පෑලියගොඩ පාලමෙන් එහාට මම නළුවෙක් නෙවෙයි - නිරෝෂන් වීජේසිංහ
නිරෝෂන්.. පුංචි කාලෙට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් යන්න කැමති කොයි කාලෙටද?
එහෙම වුණොත් අවුරුදු දොළහ, දහතුන වයසේ කාලයට යන්න මම හරි කැමතියි. ඒ කාලේ දෙමව්පියන් එක්ක තිබුණු බැඳීම, ඒ සමාජ පරිසරය, ගම එක්ක තිබුණු බැඳීම හරිම සුන්දරයි. මම මිනුවන්ගොඩ තොටිල්ලගහවත්ත කියන පුංචි ගමේ ජීවත් වුණු කෙනෙක්. වටේම වෙල් යායකින් වටවුණු, නාන්න පුළුවන් පොඩි ගංඟාවක් තිබුණු ලස්සන පුංචි ගමක තමයි මම ජීවත් වුණේ. ඒ හීන ලෝකයක ජීවත් වුණු කාලයක්. මතක් වෙද්දිත් ආදරය හිතෙන හරිම ආදරණීය කාලයක්. ඒ කාලේ අපේ හිත්වල කිසිම බරක් තිබුණේ නැහැ. වගකීමක් තිබුණේ නැහැ. අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, ඥාතීන්, අසල්වැසියන්ගේ ආදරය එක්ක තිබුණු ඒ බැඳීම හරි සුන්දරයි. ඒ කාලේ තිබුණු ස්වභාව සෞන්දර්ය වුණත් හරි අගෙයි. අද ඉන්න දරුවන්ට ළමා කාලයක් ඇත්තෙම නැති තරම්. ඒ දරුවෝ ඇත්තටම පව්. ඒ දරුවන් ජීවිතේ විඳවනවා. කෑම කන්නෙත් ඉස්කෝලෙට යන ගමන් පාසල් වෑන් රථයේ. එහෙම කාලයක් අපිට ඒ කාලේ තිබුණේ නැහැ. අපි ඉස්කෝලෙ ගිහින් ගෙදර ඇවිත් සෙල්ලම් කරන්නයි ගියේ. අපි ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවේ ගොඩක් හවස් වෙලයි. ඒ තරම් හරිම සුන්දර ළමා කාලයක් මට තිබුණා.
නොහිතපු වෙලාවක නිරෝෂන්ව මේ කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?
එහෙම වුණොත් මම ගෙදරට වෙලා ඉඳීවි. අදටත් මම "නළුවා" කියන කෙනා පෑලියගොඩ පාලමෙන් එහා තියලා තමයි ගෙදර එන්නේ. ඒක අපේ ගමේ අය, නෑදෑයො වගේම ක්ෂේත්‍රයේ අයත් දන්නවා. මම කවදාවත් ''නළුවා'' කියන කෙනා ආභරණයක් විදිහට භාවිත කරපු කෙනෙක් නෙමෙයි. මට තේරෙන කාලෙ ඉඳන් මම නළුවෙක් වෙන්න ආසා කළා. ඒක මගේ වෘත්තිය වුණා. මම ඒ වෘත්තියේ ඉන්නවා හැරෙන්න ''නළුවා'' කියන මානසිකත්වය මගේ හිතේ නැහැ. මම සරලව ජීවත්වෙන කෙනෙක්. තාමත් මම සුපුරුදු ගමේ සුපුරුදු විදිහට ජීවත් වෙනවා. මමයි බිරිඳයි ඉරිදා දවසට පොළට යනවා. මම සරල මනුස්සයෙක්. ඒක මම ළඟින් ඇසුරු කරන අය දන්නවා. ක්ෂේත්‍රයේ සමහර අය දන්නවා කලාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ මම කරනවා කියලා. මම හදවතින්ම නියම කලාකරුවෙක් කියලා මට හැඟෙනවා. ඔය අතරේ මාව ප්‍රතික්ෂේප වුණොත් සාහිත්‍ය පැත්තෙන් ලේඛන කලාවේ නියැලේවි.
ඔබ නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?
නොකරපු වැරදිවලට දඬුවම් විඳින අය ඕන තරම් ඉන්නවා. සිරගෙවල්වල වුණත් නොකරපු වැරදිවලට දඬුවම් විඳින අය ඉන්නවා. මම බෞද්ධ ආගම සහ ස්වභාවදහම විශ්වාස කරන කෙනෙක්. මම සැමවිටම වරදක් නොකර ඉන්නයි උත්සාහ කරන්නෙ. අපිත් මිනිස්සු. අපි අනිනුත් වැරදි සිදුවෙනවා. නමුත් නොකරපු වැරදිවලට දඬුවම් ලැබුණොත් ඒ ගැන ගොඩක් පසුතැවිලි වේවි. මම එහෙම නොකර ඉන්න උත්සාහ කරන නිසා මට ඒ දේ දරාගන්න බැරිවේවි. සමාජය මාව නොකරපු වරදකට වැරදිකාරයෙක් කළොත් ඒකෙන් මාව මානසිකව වැටේවි.
මේ වෙද්දි නිරෝෂන්ගේ ජනප්‍රියත්වය, ප්‍රවීණත්වය එක්ක දේශපාලනයට එන්න අවස්ථාවක් සහ ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?
සතියකට පෙරත් මට ''උඹව අපි දාන්නද? අපි සල්ලිත් වියදම් කරන්නම්* කියලා දේශපාලනයට ආරාධනාවක් ලැබුණා. ඊට පෙරත් මට කිහිප වතාවක්ම ආරාධනා ලැබුණා. ඒ හැම අවස්ථාවක්ම මම ප්‍රතික්ෂේප කළා. මම රටට ආදරය නැතිවවත්, දේශපාලනය කරන්න අකමැතිකමවත් නෙමෙයි. නමුත් මම හිතන පතන දේශපාලනය මේ දැන් තියෙන දේශපාලන ක්‍රමය තුළදී මට කරන්න ලැබෙන්නෙ නැහැ. මම දේශපාලනයට සම්බන්ධ වුණොත් මමත් ඒ ගඟටම වැටෙන මනුස්සයෙක් වේවි. ඒ නිසා මේ මොහොතේ මම දේශපාලනයට සම්බන්ධ වෙන්න කැමති නැහැ. අද ගෞරවණීය දේශපාලනයක් කරන්න ලැබෙන්නෙ නැහැ. මිනිසුන් තුළ දේශපාලනඥයන් ගැන තිබුණු විශ්වාසය මේ මොහොතේ නැතිවෙලා තියෙනවා. ඒ නිසා දේශපාලනය කරන්න මම දැන් කැමති නැහැ.
නිරෝෂන්ට කෝටි ගණනකට විශාල ලොතැයි දිනුමක් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?
අනේ මන්දා. හිතාගන්න බැහැ. කරන්න දේවල් අප්‍රමාණයි. ඒ වගේ විශාල දිනුමක් ඇදෙන්නෙත් අකුණක් ගහලා මැරෙන ප්‍රතිශතයටත් අඩු ප්‍රමාණයක් වගේ සංඛ්‍යාවකට. ඒ නිසා මම ඒක එච්චර හිතන්නෙ නැහැ. මම ලොතරුයි මිලදී ගන්නෙත් නැහැ. ඒ නිසා මට දිනුම් ඇදෙන එකකුත් නැහැ.
ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් නිරෝෂන් අමතක කරන්නෙ මොන සිදුවීමද?
මම පරණ දේවල් මතකයේ තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. අනවශ්‍ය පරණ දේවල් අමතක කරලා වර්තමාන කාලයේ මම ජීවත් වෙනවා. හැබැයි එහෙම අමතක කරන්න බැරි දේවලුත් හදවතේ තියෙනවා. ඒවා මැරෙනකම් හැමදාම හිතේ තියේවි.
කලා ක්ෂේත්‍රයට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න නිරෝෂන්ට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඉගෙන ගන්නෙ මොන විෂය සම්බන්ධයෙන්ද?
කලාවට සම්බන්ධ නැති විෂයක් ගැන මට හිතන්නවත් බැරි තරම්. නළුවෙක් වෙන්න කලින් මම තරම් රැකියාවල් වෙන කවුරුත් කළේ නැතිව ඇති. මම ලිපිකරුවෙක් විදිහට වගේම හෝටල් ක්ෂේත්‍රයෙත් විවිධ ැකියාවල් කරලා තියෙනවා. ඒ දේවල් කරන විට කලා කටයුතු කරන්න මට නිවාඩු නොලැබෙද්දි මම ඒවායින් ඉවත් වුණා. මගේ තාත්තා වඩුවැඩ කරපු කෙනෙක්. අපිට වඩු මඩුවක් තිබුණා. මම තාත්තගේ වඩු මඩුවෙත් වැඩ කළා. ඒ හැමදෙයක් අතරින්ම මම බැලුවේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලයි.
ඔබට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් බාරගන්නවද?
අධ්‍යක්ෂණය කරන්න මට වුවමනාවක් තියෙනවා. හැබැයි ඒක මගේ හදවතේ තියෙන නිර්මාණයක් වෙන්න ඕනෙ. අවුරුදු තිහක් තිස්සේ මම වෙන කෙනෙක් කියපු දෙයක් කරපු කෙනෙක්. ඒ නිසා අධ්‍යක්ෂණය මගේ නිර්මාණයක් වෙන්න ඕනෙ. මට දැනෙන දෙයක් ලැබුණොත් මම කරයි. නමුත් බොහෝ විට මගේ හිතේ ඇඳුණු මගේ නිර්මාණයක් මම දවසක අධ්‍යක්ෂණය කරයි.
රටේ පවතින ආර්ථිකයත් එක්ක බොහෝ දෙනා මේ වෙද්දි විදෙස්ගත වෙන්න උත්සාහ කරනවා. නිරෝෂන්ට හොඳ රුකියාවකට, හොඳ වැටුපකට හොඳ රටකට යන්න ආරාධනාවක් ලැබෙනවා. එහෙම වුණොත් විදෙස්ගත වෙනවද?
එහෙම වුණොත් මම විදෙස්ගත වෙන්නෙ නැහැ. බොහෝ අය ''මේ රට හරියන්නෙ නැහැ. රට දාලා යන්න ඕනෙ* කියන කතාවට මම එච්චර කැමති නැහැ. මේක අපේ රට. දේශපාලන පක්ෂ, දේශපාලනඥයන් මේ රට විනාශ කළා. ඒ විනාශයට උදව් කරපු අය විදිහට වක්‍රව අපි වගකියන්න ඕනෙ. මේ රට ආයේ හදන්න අමාරුයි. සරල නැහැ. නමුත් අපේ රට අපිට කොච්චර වටිනවද කියන දේ වෙන රටකට ගියාම අපිට තේරෙනවා. ''අපේකම'' නැතිව වෙන රටක අසරණ වීම හරි දුකයි. ඒ නිසා මම මේ රට දාලා වෙන රටකට යන එකක් නැහැ.
දිශානි