ප්‍රවීණ උණ ජැක්සන් අයියට තිබුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ "හුස්ම" සිනමා පටයට පසුව නැවතත් දසුන්ට "සීරුවෙන්" සිනමා පටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ආරාධනාව ගැන මොකද හිතෙන්නේ..?

"සීරුවෙන්" චිත්‍රපටය හරහා සුදේශ් අයියා එක්ක නැවතත් වැඩ කිරීමට ලැබීම ගැන ගොඩක් සතුටුයි. "හුස්ම" ට පෙර මම සුදේශ් අයියාගේ වැඩකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඉතින් සුදේශ් අයියා "හුස්ම" ට කතා කළාට පස්සේ එයාගේ ඊට කලින් කරලා තිබුණු සමහර චිත්‍රපට නිසා මට ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. සුදේශ් අයියා ටිකක් කොමඩි චිත්‍රපට කරපු කෙනෙක්. හැබැයි "හුස්ම" නිර්මාණයට ගියාට පස්සේ සුදේශ් අයියා වැඩ කරන විදිහ, ඒ සැහැල්ලුව, ඔහු අධ්‍යක්ෂණය කරන විදිහ එක්ක අපේ හුස්ම වැටුණා. ඒ විශ්වාසයත් එක්ක ඔහු ගැන ලොකු විශ්වාසයක් ඇතිවුණා. ජැක්සන් අයියා පවා "සීරුවෙන්" නිර්මාණයට දායක වෙන්න තිබුණු ලොකුම හේතුවත් "හුස්ම" කියලයි මට හිතෙන්නේ. ඒ විශ්වාසය හුස්ම වගේම තිබුණා වගේම ඔහු ඒක රැක්කා.

ජැක්සන් එක්ක "සීරුවෙන්" වැඩ කරන්න ලැබෙනවා කියලා මුලදි කියද්දි මොකද හිතුණේ?

ඇත්තම කිව්වොත් ජැක්සන් අයියා එක්ක වැඩ කරන්න මට ලොකු ආසාවක් තිබුණා. "සීරුවෙන්" චිත්‍රපටයට පෙර ජැක්සන් අයියා එක්ක මම රඟපාලා තිබුණේ නැහැ. "සීරුවෙන්" චිත්‍රපටය පුරාවට ප්‍රධාන චරිත හතරයි තියෙන්නේ. ඒ නිසා එකම ගෙදරක සාමාජිකයෝ හතර දෙනෙක් විදියට අපිට ඉන්න ලැබුණා. ජැක්සන් අයියා නැතිවේවි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඉතින් ජැක්සන් අයියා එක්ක රඟපාන්න ලැබෙද්දි "ඒක මරු වැඩක්" කියලයි මම ගොඩක් හිතුවේ. ජැක්සන් අයියා එක්ක අපිට දවස් විස්සක් එකට ඉන්න  ලැබුණා. ඒ අතරේ මේ වැඩේ "සුපර්" වෙනවා කියලා අපි දැනගෙන හිටියා. ජැක්සන් අයියා එක්ක එකට රඟපාන්න ලැබීම මට ලැබුණු ලොකු අවස්ථාවක් වගේම ලොකු භාග්‍යයක්.

දවස් විස්සක් ජැක්සන් එක්ක එකට ඉන්න ලැබුණා. රෑගත කිරීම් නැති කාලයේදී ලබපු අත්දැකීම් කොහොමද?

ජැක්සන් අයියා එක්ක එකට ඉඳිද්දි තමයි අයියාගේ ජීවිතයේ ලබපු අත්දැකීම් අප හා බෙදා ගත්තේ. ඔහු අපිට ඔහු ලබපු ගොඩක් අත්දැකීම් කිව්වා. ඉස්සර එයාගේ යාළුවන් එක්ක කරපු දේවල් අපිට කිව්වා. ඒවා හරි සුන්දර මතකයන්. ජැක්සන් අයියා කියන්නේ පුස්තකාලයක්. ඔහු නොදන්නා දෙයක් නැහැ. දවස් විස්සක් අපි පොඩි කණ්ඩායමක් එක්කයි හිටියේ. රඟපෑවේ ප්‍රධාන චරිත හතරයි. ඒ දවස් විස්සේදී ජැක්සන් අයියා අපිට ගොඩක් ළං වුණා. ඒක බොහොම සැහැල්ලුවෙන් ගත කරපු කාලයක්. සුදේශ් අයියා කිසිම වෙලාවක අපිට දවසකට වැඩි කොටසක් රෑගත කිරීම් කරලා පැක් කළේ නැහැ. පොඩි සීතලත් එක්ක අපි ඒ දවස් හරිම සුන්දරව ගත කළා.

"සීරුවෙන්" ප්‍රධාන චරිත හතරක් වටා ගෙතුණු නිර්මාණයක්. දසුන් ඒ එක් චරිතයක්. ඒ ගැන මොකද හිතෙන්නේ?

මේක කුතුහලයක් ඇතිවෙන චිත්‍රපටයක්. ඒ වගේ සිනමා පටයකට ලංකාවේ ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. අපි ඒ විදියේ චිත්‍රපට නරඹන්න කැමතියි. ඉතින් මේකත් ඒ විදිහේ චිත්‍රපටයක්. ඒ ගත්තු තේමාවට චරිත තුන හතරකට වඩා එකතු කරගන්න හිතෙන්නේ නැහැ. කවුරු හරි "මේක බලන්න බැහැ බං. මේක කම්මැලියි කියලා කිව්වොත් අපි එතැනදී ‘'ෆේල්’ වෙනවා. ඒක මේ චිත්‍රපටයේදී විතරක් නෙවෙයි හුස්ම එකේදිවත් වුණේ නැහැ. ඒකෙත් ඉතා සීමිත චරිත ටිකක් තිබුණේ. හැබැයි ඒ කුතුහලය සහ ඒ හැඟීම් හරියටම තිබුණා. "සීරුවෙන්" චිත්‍රපටයේදීත් ඒ හැඟීම් ඒ කුතුහලය හරියටම තියෙනවා. ජැක්සන් අයියා වගේම බුද්ධික අයියත් (බුද්ධික ජයරත්න) අපිට වඩා ප්‍රවීණ කලාකරුවන්. මේකෙදි දශක කිහිපයක අය  වැඩ කළා. ඒ නිසා දශක හතරක අත්දැකීම් හතරක් එකතුවක් තමයි "සීරුවෙන්" කියලා කියන්නෙ.

"සීරුවෙන්" චිත්‍රපටයේ ජැක්සන් රඟපාන්නේ අන්ධ මනුස්සයෙක්ගේ චරිතයක්. නමුත් ඔහුගේ ඇහුම්කන් දීම, ඒ හරහා වූ බැලීම වෙනස්ම දෙයක්. අපි ඒක දකින්නේ පුළුල් තිරයෙන්. දසුන්ට ඒක හැබෑවටම රෑගත කිරීම් වෙලාවේදී දකින්න ලැබුණා නේද?

ජැක්සන් අයියා ඒකට මාර විදිහට හෝම්වර්ක් කරලයි ආවේ. ඔහු මේ චරිතයට පුදුම විදියට ආසා කළා. "මම මේකෙදි අයි බෝලේ උඩට යන එක පවා ප්‍රුක්ටිස් කළා මචං" කියලයි කිව්වේ. ඒ වගේම ඒක සොල්දාදුවෙක්ගෙ චරිතයක්. ඒ නිසා ජැක්සන් අයියා චරිතයට හරියන්න වෙනස් විදිහකට ඇඟ හදාගෙන තිබුණා. රඟපාන්න එද්දි ඔහු ඒ හැමදේම ගැනම මාර දැනුවත්. ජැක්සන් අයියා ඒ චරිතය කරපු විදිය මාර විදියට වෙනස්. මට රඟපාන්න නැති වෙලාවට ජැක්සන් අයියා රඟපාන දිහා බලාගෙන හිටියා. ජැක්සන් අයියාගේ ගොඩක් දේවල් අපි අල්ලා ගත්තා. අයියා තුළ කණ්ඩායම් හැඟීම තිබුණා. කිසිම වෙලාවක එයා ප්‍රවීණයෙක් කියලා ඔළුවට ගත්තේ නෑ. "වරෙන් මේ මස් ටික කමු" කියලා හැමවෙලේම එයා අපවත් එයා ළඟට ළං කර ගත්තා.

"සීරුවෙන්" කොපියක් කියලා සමහරු කියනවා. නිර්මාණවේදියෙක් විදියට දසුන් ඒකට දෙන උත්තරේ මොකක්ද..?

අපි මේකට කියන්නේ ප්‍රතිනිර්මාණය කරනවා කියලයි. එක භාෂාවකින් කරන එකක් අපි නැවත නිර්මාණය කරනවා. අපි ඒ වගේ ගීත, නාට්‍ය ඕනෑ තරම් කරලා තියෙනවා. හැබැයි ඒක හරියටම කරනවද කියලයි ගැටලුව වෙන්නේ. ලංකාවට ඒක ගැලපෙන විදිහට ප්‍රතිනිර්මාණය කිරීමයි වැදගත් වෙන්නේ. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ෆොටෝ කොපියක් නෙමෙයි.

දවස් විස්සක මතකයන් විතරක් ඉතිරි කරලා ජැක්සන් යන්න ගියා. "සීරුවෙන්" ජැක්සන් එක්ක එකට ඉඳගෙන බලන්න වාසනාව නැති වුණා?

අදටත් මම ජැක්සන් අයියා නැතිවෙලා කියලා හිතන්නේ නැහැ. එයා හිටියනම් මේකට කොයි තරම් විචාරයක් දෙයිද? ජැක්සන් අයියා කියන්නේ අපිට හිටපු වීරයෙක්. එයා පුස්තකාලයක්. එයාගෙන් ගත්ත දේවල් ගොඩක් තිබුණා. කරන්න වැඩ ගොඩක් තිබුණා. අපි "මෝටර් බයිසිකල්" චිත්‍රපටය කරද්දි අපිට අත දීපු විදිය, අපිව දිරිමත් කරපු විදිය අපට කවදාවත් අමතක නැහැ. ජැක්සන් අයියා නැතිවුණු එක අපිට දරාගන්න බැහැ. අඩුම තරමින් අයියාගේ මිනියවත් මම බලන්න ගියේ නැහැ. තාමත් ජැක්සන් අයියා ජීවත් වෙනවා. අයියා එයාගේ සගයන් එක්ක එකට වාඩිවෙලා මේ චිත්‍රපටය බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. "සීරුවෙන්" ජැක්සන් අයියා ජීවමානව ජීවත් වෙනවා කියලයි මට හිතෙන්නේ.

• දිශානි ජයමාලි