ප්‍රසාද් සූරියආරච්චි කියන කලා ලොවේ රසකතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රසාද් සූරියආරච්චි කියන්නේ දශක ගණනාවක් පුරා වේදිකාවට අසීමිතව ආදරය කරමින් ප්‍රවීණ නාට්‍ය කරුවන් ගණනාවකගේ නිර්මාණවලට දායක වූ කලාකරුවෙක්. වෘත්තියෙන් නීතිඥවරයකු වන ප්‍රසාද් වේදිකාවේ මුහුණ දුන් රසකතා කීපයක් අපි අද දැන කියා ගනිමු.

පෙම්වතිය දැකලා දෙබස් අමතක වෙලා

ජයලාල් රෝහණ නාට්‍ය වේදියාගේ සම්මානනීය නාට්‍ය නිර්මාණයක් තමයි ලෝකා කියන්නේ. ඒ නාට්‍යය පුරාම අන්තර්ගත වෙන්නේ නාට්‍යයක .. සිදුවන සිදුවීම් පෙළක්. ලෝකා නාට්‍යයේ ජයලාල් සහ මම ඇතුළු තවත් ආධුනික නළු නිළියන් ගණනාවක් රංගනයෙන් දායක වුණා. නාට්‍ය ආරම්භයේදීම තිබෙන සිදුවීම තමයි එක නළුවෙක් කෙසෙල් ගෙඩියක් කකා අනිත් නළුවාට ඇවිත් දෙබසක් කියනවා. එක පැත්තක රොහාන් සමරදිවාකරත් අනිත් පැත්තේ චරිතය ආධුනික නළුවෙකුත් රගපෑවා.

මේ නාට්‍යයේ දර්ශනයක් ඔන්න එක දවසක් ලුම්බිනි රගහලේ ආරම්භ වුණා. ආධුනික නළුවා දැන් එම්බා ලෝටස් මම ඔබගේ අධි රාජ්‍යයේ සේවකයෙක් වෙමි. කියන දෙබස කියාගෙන රොහාන් ළගට එන්න ඕනේ. ඔන්න දැන් තුන්වැනි සීනුවෙන් පස්සේ නාට්‍යය ආරම්භ වුණා. අර ආධුනික නළුවා එම්බා ලෝටස් කියනවා කෙසෙල් ගෙඩියෙන් කෑල්ලක් කනවා. ප්‍රේක්ෂකාගාරය දිහා බලලා සිනාවෙනවා. ඉගි ඉිගි පානවා. අත වනනවා. දෙබසේ ඉතුරු ටික කියන්නේ නැහැ. බැරිම තැන රොහාන් කියනවා ඔව් ඔව් එම්බා ලෝටස් තමයි. මොනවා හරි කියන්න ආවා නේද ඒක කියන්න කියලා ඒත් අර නළුවා කියන්නේ එම්බා ලෝටස් කියලා විතරයි. පස්සේ තමයි අපි සිද්ධිය දැන ගත්තේ. අර ආධුනික නළුවා දැකලා තියෙනවා. එයා වේදිකාවට එන කොටම තමන්ගේ පෙම්වතිය නාට්‍ය බලන්න ඇතුල්වෙනවා. එයාට පෙම්වතිය දැක්කාම හැමදේම අමතක වෙලා. දෙබසුත් අමතක වෙලා. ඉන් පස්සේ නාට්‍යයේ හැමෝම සිද්ධිය දැන ගත්තාට පස්සේ එම්බා ලෝටස් කියලා අන්වර්ථ නාමයෙන් ඔහුව හඳුන්වන්න ගත්තා.

එළාරට සුදුවා ඩිංගක්

අශෝක හඳගමගේ මාඝාත නාට්‍යය මම රංගනයෙන් දායක වු රට පුරා සාර්ථකව ප්‍රදර්ශනය වූ නාට්‍යයක්. එළාර රජ්ජුරුවන්ගේ පුතාගේ අශ්ව කරත්තයට වහු පැටියෙක් අහුවුණාම උගේ අම්මා ඇවිත් රජ්ජුරුවන්ට නඩුව කියන කතාව තමයි නාට්‍යයේ අන්තර්ගත වෙන්නේ. ජය ශ්‍රී චන්ද්‍රජිත් විනිශ්චයකාරයාගේ චරිතයටත් එළාර රජු විදියට ග්‍රැන්විල් රොඩ්ගු මේ නාට්‍යයට රංගනයෙන් දායක වුණා.

මේ නාට්‍යයේ දර්ශනයක් පොළොන්නරුවේ තිබුණු වෙලාවක 3.30 අවසන් වෙලා 6.30 දර්ශනය පටන් ගන්නකන් නාට්‍යයේ ඇදුනුත් ඇදගෙන අපි පොඩ්ඩක් එළියට වෙලා විවේකීව සිටියා.

ටික වෙලාවකින් ඒ ගමේ මනුස්සයෙක් අපේ ළගට ආවා. ඇවිත් නියම නාට්‍යයක් අද කාලෙට හොඳට ගැළපෙනවා කියලා අපිව වර්ණනා කරන්න පටන් ගත්තා. ටික වෙලාවකින් මිනිහා කියනවා අපේ ගමටම ආපු වෙලාවේ මහත්තයලට නොසළකා හරින්නත් බැහැ සුදුවා තමයි තියෙන්නේ ඕනනම් ගෙනත් දෙන්නම් කියලා.

ඒ මනුස්සයාත් ඒ වෙලාවේ සුදුවා පොඩ්ඩක් පාවිච්චි කරලා තිබුණු බව කටින් ආපු සුවදින් අපට තේරුණා.

ඒ අතරේ මම දැක්කා ග්‍රැන්විල් රොඩ්ගු අපි ඉන්න තැනට පොඩ්ඩක් එහායින් ඉඳන් ගෑනු ළමයෙක් එක්ක කතා කරකර ඉන්නවා. මං ඊට පස්සේ ඒ මනුස්සයාට කිවුවා අපි නම් මත්පැන් පාවිච්චියක් නැහැ. ඒත් අර අතන ඉන්න නළුවා නම් ඒවා ටිකක් ගන්නවා. ඔයා ගිහින් එයාගෙන් අහන්න කියලා. දැන් අර මනුස්සයා මට පේනවා ග්‍රැන්විල්ට ගිහින් විස්තරේ කියනවා. ඒ අතරේ මට උස් හඩින් ඇහෙනවා ග්‍රැන්විල් කියනවා කවුද කවුද කිවුවේ මං සුදුවා බොනවා කියලා. මට ඒක කියපු එකා පෙන්නපන් මං ඒකගේ රතුවා බොනවා කියලා. අර ගෑණු ළමයත් ළක ඉදපු නිසා ග්‍රැන්විල්ට ලැජ්ජ හිතෙන්නැති. මොකද ග්‍රැන්විල් කියන්නේ මත්පැන් බොන නළුවෙක් නෙවෙයි. කොහොම හරි ඒ කතාව අර මනුස්සයාට කිවුවේ කවුද කියලා ග්‍රැන්විල්ට හොයා ගන්න බැරි වුණා.

අමිල චින්තක ගමගේ