පොලිස් නිල ඇඳුම මේ විදියට රඟපෑමට හරි අඳින්න ලැබීම මට නම් ලොකු ගෞරවයක්
‘කොහොම වුනත් නොසැලිකිලිමත් රිය ධාවනය’ මදනායක අර ඇක්සිඩන්ට් එකේ එක්කෙනා අරගෙන එන්න. මේ දෙබස් අභිෂේකා තේනුවර නමැති පොලිස් පරීක්ෂකවරියගේය. මේ පොලිස් පරීක්ෂකවරිය අපට හමුවන්නේ ‘මැස්සා’ නාට්‍යයේ චරිතයක් ලෙසය. කොළඹ ගෙන්දගම් පොළවේ එක්තරා සමාජ තත්ත්වයක වෙසෙන මිනිසුන් අතරට මැදි වූ මේ පොලිස් නෝනාගේ චරිතයට ජීවය ලබා දෙන්නේ සුරූපී රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් මහේෂි මධුශංකාය.
කොහොමද ඉතින් කට්ටිය මේ දිනවල කතා කරන්නෙ මොන නමින් ද?
වැඩ වගයකට ඇවිත් මේ දිනවල අපේ ගෙදර බාස් උන්නැහේලා ඉන්නවා. ඔන්න එක පාරටම ඕ.අයි.සී. නෝනා එනවා, අයි. පී. නෝනා එනවා, පොලිස්-පොලිස් කියලා කියන්න පටන් ගත්තා. ඒ විදියට තමයි ‘මැස්සා’ නරඹන බොහෝ දෙනා අද මට කතා කරන්නෙ.
මහේෂි ද, මධුශංඛා ද වඩා කැමති නම ?
‘මහේෂි’ හොඳයි.
මහේෂි, මැස්සා නාට්‍යයේ රඟපාන්නෙ කාලයකට පසුව නේද?
මම ලොකු කාලයක් රඟනොපා හිටියෙ නැහැ. විවාහ වුණාය කියලා රඟපෑමෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. බබාලා ලැබෙන්න ඉඳිද්දීත් රඟපෑවා. බබාලා ලැබුණට පස්සෙත් රඟපෑවා. ඒ විදියට ක්ෂේත්රයේ දිගටම හිටියා.
මවක් වෙන්න සිටිය දී රඟපෑ නාට්‍ය මොනව ද?
පැහැසරා නාට්‍යයේ රඟපෑවා, ඊට පසුව ‘ඇය’ නාට්‍යයේත් ඒ විදියටම රඟපෑවා.
කොහොම ද ගෙදර ජීවිතය? මේ දවස්වල?
රටේ පවතින තත්ත්වයත් එක්ක පොඩි අයට එහෙම තිබුණු නිදහස සීමාවෙලා. මිනිස්සු ඔක්කෝම ලොකු අරගලයකනෙ ඉන්නෙ. කොහොම වුණත් දරුවොත් එක්ක ඉන්නකොට ප්‍රශ්න අමතක වෙනවා. සතුටින් හොඳින් ඉන්නවා.
‘බබාලා’ දෙන්නයි නේද?
ඔව්, දුවයි - පුතයි.
දරු දෙදෙනකුගේ මවක වෙලත්, ඉස්සරටත් වඩා ලස්සනයි කියලා නේද, බොහෝ දෙනා කියන්නෙ ?
ඒක නම් ඇත්තටම මගෙන් බොහෝ දෙනෙක් අහන දෙයක්. අපේ රංගන හා කලා ක්ෂේත්රයේ අය ඇත්තටම හොඳයි. කෙනෙකුගෙ දක්ෂතා වගේම ලස්සන පවා එයාලා වර්ණනා කරනවා. මෑතක දී ‘ගේම්’ ෆිල්ම් එකේ විශේෂ දර්ශනයක් පෙන්නුවා. ඒක නරඹන්න හිරගෙදර සිටින රන්ජන් අයියාව ගෙන්නුවා. ඉතින් අපිත් ඒකට ගිහින් හිටියෙ. එදා ඒ වෙලාවෙ ඇවිත් හිටිය, කලා ක්ෂේත්රයේ කාන්තා-පිරිමි භේදයකින් තොරව මාව අගය කළා. කොහොමද, මොකක්ද රහස එහෙම කියලා ඇහුවා, ඒත් ඉතින් මම ඒ වෙනුවෙන් කියලා විශේෂ දෙයක් කරන්නෙ නැහැ. බබාලගෙ වැඩත් එක්කනෙ ඉන්නෙ. නමුත් මහන්සිවෙලා වැඩ කරන අතරේ, මම මා ගැනත් බලා ගන්නවා. තමුන්ට උනන්දුව තියෙනවා නම්, ඕනෑම අම්මා කෙනෙකුට ඒක කරන්නට පුළුවනි. ඒක ඇත්තටම මැජික් එකක් නෙවෙයි. තමුන්ටත් ආදරේ වෙන්න ඕනෑ. මව්වරු ලෙස කාන්තාවන් ලෙස දවසේ කරන්න වැඩ කොටසක් තියෙනවනෙ. ඒ වැඩ එක්ක ඉන්නකොට තර බාරු වෙන ස්වභාවය නැතුව යනවා. ඒ එක්කම ඕනෑ නම් අපට අපේ රටේ නිෂ්පාදනය කෙරෙන හොඳ දේශීය පාන ඖෂධ පාන වගේ දේ තියෙනවනෙ. ඒ ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් නම් හොඳයි.
මේ දිනවල ‘මහේෂි’ ඉන්නෙ ‘මැස්සා’ නාට්‍යයේ විතරද?
ඔව්, ඒත් මේකෙ විශේෂත්වයක් තියෙනවා. මේ දක්වා මම නිතරම වගේ කළ චරිතවලට වඩා සෑහෙන වෙනස් චරිතයක්. පොලිස් නිලධාරිනියක ලෙස මීට කලින් රඟපාලා තිබුණෙ නැහැ. මේ චරිතය කරන්න කියලා ආරාධනා කළේ ස්වර්ණවාහිනියෙ රංගන අයියා. ඒත් මුලදි මේ චරිතය කරන්න පුළුළුන් වේවිද කියන චකිතය මට තිබුණා. නමුත් ඉන්දික ධර්මතිලක අධ්යක්ෂවරයා යටතේ මේ පොලිස් නෝනාගේ චරිතය කිරීමට හිතුවට වඩා හොඳින් පුළුවන් වුණාය කියලා හිතනවා. ඉන්දික ධර්මතිලක වගේම මෙහි නිෂ්පාදක ජනකත්, කැමරා අධ්යක්ෂ ප්‍රදීප් අයියා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම පුදුමාකාර මහන්සියකින් මේ වැඩේ කරන්නෙ. මාත් මේ චරිතය රඟපාන්නෙ හරිම ආසාවෙන්. ඒ වගේම මෙහි රඟපාන නළු නිළි පිරිස ඔක්කෝම ඉතා දක්ෂයි. ඉතාම ස්වභාවික රංගනයක යෙදෙනවා. ‘මැස්සා’ ලස්සන නාට්‍යයක් වෙලා තියෙන්නෙ ඒ නිසයි.
පොලිස් නිල ඇඳුම ඇඳගෙන රඟපෑමට පෙර ඒ ගැන දැනුවත්වීමක් වුණා ද?
අනිවාර්යයෙන්ම ඒ ගැන දැන ගන්න ඕනෑ. මම විශේෂයෙන්ම ඒ ගැන සැළකිළිමත් වුණා. අනෙක එහෙම ආවාට ගියාට පොලිස් නිල ඇඳුම අඳින්න බැහැ. එහෙම ඇඳගෙන ඉන්න අය අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හොයලා බලලා අවසර අරගෙන තමයි මේ චරිතයට ප්‍රවේශ වුණේ. තවත් දෙයක් කියන්නම වෙනවා. ඒ තමයි පොලිස් නිල ඇඳුම ඇඳගෙන සැබෑ ලෙස රාජකාරි කරන නිලධාරින් ඉටු කරන්නෙ විශිෂ්ට සේවයක්. පොලිස් නිල ඇඳුම ඇඳගෙන දවසම ගත කිරීම එච්චර ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ නිසා සමාජය මීට වඩා පොලිස් සේවයේ යෙදෙන සියලු දෙනා ගැන අභිමානයෙන් ගෞරවයෙන් බැලිය යුතුයි. ඒ ඇඳුම ඇඳගෙන ගිණි අව්වෙන් ඉන්න එපායැ. ඒක හරි අසීරු දෙයක්. පොලිස් නිල ඇඳුම මේ විදියට රඟපෑමට හරි අඳින්න ලැබීම මට නම් ලොකු ගෞරවයක්.
සැබෑ ලෙස පොලිස් සේවයේ යෙදෙන මහේෂිගෙ යෙහෙළියන් එහෙමත් ඉන්නවද?
සෑහෙන්න ඉන්නවා. මම වගේම මගේ සැමියා සම්පත්ගෙ යාළුවොත් ඉන්නවා. ලංකාවෙ පොලිසිය ගැන විශේෂයෙන් දෙයක් කියන්නම ඕනෑ. පොලිසිය කරන්නෙ එයාලගෙ සේවයයි, ඉහළින් එන අණ අනුව තමයි ඒ සියල්ල වෙන්නෙ. ඒ නිසා කිසිම විටෙක පොලිස් නිලධාරින් එක්ක වාද කරන්න ගැටුමට යන්න හොඳ නැහැ. ලංකා පොලිසිය කියන්නෙ ඉතා මානුෂීය දෙපාර්තමේන්තුවක්. ඕනෑම ක්ෂේත්රයක එක් කෙනෙක් දෙන්නෙක් වැරැදි කරන්න අනවශ්‍ය දේ කරන්න පුළුවනි. ඉතින් ඒ වගේ අය පොලිස් සේවයෙත් ඇති. හැබැයි සමස්තයක් ලෙස ලංකාවේ පොලිසිය කියන්නෙ ඉතා හොඳ දෙපාර්තමේන්තුවක්.
මහේෂි වගේ ලස්සන පෙනුමැති සැබෑ ලෙස පොලිස් සේවයේ යෙදෙන යෙහෙළියන් එහෙමත් ඇති ?
අපොයි ඔව්, ලස්සන අය ඉන්නවා. පොලිසියට බැඳෙනව කියන්නෙම සෑහෙන ලොකු කැප කිරීමක්. පොලිස් සේවයේ නියුතු කාන්තා නිලධාරිනියකට ‘බබා’ ලැබුණාය කියලා අනෙක් අයට වගේ දීර්ඝ කාලයක් ගෙදර ඉන්න බැහැ. සේවයට යන්න වෙනවා. අපේ රටේ ‘පෙට්‍රල්’ ප්රශ්නය එක්ක ඒ වගේ සිටින මගේ පොලිස් යෙහෙළියත් හරියට කළකිරිලා හිටියේ. සමහර වෙලාවට එයාලට ඩියුටි කරන්න රාත්‍රියට පවා සේවයට එන්න වෙනවා. ඒත් ඒ ගැන සමහර සාමාන්‍ය ජනතාව දන්නෙ නැහැ. ඒ නිසා මම කියන්නෙ ඒ අය ගැන මානුෂීයව බලන්න. අපේ අය පිටරට පොලිසි ගැන මහා ලොකුවට කතා කළාට, මට නම් ලෝකයේ හොඳම මානුෂීය පොලිසිය ලංකාවේ පොලිසියයි.
කොහොමද ‘මහේෂි’ට මැස්සා නාට්‍යයේ පොලිස් නෝනා නිසා ලැබෙන ප්‍රතිචාර?
තවම මම සිටින කොටස් කීපයක් විතරයි විකාශය වුණේ, හැබැයි ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. මේ නාට්‍ය විකාශය වෙන්නෙ රාත්‍රි 8.30ට සෙනසුරාදා සහ ඉරිදට. මම හිතන්නෙ ‘මැස්සා’ නාට්‍යයේ සියලුම රංගන ශිල්පීන් පිරිස ඉතාම ස්වභාවික රංගනයක යෙදෙන්නෙ. ඒ නිසාම ඒක මිනිසුන්ට වඩාත් සමීප බව පෙනෙනවා. මගේ චරිතය ගැන කතා කළොත් මගේ චරිතයෙ නම් අභිෂේකා තේනුවර. ප්‍රවීන රංග ශිල්පී සරත් කුලාංග අයියා එක්ක තමයි මට වැඩිපුර රඟපාන්න තියෙන්නෙ. එයාගේ විහිළු කතා ටික අහලා මට හිනාවෙලාම මහන්සියි. ටේක් එකට යන්නට පෙර අපෝ මාර විහිළු කතා තමයි එයා කියන්නෙ. ඉතින් ඒ රූගත කරන කාලයම කම්මැලි නැහැ. එයා ප්‍රවීණයකු ලෙස මට ලොකු සහයෝගයක් දෙන්නෙ.
මැස්සා කතාව ‘මහේෂි’ ට දැනෙන්නෙ කොහොමද?
නාගරික සමාජගත එක්තරා විදියක පීඩනයට පත්ව ජීවත්වන මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. හොරු කියල ඒ අයට කියනවා නම් ඒකට හේතුව ඒ බොහොමයක් දෙනා මව්පියන් නැතුව හැදී වැඩී සමාජගත වූ අයයි. ඒවා එයාලා කරන්නෙ නැති බැරිකමට. බොහෝ විට සමාජයේ ළමුන් යොදාගෙන අනුකම්පාව ගන්න පුළුවනි.
ඒ සමාජයේ අය කරන්නෙ එහෙම දෙයක්. එවැනි වාතාවරණයක ළමයකු මේ ලෝකෙට බිහි කරන්නට පෙර ළමයා සමාජගත කළ යුතු විදිය ගැන සිතීම ඉතා වැදගත්. දරුවන් බිහි කිරීම වගේම එයාලට හොඳ අධ්‍යාපනයක් සහිත යහගුණය කියාදීම ඕනෑම පවුල් සහ සමාජයීය ස්ථරවල ජීවත්වන අයගෙ වගකීම විය යුතුයි.
සඳුන් ගමගේ