ප්‍රේමය ආදරය කියන්නෙත් විඳිය යුතුම දෙයක්. ඒ විදිහට ප්‍රේමය ආදරය විඳින වයසකනෙ ඉන්නේ
විකාශය කෙරෙන සුදත් රෝහණයන්ගේ ‘මාණික්කාවත’ ටෙලි මාලාවේ මදුහාමි ඇයයි. ඇය ඒ චරිතයට මධුරසයක් මවන්නීය. ඒ රසය මදුහාමිට ලබා දුන් ඇය කවුද? රූපවාහිනී නිවේදිකාවක මෙන්ම රංගන ශිල්පිනියක වන ඇය අරුණි මෙන්ඩිස් ය. මේ රසබර කතාබහ ඇය එක්කයි.
අරුණි තවත් නම් තියෙනවා ද?
“සම්පූර්ණ නම අරුණි ශිවන්ති මෙන්ඩිස්.”
ශිවන්ති කියලා කවුරුවත් කතා කරන්නේ නැද්ද?
“ඉස්කෝලේ ගිය කාලයේ ඉඳලාම එච්චර ඒ නම භාවිත වුණේ නැහැ. ඒ නම භාවිත කරන්නම ඕනෑ කියලා විශේෂ හේතුවක් තිබුණෙත් නැහැ. ඉස්කෝලෙ කාලයේ ඉඳලා පාවිච්චි වුණේ අරුණි මෙන්ඩිස් කියලා.”
කොහෙද පාසල් ගියේ?
“මීගමුව නිවිස්ටඩ් බාලිකා විද්‍යාලයට.”
ගම මීගමුව ද?
“ඔව්, මීගමුව.”
මීගමුවෙන් කලාවට ආ කෙල්ලෙක්?
“ඔව්.. ඔව්...”
මොකද හිතෙන්නේ මීගමුව ගැන?
“මට සතුටුයි මීගමුවේ උපන්න එක ගැන. සංස්කෘතිය පැත්තෙන් ගත්තත් සෑම ජාතියකම විවිධ ආගම්වලට අයත් මිනිස්සු ඉන්නේ. කෝවිල, පන්සල, පල්ලිය, දේවාල ඔය ඔක්කෝම තියෙනවා. පාසල් වුණත් එහෙමයි. විවිධ ආගම්වලට අයත් අය ඉන්නවා. අපි ඔක්කෝම එකට ඉගෙන ගත්තේ. ඒ මිනිස් බැඳීම හරි සුන්දරයි. කොළඹට දුර බැහැර ප්‍රදේශයකුත් නෙවෙයිනේ. සියලු පහසුකම් තියෙන නගරයක්නේ. සංස්කෘතික වශයෙනුත් අංගසම්පූර්ණ නගරයක්. ඒ නිසා සතුටුයි.”
මීගමුව යන නම හැදිච්ච විදිහ ගැන අහලා තියෙනවා ද?
“අහලා තියෙනවා.”
ඉතින් කියමුකෝ බලන්න මීගමුවට නම හැදුණු විදිහ කොහොම ද කියලා?
“ඒ කාලයේදී විහාරමහා දේවියගේ දොළදුක වෙනුවෙන් මී වදයක් ඕනෑ වුණාලු. ඉතින් ඒ ගැන අඬ බෙරකරුවකු ඒක ප්‍රකාශය කරලා තියෙනවා. රටේ සෑම තැනකටම ඒ විදිහට ඒ පණිවුඩය ගිහින්. කොහොම හරි මීගමුව ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ඔරුවක විශාල මී වදයක් තිබිලා තියෙනවා. ඒක විශාල මී වදයක් වූ නිසා රජවාසලට යවලා. මී වදය දැකපු හැටියේ විහාරමහා දේවිය ඇතුළු පිරිසට ඉබේම කියැවිලා තියෙන්නේ. මේක නම් මී ගොමුවක් කියලයි. ඒක තමයි පසුව ව්‍යවහාර වෙලා තියෙන්නේ මීගොමුව කියලා. ඉන් පසු කාලයක කට වචනයේ පහසුවට ‘මීගමුව’ වෙලා. අදටත් මීගමුව බෞද්ධ මන්දිරයේ ප්‍රධාන දොරටුවේ තියෙන්නේ මීගොමුව කියලයි.”
මී පැණි පිරුණු නගරයක උපන්න අරුණිගෙ පවුලේ විස්තර මොන වගේ ද?
“මම කුඩා කාලයේ ඉඳලාම හැදී වැඩුණේ මගේ තාත්තගෙ අක්කයි එයාගෙ මහත්තයා ළඟයි. ඒ කියන්නේ නැන්දයි මාමයි ළඟ. මගේ පවුලෙ අම්මයි තාත්තයි මගේ මල්ලියි පුංචි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා. මල්ලි ජීවතුන් අතර නැහැ. තාත්තාත් මාමාත් ජීවතුන් අතර නැහැ. දැන් ඉතින් මගේ අම්මම්මා (නැන්දා) සහ අම්මයි, නංගිලා දෙන්නයි.”
නැටුම් ගුරුවරියක වීම නේද ඒ කාලයේ අරුණිට තිබුණ අරමුණ?
“මගේ ආසාව වුණේ නැටුම් ගුරුවරියක වීම තමයි. උසස් අධ්‍යාපන කටයුතු පවා අරමුණු කරගත්තේ ඒ වෙනුවෙන්. ඒත් උසස් පෙළ ඉවර වෙනවත් එක්කම කලාවට සම්බන්ධ වෙන්න ලැබුණා. ගුරුවරියක වීම ඒ එක්කම මගහැරී ගියා.”
අද වෘත්තියෙන් මොනවා ද කරන්නේ?
“වෘත්තියෙන් නිදහස් කලාකාරිනියක් කිව්වොත් හරි. ජාතික ලොතරැයි මණ්ඩලයේ නිත්‍ය නිවේදිකාවක ලෙස වසර 12ක් තිස්සේ කටයුතු කරනවා. ඊට අමතරව නිදහස් නිවේදිකාවක ලෙසත් වැඩ කරනවා. ඒ අතරේ තමයි නිදහස් රංගන ශිල්පිනියක ලෙසත් කටයුතු කරන්නේ. මගේ මාමාගේ යාළුවකු වූ සමීප මිත්‍රයෙක් වූ ගාමිණී ජයසේකර මහතා නිසා එදා මට සුදත් රෝහණ මහතා හඳුනා ගන්න ලැබුණා. ගාමිණී අංකල් අද ජීවතුන් අතර නැහැ. ඒ වෙනකොට තමයි සුදත් රෝහණ මහතා එයාගේ ස්වයංජාත නාට්‍යයට සූදානම් වෙමින් සිටියේ. වාසනාවකට මට එතුමාගේ ස්වයංජාත නාට්‍යයේ චරිතයක් ලැබුණා. ඒ චරිතයේ නම මදුරාවතී.”
ඒ විදිහට මදුරාවතී වූ අරුණි අද සුදත් රෝහණයන්ගේම මාණික්කාවතේ මදුහාමි වෙලා. අපුරු සිදුවීමක් නේද? ගමත් මීගමුවේ. මදුරාවතී, මදුහාමි, මාණික්කාවත, මීගමුව?
“ඒක ඇත්තටම අහම්බයක්. ම යන්න මට ලකී වෙලා. මම ඉතින් හැල්මේ දුව දුව චරිත රඟපාන කෙනෙකුත් නෙවෙයි. ඉඩ ලැබෙන, අවස්ථා ලැබෙන විදිහට දායක වෙනවා.”
මදුහාමිගේ චරිතයට කලින් අරුණි ගැන ප්‍රේක්‍ෂකයින් වඩා කතා කළේ?
“දෙවැනි ඉනිමේ නිලූ නිසා. මේ දිනවල දෙවැනි ඉනිමේ නිලූ පේන්න නැතත් වැඩි දෙනෙක් ඒ ගැන කතා වෙනවා.”
මදුහාමිගේ විදිහ ගැන කියමු?
“අතිශය සාමාන්‍ය ග්‍රාමීය ලක්‍ෂණ වැඩි චරිතයක්. ගමේ කිව්ව හැටියෙ බොහෝ විට හිතෙන්නේ ළඳ බොළඳ චරිතයක් කියලානෙ. ඒත් මදුහාමිගේ තරුණ කාලයේදී එහෙම වුණත් වයසට යද්දි ඇය වෙනස්. ඉදිරියේදී ඒ විදිහ දැක ගන්න පුළුවනි. ජීවිතේ හම්බ වෙන අත්දැකීම් එක්ක මිනිස්සු පරිනත වෙනවනේ. මේ පිටපත ඔස්සේ එය හරි අපූරුවට ප්‍රකාශ වෙනවා.”
ඒ මදුහාමිගේ චරිතයනේ. සැබෑ ජීවිතේ අරුණි?
“මාත් ජීවිතය දිහා බොහොම විවෘතව බලන කෙනෙක්. ඕනෑම කෙනකුගේ නිදහසට ඉහටත් උඩින් ගරු කරන කෙනෙක් මම. මාත් බොහෝම නිදහස් මානසිකත්වයකින් ජීවත් වන කෙනෙක්. මම හිතන්නෙ ජීවත් වීම යනු ගෙවී ගිය අතීතයවත් නොදුටු අනාගතයවත් නෙවෙයි. ජීවත් වන ඒ මොහොතයි. ඒ නිසා ඒ ගත වන මොහොතේ කාටවත් කරදයක් නැතුව කාටවත් කරදරයක් නොකර සතුටින් ජීවත් වීම අරමුණයි.”
ඒ විදිහට ගෙවන ජීවිතේදී අරුණිගෙ ප්‍රේමය ආදරය කොතැන ද තියෙන්නේ?
“ප්‍රේමය ආදරය කියන්නෙත් විඳිය යුතුම දෙයක්. ඒ විදිහට ප්‍රේමය ආදරය විඳින වයසකනෙ ඉන්නේ. ඒ නිසා බොහොම ආදරණීයව එය විඳින බව කියන්න පුළුවනි.”
ප්‍රේමයෙන් එහාට ගිය විවාහය කොහොම වේවි ද?
“නිසි වයසේදි ඒවත් වෙන්න එපායැ. ඒවත් සිදුවිය යුතු විදිහට සිද්ධ වේවි.”
සඳුන් ගමගේ