පලයන් හාල්මැස්සා කියලා මගේ කනෙන් ඇදලා එළියට දැම්මා
රසික සිත් නිවා සනසන ගීත කලාවක දශක කිහිපයක් පුරා රැඳී සිටින නිර්මාණවේදියෙකු හමුවීමටයි අපේ මේ සූදානම. ඈත අතීතයේ සිට අද දක්වාම ගීත කලාව විමසා බලන විට එතුළ අපට හමුවන සුවිශේෂ නිර්මාණවේදීන් රැසකි. ඒ අතර වාග්ගේයකාර නම් වූ විශේෂිත නාමයෙන් අපේ මතකයේ රැඳෙන නිර්මාණශීලී කලාවේදීන් අතරින් එක් අයකු සමඟයි අද අපේ කතාබහ. වැව් බැඳි රට මරදන්කඩවල සිට කලා ලොවට එක්වූ ඔහු ප්‍රවීණ සංගීතවේදියෙකි, ගායකයෙකි. වාදකයෙකි. එමතු ද නොව ගීත රචකයෙකි. ඔහු නමින් කරුණාරත්න විජේවර්ධන නම් වන්නේය.
මම අනුරාධපුර මරදන්කඩවල ප්‍රදේශයේ තමයි ඉපදුණේ. අක්කලා හතර දෙනෙක් සහ අයියලා හතර දෙනෙක් මට වැඩිමල්. මම තමයි ඉතින් පවුලේ බාලයා. මගේ අම්මා සහ තාත්තා දෙන්නාම ගොවියෝ. ඒ දෙන්නා අපේ ජීවිත ගොඩනැගුවා. පවුලේ බාලයා නිසාම මට කවදාවත් කිසිම අඩුපාඩුවක් දැනුණෙ නැහැ. ඇත්තටම කිව්වොත් දුෂ්කර පරිසරයක වුවත් මගේ කුඩා කාලය හරිම සුන්දරයි. ඇළේ දොළේ ගහේ වැලේ චමත්කාරය, සොඳුරුතාව අදටත් මගේ ළමා කාලය සිහිපත් වන විට සිහියට එනවා.
කරුණාරත්න විජේවර්ධන නම කියූ සැණින් අප සිහියට නැගෙනුයේ සංගීතවේදියකු බව සැබෑය.
මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඬන අහස..යන මහින්ද දිසානායක ලියූ ගීතය සංගීතවත් කරමින් මෙරට සංගීත කරළියට පා තැබූ ඔහු මේ වනවිට ගීත හත් අටසියයක පමණ තනු නිර්මාණය හා සංගීතවත් කිරීම සිදුකර ඇත. ජනප්‍රිය ගීත රුසක සංගීත අධ්යක්ෂවරයා ලෙස සංගීත ලෝකයේ නමක් රුඳවූ ඔහු වර්තමානයේදී ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයෙක් ලෙස සේවය කරයි. එමෙන්ම බෙල්වුඩ්හි නිකේතනාධිපති ලෙස ද වසර දහයකට වැඩි කාලයක් සේවයෙහි යෙදී සිටියි.
පුංචි කාලේ බොහොම සුන්දරව ගතවුණා වගේම හරිම අපූරු දෙයකුත් සිදු වුණා. මගේ කේන්දරය බැලුව කෙනෙක් කියලා තිබුණා මාව ශාසනයට පූජා කරන්න කියලා. ඒ කියන්නේ මට දැන් වැටහෙන විදිහට ගෘහ වාසයේදී යම් හෝ ගැටලුවක් ඇතිවෙයි කියන අදහස මත වෙන්න ඇති. කොහොම නමුත් කුඩා කාලේ ඒ කියන්නේ මම පාසලේ එක දෙක ශ්‍රේණිවලින් පසුව වැඩිපුර නිවසේ රැඳුණේම නැහැ. නේවාසිකාගාරවලම තමයි හිටියේ. ඒ වගේම ඊට පෙර කාලයේදී මගේ පියා හිටියේ නිවසින් බැහැරවෙලා. මොකද ඔහු 71 කැරැල්ලට සම්බන්ධවෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ කාරණා නිසා මා මගේ දෙමව්පියන් සමඟ එකම නිවසක ජීවත්වීම සිදුවෙලා තියෙන්නේ හරිම අඩුවෙන්.
එමෙන්ම කුඩා කාලයේදී කරුණාරත්න විජේවර්ධන සතුව තිබුණේ තවත් අපූරු පුරුද්දකි. එය නම් ධර්මය ශ්‍රවණය කිරීමයි.
ඒ කාලේ අපේ මිඳුල අතුගාන්න අපි යොදාගත්තේ බෝල්පනා අත්ත. එයින් තමයි උදේට මිඳුල අතුගාන්නේ. අපේ මහ ගෙදර තිබුණා දැවැන්ත සියඹලා ගස් දෙකක්. ඉතින් මිඳුලත් ගොඩක් විශාලයි. මම උදේම අවදිවෙලා මේ මුළු මිඳුලම ලස්සනට රටාවට අතුගානවා. ඊට පස්සේ උදේ අට වනවිට ගුවන්විදුලියේ ධර්ම දේශනය අහනවා. ඒක මගේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් වෙලා තිබුණා.
ඔහු කුඩා කල පටන්ම ඔහු පාසල් රැසකින් අධ්‍යාපනය හදාරා ඇති අතර උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කළේ කැකිරාව මධ්‍ය මහා විදුහලෙනි. වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරෑ ඔහු සාමාන්‍ය පෙළ විභාගයේදී සෞන්දර්ය විෂයයන් සඳහා සංගීතය තෝරාගෙන තිබුණි. කරුණාරත්න විජේවර්ධන යනු දක්ෂ බටනලා හා සිතාර් වාදකයෙකි.
ඉතාම කුඩා සන්ධියේ ඉඳන් අපි විවිධ හීන දකිනවනේ. මට ඕනවෙලා තිබුණේ නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ නායකයා වෙන්න. නේවි බෑන්ඩ් ලීඩර්, තේරෙන දා ඉඳන් මට තිබුණු හීනය තමයි ඒ. ඒ දැකුම්කලු නිල් පාට ඇඳුම, රැවුල, මේ දේවල් නිසාම වෙන්න ඇති මට ඒ වගේ කැමැත්තක් ඇතිවෙන්න ඇත්තේ. මේ හීනය හැබෑ කර ගන්න මම උත්සාහ කළා. ඒක තමයි ගොඩක්ම සුන්දරම අත්දැකීම. එතකොට මම සාමාන්‍ය පෙළ පන්තියේ. දවසක් මම දක්කා පුවත්පත් දැන්වීමක් නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමට බඳවා ගැනීමක් කරනවා කියලා. මට පුදුම සතුටක්. මම හිතුවා මේ තමයි මගේ වටිනා අවස්ථාව කියලා. දැන් මම මේ වෙනුවෙන් උත්සාහ කරන්න ඕන කියලා. මගේ විද්‍යාව ගුරුතුමාගේ පැසිපන්දු පුහුණුව ලැබූ ගෝලයෙක් තමයි එවකට මේ නාවික හමුදා නිලධාරීන් බඳවා ගැනීමේ නිලධාරියා විදියට කටයුතු කළේ. ඊට පස්සේ මම ගිහින් සර්ගෙන් මට උදව්වක් කරන්න කියලා ඉල්ලුවා. ඒත් සර් මට කිව්වා මේ ළමයට තව කල් තියෙනවා. මුලින්ම ඉගෙනගෙන ඒ කටයුතු අවසන් කරලා ඉන්න කියලා. ඒත් මට ඉවසීමක් නැහැ. මට අවශ්‍යතාව ඉතාම වැඩියි. මට ඕන වුණේ ඒ මොහොතේම නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමට යන්න. සර්ට කිව්වා. පස්සේ බැරිම තැන මට කිව්වා හරි, මේ ළමයා අහන්නෙ නෑනේ. මම එහෙනම් ලියුමක් දෙන්නම්. ඒකත් අරන් යන්න කියලා. දැන් මගේ ඉහේ මලක් පිපිලා වගේ. පුදුම සතුටක්. සර් දුන්න ලියුමත් අරගෙන ඉහවහ ගිය සතුටෙන් සම්මුඛ පරීක්ෂණයට ගියා. ඉතින් දැන් මුලින්ම උස මැන්නා. ඒක හරි. ඊළඟට පපුව මැන්නා.කොහෙද... ඒක හරි ප්‍රමාණයට නෙවෙයි. මොකද දැන් වගේ නෙවෙයි ඒ දවස්වල මම ඉතාම පොඩියි. හොඳටම ක_ශ ශරීරයක් තමයි මට තිබුණේ. අර පපුව මැන්න නිලධාරියා මගේ කනෙන් අල්ලලා එළියට දැම්මා. නිකම්ම නෙවෙයි. හොඳටම කෑගහලා පලයන් මෙතන හාල්මැස්සෙක් වගේ ඉඳන් කොහොමද මේ පුහුණුව කරන්නේ කියලා. මට තරු පෙනුණා. මොකද මම සර්ගෙ ලියුමත් අරගෙන ගියේ මාසෙකින් නේවි බෑන්ඩ් එකට යන්න හිතාගෙන. පසුව තමයි මට මගේ විද්‍යාව ගුරුවරයා ලියා දුන්න ලිපියේ ඇති දේ වැටහුණේ. එහි තිබුණේ මොහු මගෙ හිතාදර දරුවෙකි. ඒ නිසා මොහු සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් බඳවා ගන්න කියලා. එහි තිබූ ආකාරයට ඒ වන විට මා ඊට සුදුසු නැහැ. මොකද මගේ වයස නියමිත වයසට වඩා අවුරුදු දෙකක් අඩුයි. එදා තමයි මම ජීවිතයේ වටිනාම පාඩම ඉගෙන ගත්තේ. සුදුසුකම් සපුරා නෙමැති නම් කිසිවක් නිසි ලෙස අපේක්ෂා නොකළ යුතු බව.
කුඩා කල තමා ජීවිතයට එක්කරගත් පුරුෂාර්ථ සමඟ ජීවිතය ඉදිරියට රුගෙන ආ කරුණාරත්න විජේවර්ධන 1990 වසරේදී බෙල්වුඩ් ගම්මානයට පියවර තැබුවේය.
ඒ කාලේ චන්ද්‍රලේඛා, ෂර්ලි වෛජයන්ත එහෙම ගීත ගායනා කරනවා හරිම ආසාවෙන් ඇහුවා. වින්දා. ඉතින් ඔහොම ඉන්න විට බෙල්වුඩ් සඳහා සිසුන් බඳවා ගන්නවා කියලා ගැසට් කරලා තිබුණා. මමත් අයදුම් කළා. එයට එක් වුණා. ඉතා සුන්දර කාලයක්. චන්දන (චන්දන ලියනාරච්චි) සහ මා එකට අධ්‍යාපනය ලැබුවේ. මම ඒ කාලෙ නිතර ගීත නිර්මාණය කළා. හොඳ පුහුණුවක් ලැබුවා. ඉන්පසු මම වැඩිදුර සංගීත අධ්‍යාපනය ලබන්න ඉන්දියාවට ගියා. ඉන්දියාවේ ඉන්දිරා කලා සංගීත් විශ්ව විද්‍යාලයට තමයි මම ගියේ. ඉතින් ඒ අධ්‍යාපන කටයුතු නිමවා ලංකාවට ඇවිත් විවිධ නිර්මාණ කළා. එඩ්වඩ් ජයකොඩි ගයන මිණි මිණි පොද වැටේවි, දයාන් විතාරණගේ ගීතවලින් සිත්තම් කරමින්, ඩැෆඩිල් මල, ඔබේ නීල නෙත් නිම්නයේ වගේ ගීත වැඩිම ප්‍රමාණයක් මම සංගීතවත් කළා. 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැති කාලයේ රූපවාහිනියේ අලුත් සින්දු වැඩසටහනක් මට ලැබුණා. ඒ වෙනුවෙන් මම සංගීතවත් කොට ක්‍රිශාන්ත එරන්දක ගැයූ මගෙ ආදර පවසට ගීතය රෑප රචනා කොට විකාශය කළා. එය තමයි මගේ ජනප්‍රිය වූ පළමු ගීතය. මේ වෙද්දී ගීත ලියලා, සංගීතවත් කරලා ගායනයත් කරනවා මම. සංගීතය පිළිබඳව ගත්තම යෞවන සම්මාන උළෙල තුළ හොඳම ගායකයා, වාදකයා, සංගීතවේදියා ලෙස මම සම්මාන දිනා තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම සංගීත හා තනු නිර්මාණ ශිල්පියා ලෙස සම්මාන ලැබුවා අප්පච්චි නම් ගීතය නිර්මාණය කිරීම වෙනුවෙන්. උඩ මළුවේ තේවාව සහ මල් පූජා කරන ගාථා ආදිය යොදාගෙනයි ඒ ගීතය නිර්මාණය කළේ. මම ටෙලිනාට්‍යය දහයකට පමණ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.
ඔහුගේ නිර්මාණ දිවියට මෙන්ම පෞද්ගලික ජීවිතයටද දීපයක් වෙමින් දීපා දර්ශනී ඔහුට හමුවූයේ බෙල්වුඩ් ගම්මානයේදීය. විවාහ දිවියට ඇතුළත් වූ ඔවුන් දෙපළට ජලිත, තිශෝරා, ජනුල් හා සඳුල් නමින් දූවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙකි. ජලිත පුතාද මේ වනවිට සංගීත ලොවට එක්ව සිටී. ප්‍රථම ප්‍රේමයේ ගී වර්ෂාව නමින් ඔහු විසින් පවත්වනු ලබන සංගීතමය චිකිත්සාව මේ වනවිට වාර 1500ක් පවත්වා ඇත. ඒ ඔස්සේ ගීතය ජීවිතයට බද්ධ වන ආකාරය පිළිබඳව ඔහු අපූරු විග්රහයක යෙදේ. මේ වනවිට තම ප්‍රථම ගීත ඇල්බමය එළිදැක්වීම වෙනුවෙන් කටයුතු කරන ඔහු ඉතා නුදුරේදීම තම කාව්‍ය එකතුවද කෘතියක් ලෙස තම රසික ජනතාව වෙත සමීප කරනු ඇත. සංගීතය ඔස්සේ රසික සිත් සුවපත් කරන කරුණාරත්න විජේවර්ධන නම් සොඳුරු නිර්මාණවේදියාගේ හෙට දවසට අපිත් සුබපතමු.
මොනිකා සේරසිංහ / සේයාරූ - අන්තර්ජාලයෙන්