නම ප්‍රසන්න මෙන්ඩිස්. ජාතික පිහිනුම් ශූරයෙක්. 1987-89 ‘සාෆ්’ ක්‍රීඩා උළෙල නියෝජනය කළා. තවමත් තාත්තාගෙ වාර්තාවක් බිඳහෙලා නැහැ. තාත්තා සේවය කරන්නේ ශ්‍රී ලංකා පොලීසියේ. උප පොලිස් පරීක්‍ෂකවරයෙක්.
අම්මා?
අම්මා ගුරුවරියක්. ශාරීරික කුසලතා අංශයේ. ඒ කාලයේ අම්මා දැල්පන්දු සහ පැසිපන්දු ක්‍රීඩා කරලා තියෙනවා.
පවුලේ රමේෂ් හැර වෙන කවුද ඉන්නෙ?
මමයි, මල්ලිලා දෙන්නයි. ලොකු මල්ලි ‘නිමේෂ් මෙන්ඩිස්’ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. පොඩි මල්ලි ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මේ වසරේ විද්‍යාලයීය 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරනවා.
රමේෂ්, තවම කොළඹ එන්නේ අම්බලන්ගොඩ ගමේ ඉඳලද?
කොළඹ නතර වෙලා ඉන්නෙ.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකුට අමතරව රමේෂ් සේවය කරන්නෙ?
‘ඩීමෝ’ ආයතනයේ.
ඉගෙනීමටත් දක්‍ෂතා පෙන්වූවා නේද?
ඉගෙනීම හොඳට කළා, ඒත් දිගටම ක්‍රිකට් තරග එක්ක කාර්ය බහුල වුණාම අධ්‍යාපනයට සියයට සීයක් කැපවෙන්න බැරි වුණා. මුලින්ම මම ගියේ දේවානන්ද විද්‍යාලයට. ඉන් පසුව ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා.
තාත්තා පිහිනුම් ශූරයකු නිසා රමේෂ්ට පිහිනුම් අංශයේ ක්‍රීඩා කරන්නට හිතුණේ නැද්ද?
මුලින්ම මම ක්‍රීඩා කළේ බැඩ්මින්ටන්. 14 න් පහල සිට හොඳටම කළා. ජුනියර් අශයෙන් අර්ධ අවසන් දක්වා ක්‍රීඩා කළා. ඉන්පසුව තමයි ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ. කොහොමටත් ඒ කාලයේ ඉඳලාම මම ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. කොයි වෙලාවේ බැලුවත් බැට් එකයි බෝලයයි අතේ. එච්චරටම ආසා කළා.
ඒ දිනවල ඔබගේ ක්‍රිකට් වීරයින් වුණේ.
ඒ දිනවල උපුල් තරංග අයියා, අම්බලන්ගොඩින් ඇවිත් ධර්මාශෝකය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. එයා තරග කරන හැටි නිතරම බලන්න අපි ආසා කළා. සනත් ජයසූරිය කියන්නේ එදා ඉඳළම මගේ ක්‍රිකට් වීරයෙක්. ඊට අමතරව මහේල, කුමාර් සංගක්කාර මගේ වීරයින්.
එදා ඉඳලම දඟ පන්දු යැවීම ද කළේ?
මුල් කාලයේදී පිට දඟ පන්දු යැවීම වගේම පා දඟ පන්දු යැවීමත් කළා. පසුව තමයි දිගටම ඕෆ්ස්පින් (පිට දඟ පන්දු යැවීම) කළේ. පාසල් කාලයේ ඉඳලාම පිතිකරුවකු ලෙසත් හොඳට ක්‍රීඩා කළා.
අද වන විට රටම වගේ ආදරය කරන මේ ක්‍රිකට් තරුවට ක්‍රිකට් හැර වෙන මොනවටද ආසාව දක්‍ෂතාවය තියෙන්නේ?
ගීත අහන්න ආසයි. බොහෝ වෙලාවට විවේකය ගෙවන්නේ සිංදු අහන එක සහ ටෙලි නාට්‍ය නැරඹීමයි.
කාගේ සිංදු ද වැඩි පුර අහන්නේ?
හැමෝගෙම ගීත අහනවා. ඒ අතරින් නදීමාල් පෙරේරාගෙ ගීත අහන්න හරිම ආසයි. පැරණි ගීතත් අහනවා.
කඩවසම් ක්‍රීඩකයෙක්නෙ. රඟපෑම ගැන එහෙම උනන්දුවක් නැද්ද?
මට රඟපාන්න බැහැ.
රමේෂ් විකට්ටුවක් ගත්තත්, නැතත් සිනහමුසු මුහුණින් තමයි නිතරම ඉන්නේ?
ඒ පොඩි කාලයේ ඉඳලම මම හැදිච්ච විදියයි. ඇත්තටම මට කේන්ති යනවා අඩුයි.
දුර්වලකමක් ලෙස දකින්නේ?
ඉස්සර කෑම පාලනයක් නැහැ. අහුවෙන දේ කෑවා. චොක්ලට් වැඩිපුර කෑවා. දැන් නම් කෑම පාලනය කරනවා.
රමේෂ්ගේ ආදරය කොහොමද?
ආදරය හොඳයි. රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දි බොහෝ පිරිසකගේ ආදරය ලැබෙනවා. ඒක හොඳ දෙයක්.
ප්‍රේමවන්තයෙක්ද?
එහෙම කියමු.
රටක් නියෝජනය කිරීමට හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. රමේෂ්ට ලැබුණු මේ අවස්ථාව දැනෙන්නෙ කොහොමද?
රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම එක පාරටම ලැබුණු දෙයක් නෙවෙයි. කුඩා කාලයේ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට අසීමිතව ආදරෙයි. ඒ ආදරය ගෞරවය සහ උනන්දුව මෙන්ම කැපවීම සහ නිරන්තරයෙන් දුටු සිහිනය සැබෑ වීමක් ලෙස මේ අවස්ථාව මට දැනේන්නේ. අවුරුදු 15 න් පහළ සිට සංචාර යන්න ලැබුණා. ඒ විදියට ටිකෙන් ටික ආ ගමනක්. එක් රැයකින් ලැබුණු අවස්ථාවක් නෙවෙයි. කැපවීමේ, මහන්සියේ සහ උනන්දුවේ ප්‍රතිඵලයක්.
රමේෂ් අන්තර් සමාජීයිය ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ ‘කෝල්ට්ස්’ සමාජයෙන් නේද?
මුලින්ම SSC (එස්එස්සී) කණ්ඩායමට ක්‍රීඩා කළේ. ඉන්පස්සේ එක් අවුරුද්දක් බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා.. ඉන්පසුව අද දක්වා මුවර්ස් (Moors) කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ.
ජාතික කණ්ඩායමට තෝර ගත් මුල්ම අවස්ථාවෙ මොන වගේ හැඟීමක් ද දැනුණේ.
එදා මම හිටියේ අම්බලන්ගොඩ. හරියටම කිව්වොත් 2021 ජනවාරි 1 වැනිදා උදේ තමයි මට පණිවුඩය ලැබුණේ. මගේ ඥාති අයියලා - අක්කලා සහ අපේ මල්ලිලා එක්ක පංසලට ගිහින් ඇවිත් ඉන්නකොට තමයි පණිවුඩය ලැබුණේ.
රමේෂ් ආගම දහමට ලැදි චරිතයක් නේද? විශේෂයෙන්ම පංසල් යාමට සහ ඒ පරිසරයේ ගත කිරීමට ප්‍රිය කෙනෙක් නේද?
ඔව්. මම ආගම දහමට ලැදියි. ඉඩ ලැබුණු හැටියෙ පංසලට යනවා. දහම් පාසල් ගිය දවස්වලදී දෙතුන් වතාවක් සිල් අරගෙනත් තියෙනවා. බෝධි පූජා තියන්න. බෝධීන් වහන්සේ දෝවනය කරන්න එහෙම ආසයි.
ආගම දහමට නැඹුරු වූ රමේෂ්ට ජීවිතය දැනෙන්නේ මොන විදියට ද?
ජීවිතය සියලු දේ අභියෝගයක්. මට විතරක් නෙවෙයි. සෑම කෙනෙක්ටම ජීවිතය අභියෝගයක්. අපි ඒ අභියෝගයට හොඳින් ශක්තිමත් මනසින් දුක සැප විඳදරාගෙන මුහුණදීම වැදගත්. ඒ සියලු දේ අතරේ හැකි විදියට අනෙක් අයට උදවු කරගෙන ජීවත්වීම හොඳ දෙයක්.
රමේෂ් නිතරම යන්න ආසා කරන තැන දළදා මාලිගය නේද?
මම දළදා මාලිගයට යන්න හරිම කැමතියි. විවේකයක් ලැබුණාම කොහොම හරි යනවා. නිතරම දළදා වඳින්න යන්න උත්සාහ ගන්නවා. එක්කෝ ගමේ පංසලට හරි යනවා. ඒ පරිසරයෙ ඉන්න මම ආසයි.
විවේකය ගත කරන්න වැඩිපුර යන්න ආස කොහෙටද?
පසුගිය වසර දෙකක කාලයේදී ජාතික කණ්ඩායම එක්ක හිටපු නිසා විවේකය අඩුයි. විවේකය ලැබුණු විගස ගෙදර ඉන්න තමයි ආසා. බීච් එකට වෙලා ඉන්න. පවුලේ අය එක්ක ඉන්න ආසයි.
අම්මා උයන කෑම කන්න තමයිලු වැඩිපුරම ආසා?
ඔව්. මම හොටෙල් එකේ නැවතිලා ඉන්නකොටත් අම්මට කියලා කෑම එකක් ගෙන්න ගන්නවා. ගාල්ලේ මැච් තිබියදී එහෙම කළා. ලොකු බත් මුලක් එව්වාම අපි හය හත් දෙනෙක් එකතුවෙලා ඒක ලිහාගෙන කෑවා. අම්මට හරි රසට උයන්න පුළුවනි.
තවත් මොනවද ‘රමා’ අපට මේ හමුවෙදී කියන්න තියෙන්නෙ?
ගුණ ජය සතුට පදනමේ (Foundation of good will) නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා සහ එම පදනම ගැනත් සඳහන් කිරීම වැදගත්. අද මාත් ඒ පදනමට හැකි විදියට යමින් එමින් උදවුවක් කරන්න බලනවා.
සඳුන් ගමගේ