පැවිදි චරිතවලට ලැබුණේ පුදුමාකාර ගෞරවයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආරෝහ පරිණාහ දේහයකින් යුත් ,ඔහුගේ  හඬ පෞරුෂය මෙන් ම රංගන විලාසය    හදවතේ සමීපව සටහන් වී ඇත්තේ අපූරුවට ය . හැට වසරක්  පුරාවට වේදිකාව ,සිනමාව, රූපවාහිනිය ජය ගත්  චරිතාංග රංගධරයකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ට අපි මෙවර ගෞරවනීය කලා ලෝකයේ ආදරණීයන් හමු වන ”රහස්” විශේෂාංගයට ආරාධනා කළෙමු.

මේ දින වල විශේෂයෙන් මොනවා ද  කෙරෙන්නේ ?

කොටස් 50කින් යුත් ටෙලි නාට්‍යයක පිටපතක් ලියලා ඒක කරන විදිහක් ගැන තමයි දැන් හොයමින් ඉන්නේ සංස්කෘතිය ආගම දහම පදනම් කරගෙන ලියවුණු තවත් වටිනා නිර්මාණයක් .... වර්තමානයේ බොහෝ ටෙලි නිර්මාණ මුදල පදනම් කරගෙන ම  කෙරෙන නිසා මගේ නිර්මාණයට කොහොම ඉඩක් ලැබෙයිද කියලා දන්නේ නැහැ .....බලාපොරොත්තුවෙන් ඉන්නවා 

ඔබට දැනුන විදිහට ඔබ වඩාත් ජනාදරයට පාත්‍ර වෙන්නේ?

කලා ලෝකයේ මා ආ ගමන්මග රොකට්ටුවක් වගේ .රොකට්ටුවක් අභ්‍යවකාශ ගත වෙන්න කලින් කොපු කීපයක්ම ගැලවී යනවා වගේම මා ජනප්‍රියත්වය කරා යන ගමනේදී අඩු වැඩි වීම්  බොහොමයක් එදා මෙදා තුර තිබුණා.

පාසල් වේදිකාවෙන් ම රඟපෑමට පැමිණී මා  වේදිකාවට සම්බන්ධ වීමත් සමග වේදිකා නාට්‍ය හයක් නිර්මාණය කරලයි වේදිකාවෙන් සමු ගත්තේ.   ටෙලිනාට්‍ය, නාට්‍ය චිත්‍රපටි, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, රඟපෑම වගේ සියලු දේවල්  ....ඔය සෑම දෙයක් අතරේම අඩු වැඩි වශයෙන් ජනප්‍රියත්වය, ආදරය, පිළිගැනීම කියන දේ ලැබුණා කියලයි මට නම් හිතෙන්නේ.

ඇතැම් චරිත නිසාම බොහෝ ගෞරවයට පාත්‍ර වෙච්ච රංගධරයකු විදිහටයි ඔබව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ?

සැබෑවටම ඔව්. එවකට ප්‍රේක්ෂකයා වැලඳගත්ත බොහෝ නාට්‍යවල මට ලැබී තිබුණේ සුදු චරිත .ඒ නිසාම නොසිතනා විරූ ගෞරවයක් පිළිගැනීමක් කැමරාවෙන් එපිට   සමාජයන් මට නිරතුරුවම ලැබෙන්නේ පටන් ගත්තා. ”නායක හාමුදුරුවන්ගේ” ”පණ්ඩිත හාමුදුරුවන්ගේ”

චරිත වලට පණ පොවනා කාලවල දී මට මතකයි මාව පාරේ දැක්කත්  දණ ගහලා වඳින තත්ත්වයක් තිබුණා .බස් එකක   යන කෙනෙක් පවා මාව දැක්කහම සීට් එකෙන් නැගිටලා ඔලුව පහත් කරලා ආචාර කරන අවස්ථා තිබුනා .ඇතැම් චරිත වලට මිනිසුන් ගෙන් ලැබිච්ච ප්‍රතිචාර,ආදරය, පිළිගැනීම මටත් හිතාගන්න බැහැ. සමහර වෙලාවට සුදු චරිත රඟපාපු නිසාම මගේ තිබුණු ඇතැම් කළු ගතිගුණත් මම හිතලාම අයින් කරගත්ත   අවස්ථා තිබුණා.

ඒ කිව්වේ ?

ඉස්සර තරුණ කාලයේදී මම දුම්වැටි පානයට හුරු වූ කෙනෙක් .නමුත් රඟ දක්වන සුදු චරිත නිසා මිනිසුන් මාව වැළඳ ගත්ත විදියට එවැනි පුරුදු මට ගැළපෙන්නෙ නැහැ කියලා හිතලා ,මම ඒ පුරුදුවලින් ඈත් වුණා. 

චරිතාංග නළුවෙක් වීම  අභියෝගයක් ද ?

සැබෑවට ම ඔව් ...රඟපෑම කියන්නේ සැබෑ ම අමාරු විෂයයක් ....ඉස්සර රඟපෑම ගැන  පොත පත පවා  සිංහල බසින් ලියැවී තිබුණේ නැහැ ...එවැනි වටපිටාවක නිවැරදි අධ්‍යනයක් ලබා ගැනීමට නිවැරදි ගුරුවරුන් සොයා යාමට අපි මහත් උත්සාහයක් දැරුවා. ඒ නිසාම අපි රැයකින් දිදුලන තරු  වුණේ නැහැ කවදාවත්. 

තරුණ අවදියේ  ආදර යෝජනා බොහොමයක් එන්නැති ඔබට ?

අපොයි ඔව් ...ඇතැම් තරුණියන්ගේ දෙමව්පියන් නිවසටම ඇවිත් විවාහ යෝජනා ඉදිරිපත් කරපු අවස්ථා තිබුණා...

බිරිද හම්බ උනෙත් එවැනිම යෝජනාවකින් ද?

මට ඇය ව මුණ ගැසෙන්නේ කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දීමයි. ආදර සම්බන්ධතාවයකින් අපි විවාහ වෙලා දැන් අවුරුදු 55ක් .

නළුවෙක් අවුරුදු 55 ක් එකම වහලක් යට එකම බිරිඳක් එක්ක පවුල් කනවා කියන්නේ සම්මාන ලැබිය යුතු කරුණක් අද කාලේ හැටියට නම්.

ඇය ගැන කෙටියෙන්ම කිව්වොත් ?

මවක්, බිරිඳක්, යෙහෙලියක් ,ගුරුවරියක්, ජීවිතේ මනාව සැලසුම් කළ කළමනාකාරිනියක් ...අපේ ජීවිත  වල  ගොඩ නැගුණු සියල්ලෙහිම අත්තිවාරම ඇයයි... කිව්වොත් නිවැරදියි.

ආදරේ නිර්වචනය කරන්න කිව්වොත් ?

මේ ලෝකයේ ආදරය ගැන මොනතරම් නිර්වචන තිබුනත් සැබෑම ආදරය තිබෙන්නේ මනුස්සකමින් පොහොසත් හදවත් තුළ කියලා විතරයි. මම නම් හිතන්නේ .... සෙනෙහස කියන මාතෘකාව ඇතුලේ ආදරය හැමදාම සුරක්ෂිත වෙනවා කියලා මට හිතෙනවා .තමන්ට තමන් ආදරේ නොකර මේ ලෝකෙ කිසිම කෙනෙකුට ආදරය කරන්න බැහැ කියලයි මගේ පෞද්ගලික හැඟීම නම්.

පිය සෙනෙහස ගැන ඔබට මොකද හිතෙන්නෙ?

තමන්ගේ බිරිඳට ආදරයෙන් ,සෙනෙහසින් සලකන ස්වාමියෙකුට පිය සෙනෙහස කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදරණීය හැඟීමක් ..

ඔබට දැන් වයස අවුරුදු කීයක් විතරද?

2022 පෙබරවාරි 11 වැනිදාට වයස අවුරුදු 82 ක්.

වයසට වඩා තරුණ පෙනුමක් තියෙන්න  යම් කිසි හේතුවක් තියෙනවද ?

ලෙඩ වීම ,වයසට යාම කියන පොදු ධර්මතාවයට මමත් බොහොම උපේක්ෂාසහගතව මුහුණ දෙනවා ....
වයස නිසා වගේම, දියවැඩියා රෝගයට තරුණ අවදියේ ඉඳලම මුහුණ දෙන කෙනෙකු විදිහට කෑම බීම ගැන මම කවදත් සැලකිලිමත් උනා ...මේ මොන දේ තිබුණත් උදෑසන අවදි වුණු මොහොතේ සිට රාත්‍රි නින්දට යන තෙක් වතුර ටිකක් බිවුවත් , නා ගත්තත් ,එළවළුවක් , පලතුරක් ආහාරයට ගත්තත් ඒ හැම දෙයක්ම දිව්‍ය ඖෂධයක් වේවා කියලා මම නිතරම හිතනවා. ධනාත්මක සිතිවිලි වලට මේ ලෝකෙ වෙනස් කරන්න බැරි දෙයක් නැහැ කියලා මම පෞද්ගලිකවම ඔප්පු කරල තියෙනවා. නිරෝගී කම ආරක්ෂා වෙන්න දීර්ඝායුෂ ලබන්න මේ සිතුවිලි හැමදාම හේතු වුණා කියලත්  මම විශ්වාස  කරනවා.

නිරෝගි කම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ව්‍යායාමවලත්  නිරත වෙනවද?

ඔව්.මගේ ශරීර සෞඛ්‍යය ට ගැලපෙන විදිහට සුදුසු ව්‍යායාම කිහිපයක නිරත වෙනවා.

ඔබ ශරීරයට වඩාත් ම  ගැළපෙන ඇඳුම ?

උස නිසාම මොන ඇඳුම ඇන්දත් ශරීරයට ගැලපෙනවා .නමුත් ඉන්දියානු ආරයට නිමකල ජාතික ඇඳුමට වැඩි කඩවසම් පෙනුමක් තියෙනවා කියලා කවුරුත් කියනවා.

ජීවිතයේ වඩාත් සතුටු වුණු දවස ?

බොහෝ සතුටු අවස්ථාවන් අතර  ආවර්ජනය කළ යුතු ම අවස්ථා තුනක් තියෙනවා .

පළමු අවස්ථාව මම අයනු ආයනු   උගත් කැලණිය විද්‍යාලංකාර පිරිවෙණෙන් පසු කාලයකදී මට ගෞරව උපාධියක් ලැබීම.
 දෙවන අවස්ථාව තමයි මම ශිල්ප ශාස්ත්‍ර උගත් කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ මා නමින් ගොඩනැගිල්ලක් නම් වීම.  තුන්වෙනි සිද්ධිය තමයි ලෝක ඉතිහාසයේ  පළවෙනි වතාවට තත්පර අණුවක් වැනි කෙටි කාලීන රඟපෑමකට  සරසවි සම්මානයක් ලැබීම ...

ජීවිතේ සංවේදී වුණ අවස්ථාව?

කෑ ගහලා ඇඬුවේ නැතත් ජීවිතේ කියල දුන්න  පියාගේ වියෝව  මහා  හිඩැසක්  විදිහට අදටත් හදවතට දැනෙනවා ....

ජීවිතය ගැන මොකද හිතෙන්නේ ?

අතීතයේ ලැබුණු අත්දැකීම් වර්තමානයේ අත්හදා බැලීම් කරමින් අනාගතය ගැන අපේක්ෂාවෙන් ගෙවන කාලය ජීවිතේ විදියට දැනෙනවා.

ඊට අමතරව උපතයි විපතයි අතර දෝලනය වන කාලය ප්‍රතිපත්තියක්  නැතොත් නස්පැත්තියක් වෙනවා කියලයි බුදු දහම අනුව මට නම් දැනෙන්නේ ...

ඔබ කවුරුන්ද යන්න කෙටියෙන්  ම හදුන්නාවා දුන්නොත් ?

රංගන ශිල්පියෙක්, නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂක වරයෙක් , තිර රචකයෙක්, ලේඛකයෙක් , දේශකයෙක් , පියෙක්, ස්වාමියෙක් ඔය කොයි විදිහටත් ම මාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඔය කොහොම හැදෙනු වත්  හිත හොඳ මිනිහෙක් විදිහට මිනිසුන් මාව හඳුනාගෙන තියෙනවා නම්. ඒකට මම ගොඩක් කැමතියි.

අසුන්තා එදිරිසූරිය