ප්‍රේමයට අර්ථකතන දෙන්න මට අමාරුයි. ජීවිතයම ගොඩනැගෙන්නෙ ප්‍රේමය ආදරය මතයි
ඔහොම නෙවේ බං මං ගුටිකාලා තියෙනවා..
උඹට කියන්න.. අපි ට්රේනිංන් ඉන්නකොට.. අපිට දුන්නෙ බං
අම්මා මුත්තා සිහිවෙන්න..
කොහොම හිටපු මනුස්සයෙක්ද අප්පා
ෂාහ් පව් අප්පා..
ටෝනි මහත්තයා අපට සමාවෙන්න ඕන..
අපි ටෝනි මහත්තයා වෙනුවෙන් ටෝනි මහත්තයා දීපු බෝතලේ
ගහනවා...චියර්ස්....
මෙහෙම කියන්නෙ ශ්‍යාම් ප්‍රනාන්දුගේ ප්‍රථම ටෙලි නිර්මාණය වන සදමාලි හෙවත් ඒත් මම පණ පිටින් සදමාලි නාට්‍යයේ ජීවන්ත නැමැති චරිතයට දායක වන අනුරාධ මල්ලවආරච්චිය. වේදිකාවේ හොද පරිචයක් ලබා ඇති අනුරාධ විවිධ චරිත රංගයන්ට ප්‍රවේශ විය හැකි අපූරු රංග ශිල්පියෙකි. මේ හමුව ඔහු සමගයි.
අනුරාධ මල්ලවආරච්චි කොහොමද කලා ක්ෂේත්රයේ අය කතා කරන්නෙ??
අනුරාධ කියලා.
මේ දිනවල හමුවන්නෙ තරමක් මැර ස්වභාවයක චරිතයක් සමග නේද?
ලැබෙන එක එක විදියෙ චරිත අතර මෙය තවත් චරිතයක්.
අපි කතා කරමු ඒත් මම පණ පිටින් සදමාලි නාට්‍යයේ ඔබ අනෙක් නළු නිළියන් සමග රගපාන විදියෙ ස්වභාවය ගැන. හරිම සජීවි බවක් ගෙනදෙන්නෙ? මොකක්ද මෙහි රහස?
මෙම නාට්‍යය රචනා කළේ නලීන් ලුසේනා. අධ්‍යක්ෂණය කරන්නෙ ශ්‍යාම් ප්‍රනාන්දු, ඒ දෙදෙනාව මම දීර්ඝ කාලයක් තිස්සේ හදුනනවා.. ඒ හැර මෙහි රගපාන සම්පත් ජයවීර. තිලක්ෂණී ඇතුළු පිරිස හැමෝම ගත්තාම අපි කාලයක් තිස්සේ වේදිකාවේ එකට වැඩ කර හොද අවබෝධයක් සහ හදුනාගැනීමක් ඇති අය. විශේෂත්වයක් මේ නාට්‍යයේ දකිනවා නම්, ඒකට හේතුව අපි රගපෑමට අමතරව කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමයි. නිර්මාණයේ ඇති නිර්මාණාත්මක බව එක්ක, මූල්‍ය ලාභ පසෙකළා, සීමා සහිත තත්වයන් යටතේ වූවත් අපි ඒ සියල්ල කළමනාකරණය කරගෙන සකසුරුවමින් කළ වැඩක්.
ඔබ රගපාන්නෙ ඩීල් කාරයෙක් නැත්නම් එක එක විදියෙ ගේම් ගහන කෙනෙක් විදියට..මොකද හිතෙන්නෙ?
ඔහු බොහෝ දේ ගැන ඕනෑවට වඩා නොසිතා ඒ මොහොත ගැන හිතලා කටයුතු කරමින් ඉදිරියට යන කෙනෙක්. මුදල් ඉපයීම තමයි ඔහුගේ අරමුණ. එහෙම හිතා ගෙන යද්දී ජීවිතයේ ආදරය වගේ දේ සොයන්න අවශ්‍ය වෙනවා. ජීවන්ත නමැති ඒ චරිතය ගොඩ නැගෙන්නෙ ඒ විදියට. අවශ්‍ය තැනට අවශ්‍ය විදියට හැඩ ගැහිච්ච මිනිහෙක්. ඉදිරියට එයාගේ වෙනස්වීම දැක ගන්න පුළුවන් වේවි.
මේ චරිතයෙන් බැහැරව සැබෑ ජීවිතය ගැන කතා කරමු, කවුද මේ අනුරාධ? මෙතෙක් ආ ගමන ගැන විස්තර කිරීමක් කරමු?
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ ගාල්ලෙ විද්‍යාලෝක විද්‍යාලයෙන්. . ඒ දිනවල එක්තරා විදියක අහම්බයකින් ශිරාන් සෙනෙවිරත්නගෙ කෙටි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වන විට නාට්‍ය ගැන කැමැත්තක් හෝ රංගනය ගැන කැමැත්තක් තිබුණෙත් නෑ. ඒ කෙටි නාට්‍යයෙන් පසුව පොඩි උනන්දුවක් ඇති වුණා. එයින් පසුව මගේ මිත්‍රයකු වන චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගෙ නාට්‍යයක රගපෑමට කොළඹ ආවා. චාමික හත්ලහවත්තගෙ හරි අපූරු දවසක් නාට්‍යයේ රගපෑමත් සමග තමයි රංගනය සහ නාට්‍යය ගැන හැදෑරීමේ උනන්දුව වැඩි වුණේ. තවමත් ඒ ගැන හදාරමින්, මේ කටයුතු කරගෙන යනවා.
උපාධිය වෙනුවෙන් ඉගෙන ගත්තෙ?
උපාධිය ලැබුවෙ සෞන්දර්්‍යය කළා විශ්ව විද්‍යාලයෙන්.
පවුලෙ විස්තර ගැන කොහොමද සදහන් කරන්නෙ?
පවුලෙ අපේ අම්මා විතරයි දැන් අපට ඉන්නෙ. තාත්තා ජීවතුන් අතර නැහැ. මා ඇතුළුව සහෝදර සහෝදරියන් පස් දෙනයි. ඒ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මුල් කාලයේදී ගෙදරින් මට මේ කලා කටයුතුවලට යනවට කිසිදු සහයෝගයක් තිබුණෙ නැහැ. හැබැයි දැන් නම් එයාලට සතුටුයි මම මේ ක්ෂේත්රයේ සිටිම ගැන.
අනුරාධගෙ වෘත්තිය?
උපාධිය ලබා ගත්තට පස්සෙ විශ්වවිද්‍යාල කීපයක බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය ලබා දුන්නා. නමුත් විශ්වවිද්‍යාල ඇතුළෙ ඇති අධ්‍යාපන ක්රමයේ ඇති අදූරදර්ශි බව එහි ඇතුළත ශිෂ්‍යයා වෙනුවෙන් විෂයයන් ගොඩ නැගී නැති එක ගැන නිසි බරක් ලබා නොදීම යන මට දැණුන කාරණා මත ආචාර්යවරයකු ලෙස උගන්වන්න යන්නෙ නැහැ කියලා මම තීරණය කළා. ළමයකුට සේවයක් වන විදියට ක්‍රමවේදයක් හදලා නැත්නම් එය තේරුමක් නැති වැඩක්. දැන් මම වෘත්තීය වශයෙන්ම රංගන ශිල්පියකු ලෙස කටයුතු කරනවා.
ඔබට ප්‍රේමාන්විත පෙනුම වගේම දුෂ්ටයාගේ පෙනුම මෙන්ම වෙනත් ඕනෑම චරිතයකට ගැළපෙන පෙනුමක් තියෙන්නෙ. ඔබ කොහොමද හරියටම ඒ ගැන කියන්නෙ? ඒක චරිත රංගනයේදී වාසියක්ද?
ඒක මම හිතන්නෙ මෙහෙමයි, රංගන ශිල්පියකු ගත්තොත් පවතින ස්වාභවයක් තියෙනවා. ඒ අනුව ඔහුගෙ පෙනුම ඉදිරිපත් කරන්නෙ චරිතයට අදාලවයි. පැහැදිලිවම ඒ පෙනුම වාසියක්. මගේ උත්සාහය චරිතයට අදාලව රංගනයේ යෙදීමයි. ඒ චරිත වලට අදාලව වෙනස් වෙමින් සිටීම ශක්‍යතාවයක් කියලයි මම හිතන්නෙ. චරිත වලදී එකම පෙනුමකින් දුටුවොත් මම අසාර්ථක වේවි.
ඔබට තිබෙන්නෙ බොලිවුඩ්, වගේම කොලිවුඩ් සහ හොලිවුඩ් පෙනුමක් කියලයි සමහරු කියන්නෙ? මොකද හිතෙන්නෙ? ඒ විදිහට දකින ඔබ සැබෑ ජීවිතයේ කවුද?
මම අනුරාධ නමැති සාමාන්‍ය මිනිසෙක්. ඉතින් ඇත්තටම ගත්තොත් සංකීර්ණ නොවූ, අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක්. අනවශ්‍ය පහසුකම් හොයන කෙනෙක් නෙවෙයි. මගේ සීමාවඇතුලේ පහසුව හදාගෙන ජීවත්වන කෙනෙක්. කිසිවකු සමග තරහක් නැහැ. ඒ වගේම වෛරයකුත් නැහැ. මම කරමින් සිටින දේ එක්ක සතුටින් සිටින කෙනෙක්. පසුතැවෙන්න තරම් දේ ඒ ජීවිතය ඇතුළෙ නැහැ. මම සතුටින් කරදරයක් කර නොගෙන මේ රංග කාර්යය කරමින් සිටිනවා.
ඒ ජීවිතයේදී ප්රේමාන්විතයෙක්ද?
ප්‍රේමය කියන්නෙ ඇතිවෙමින්, නැති වෙමින් පවතින ස්වභාවයන් තියෙන්නෙ.
ප්‍රේමය දකින්නේ මොනවිදිහටද?
ප්‍රේමයට අර්ථකතන දෙන්න මට අමාරුයි. ජීවිතයම ගොඩනැගෙන්නෙ ප්‍රේමය ආදරය මතයි. සමහර වෙලාවට අපි ජීවත් වෙන්නෙම ප්‍රේමය වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් මනුස්සයා කියන කොටසින් අපට ඈත් වෙන්න වෙනවානෙ. එහෙම නොවන්නෙ ප්‍රේමය තමයි. ආදරය ප්‍රේමය නිසාම තමයි අපි හැමෝම ජීවත් වන්නෙ. ආදරය ලබන්න ආදරය කරන්න ඉතාම කැමති කෙනෙක් මම.
රෝමාන්තික ප්‍රේමවන්තයෙක් ද?
ප්‍රේමය කියන්නෙම කොහොමටත් රෝමාන්තිකයි.
මේ රංගන වෘත්තිය ද ඔබට ගැලපෙන්නෙ? ඒ රංගනයෙන් තවම එළියට දාන්න බැරි වූ දේ තියෙනවද?
එහෙමම කියන්න විශේෂ දේ නැහැ. හැබැයි විශේෂ දෙයක් ලැබුණොත් කරන්න උත්සාහ ගන්නවා. මම හිතන්නෙ මෙම වෘත්තිය තෝරාගෙන තිබෙන්නෙම මේකට මම විශේෂයි කියලා හිතන නිසා වෙන්නැති. වෙනත් විෂයයන් පසුපස හඹා නොගොස් මේ රංගන කාර්යය හරියට කරන්න උත්සාහ ගන්නවා.
ටෙලි නිර්මාණ දිවියේදී පළමුවෙන් රංගනයට දායක වූ නාට්‍යය මොකක් ද?
ලිලන්ත කුමාරසිරිගෙ ඉදුවරී නාට්‍යයේ. ඉන්පසුව ලිලන්ත අය්යාගෙම තවත් ටෙලි නාට්‍යයක රගපාලා කාලයක් රගනොපා සිටියෙ ඒ අංශය ගැන හදාරන්න ආ නිසයි. ටෙලි නිර්මාණ වලින් සෑහෙන කාලයක් ඉවත්ව සිටියට වේදිකාවේ නිර්මාණ වලට දායක වුණා. වේදිකාවෙදි සීමා වුණේ රංගන විෂය විතරක්ම නෙවෙයි.
ඒ හැර වෙන මොන අංශ වලටද?
වේදිකා පසුතල නිර්මාණ, ඇදුම් නිර්මාණ, වේදිකා පරිපාලනය ඇතුළු රංගාලෝක කරණය දක්වා සෑම අංශයකින්ම කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම රංගාලෝකකරණයට මම හරිම කැමතියි. වැඩි අවධානයක් ඒ වෙනුවෙන් පසුගිය කාලයේ වැය කළා.
වේදිකාවට අත්‍යාවශ්‍ය චරිතයක්්?
වේදිකා නාට්‍යය කරනවා කියන තැන ඉන්නෙ කිව්වොත් හරි. ඒ හා සමගාමීව ඇති සියලු දේට සම්බන්ධ වන කෙනෙක්.
මේ දිනවල වේදිකාවෙ ඔබ දැක ගන්න පුළුවන් නිර්මාණ?
රාජිත දිසානායකගෙ 2019 ජූලි මාසෙ දවසක්, වීරයා මැරිලා නාට්‍යයෙ නව නිෂ්පාදනය සහ ප්‍රියංකර රත්නායකගෙ රතු වෙස් මුහුණු නිර්මාණ වලට මේ දිනවල ප්‍රධානව දායක වෙනවා.
ඇයි වේදිකාවට මෙච්චර ලෝභ? කැමති?
ලෝභ කරන්න හේතුව මම සම්බන්ධ වූ බොහෝ දේ නිසයි. ජීවිතයේ මට වෙනසක් වෙච්ච තැන සහ විවෘතව දැනුමක් විදියට පෙනෙන්න ගත්ත තැන තමයි වේදිකාව. ඒ කියවීම තුළින් තමයි මට ජීවිතේ හමුවුණේ කියලත් වෙලාවකට මට හිතෙනවා. ජිවිතේ අරුත හමුවුණේ ඒ නිසා කියලත් හිතෙනවා.
සඳුන් ගමගේ