පැය අටේ රැකියාවක් කරන්න මගේ සූදානමක් නැහැ
මොකක්ද? මොකක්ද මිනිහෝ කියන්නේ ? මොන ගනුදෙනුව ද? මෙම දෙබස් ඇතුළත්වන්නේ ‘සිනේමා’ චිත්‍රපටයේ ‘ජාලිය’ ගේ චරිතයටය. වෛද්‍ය කපිල සූරියආරච්චි කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය කළ චම්පික ජයනන්දන නිෂ්පාදනය කළ සිනේමා චිත්‍රපටයේ මෙම ජාලිය නමැති චරිතයට දායක වන්නේ මේඝ සූරියආරච්චිය. ශ්‍රී ලාංකීය සිනමාවට සුළඟක් සේ හමා ආ මේ මේඝ කවුද?
මේඝ කිව්වාම සුළඟක් වගේ ද ? නැත්නම් මොන විදිය ද?
සුළඟත් එක එක විදි තියෙනවනේ. මාත් එක – එක වෙලාවට එක එක විදියයි.
සාමාන්‍යයෙන් මොන විදිය ද?
කරන දෙයක් උපරිමයෙන් කරන්න උත්සාහ ගන්න කෙනෙක්.
කවුද මේ මේඝ?
මගේ ජීවිතේ මම ආස කරන දේ උපරිමයෙන් කරන්න උත්සාහ ගන්න කෙනෙක් වගේම අභියෝගවලට මුහුණ දෙමින් අභියෝග ජයගන්න උත්සාහ ගන්න කෙනෙක්.
මේඝ සිනේමා චිත්‍රපටයේ රඟපෑමට ආවේ තාත්තා නිසාද? නැතිනම් ඔබගේම කැමැත්ත අනුව ආ ගමනක් ද?
කුඩා කාලයේ ඉඳලාම හැදී වැඩුණු පරිසරය එක්ක ආ ගමනක්. තාත්තා ගෙදර ඒ පරිසරය හදලා තිබුණේ. මම රඟපාන්න එන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙවෙයි. ඒත් සිනමාවට ගීතයට සහ කලාවේ අනෙකුත් අංශවලට ආස කළ කෙනෙක්. පොඩි කාලයේ ඉඳලාම මට දැන්වීම්වලට පෙනී සිටීමට එහෙම අවස්ථාව ලැබුණා. නිරූපනය සහ රංගනයෙන් ඒවාට දායක වුණා. නමුත් කාලයත් එක්ක සිනමාවට පිවිසීමේ වුවමනාව තිබුණේ නැහැ. අධ්‍යාපනය හදාරන අතරේ කලා අංශයේ පෝෂණය සහ පදනම ලැබූ බව කියන්න පුළුවනි. ඒ නිසා මේක එකවර ආ ගමනක් නෙවෙයි.
ඉගෙන ගත්තේ.
කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්.
විශේෂ අරමුණක් තිබුණ ද?
ඉගෙනීම වගේම ක්‍රීඩා අංශයේ සහ කලා අංශයේ මෙන්ම විවිධ බාහිර දේට සම්බන්ධව කටයුතු කළා. ගෙදරින් අපිව උනන්දු කළා. ඒ කාලයේ ඉඳලාම මම මාව හොයාගෙන ගිය කෙනෙක්. තවමත් මම මාව හොයමින් සිටින කෙනෙක්.
සිනමා රංගනයේ ප්‍රථම අත්දැකීම ද මේ ?
කුඩාම කාලයේ දී සුළු චරිතයක් රඟපාලා තියෙනවා. ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අත්දැකීම සිනේමා චිත්‍රපටයයි.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔබගේ තාත්තා. ඔහු යටතේ රඟපෑම පහසු වුණා ද නැත්නම් සංකීර්ණ වුණා ද?
නිර්මාණයක රඟපෑමේදී එය අධ්‍යක්ෂණය කරන කෙනා තාත්තා හෝ වෙනත් කෙනෙක් කියන එක වැදගත් නෑ. එතැන දී දැන හැඳිනීම් එක්ක තියෙන සන්නිවේදනය පහසුවක් වෙනවා. එතැන දී මගේ කාර්යය වුණේ අධ්යක්ෂවරයාට අවශ්‍ය දේ රංගනයෙන් ලබා දීමට උපරිමයෙන් කැපවීමටයි. ශ්‍යාම් ප්‍රනාන්දු බිමල් ජයකොඩි අයියලා වැනි ප්රවීනයින් රැසක් එක්ක රඟපාන්න ලැබීමට හොඳ අත්දැකීමක්. ඒක මගේ ජීවිතේටම ලොකු පිටුවහලක් වුණා.
මෙහි ඔබගේ පෙම්වතිය නයනතාරා. ඇය ටෙලි තිරයේ නිරන්තරයෙන් ජනප්‍රිය ලේබලයේ සම්මානය ලබාගත් තාරකාවක්. ඇය සමඟ රඟපෑම ඔබට ගෙන දුන්නේ මොන වගේ වෙනසක් ද?
ඒ කාලයේ ඉඳලාම හොඳ සහෝදරාත්මකව ඇයගෙන් සහයෝගයත් ලැබූ බව කියන්න පුළුවනි. චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී ඇය බොහෝ සෙයින් මට උදවු කළා. මගේ චරිතය එළියට ගන්න ඇය රඟපාන චරිතය මට උදවු වූ බව කියන්න පුළුවනි.
නයනතාරා එක්ක රඟපෑම පහසුවක් වුණා ද? නැත්නම් සංකීර්ණ වුණා ද?
ඇය සමඟ රඟපෑම පහසුවක් මිස සංකීර්ණ වුණේ නැහැ. මුළු සිනමා නිර්මාණයේම සිටි ප්රවීනයින් හැමෝගෙන්ම ලැබුණු සහයෝගය ඉතා ඉහළයි.
සිනේමා, චිත්‍රපටයේ ජාලිය තිළිණිගේ චරිතයේ දුටු විශේෂ අවස්ථාව මොකක්ද?
මම හිතන්නේ ඒක මම නොකියා ඉන්නම්. ප්‍රේක්ෂකයන්ට එය බාර කිරීම වැදගත්. මොකද ඔබ කතාව කිව්වොත් මේ චිත්‍රපටයේ තියෙන කුතුහලය නැතුව යනවා. කුතුහලයෙන් පිරි අවස්ථා රැසක් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවනි.
අද මේඝ සහ නයනතාරා හොඳ මිතුරන් ද?
ඔව් ඇත්තෙන්ම ඔව්, චිත්‍රපටයේ රූගත කිරීම් කාලයේ සිට ඇති වූ ඒ මිත්රත්තවය අද තවත් වර්ධනය වෙලා කිව්වොත් හරි.
මේඝ මේ දවස්වල මොනව ද කරන්නේ ?
පාසල් අධ්‍යාපනයෙන් පසුව මම හැදෑරුවේ මෘදුකාංග ඉංජිනේරු විෂයය. නමුත් සිනමාවට යොමු වූ පසුව කැළණි සරසරවියේ සිට රූපවාහිනි හා සිනමාව පිළිබඳ විශේෂ උපාධියක් වෙනුවෙන් හදාරනවා.
අද මම එහි තුන්වැනි වසරේ සිසුවෙක්. පැය අටේ රැකියාවක් කරන්න මගේ සූදානමක් නැහැ. ඒ වගේම රංගනය වෘත්තියක් ලෙස නොකළත් රඟපාන චරිතය සහ දායක වන නිර්මාණයට උපරිම දායකත්වයක් ලබා දීම මගේ අරමුණයි.
තාත්තා කළා අංශයේ නිර්මාණාත්මක දේ කළත්, ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඉතින් ඔබට වෛද්‍යවරයකු වීමේ අරමුණු තිබුණේ නැද්ද?
අපේ ගෙදරින් ඒ බලපෑමක් තිබුණේ නැහැ. මම ජීව විද්‍යාවට ආසා කළා. උසස් පෙළටත් ඒ විෂය තෝරා ගත්තේ. කලාවට හිත ගියේ පවුලෙන්ම ආ පසුබිම නිසයි.
ජාලිය මොන විදියේ චරිතයක් ද?
උසස් පෙළින් පසුව එයා ජීවිතේ සොයාගෙන යන කෙනෙක්. ඒ යන ගමනේ දී තමයි එයාගේ චරිතය සිනමා කෘතියක් නිර්මාණය වන්නේ.
සැබෑ ජීවිතයේ දී මේඝ හා ජාලිය සැසදුවොත්?
ජාලියගේ චරිතය රඟපාද්දී මම හිටියෙත් උසස් පෙළ හමාර කළ කාලයේ. ඒ නිසා ඒ චරිතය මට හොඳින් දැනෙන්නට ඒකත් එක් හේතුවක් වුණා.
අද නළු - නිළියන් බහුලයි. ඒ ගැන හිතන්නේ කොහොම ද?
නමුත් කරන දේ වෘත්තීය මට්ටමින් කරනවා නම් කොතරම් පිරිසක් හිටියත් එය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමා තමාට අනුකූලව තමාගේ උපරිමය කිරීමයි වැදගත් වෙන්නේ.
ඇයි මේඝ ටෙලි නාට්‍යවල නැත්තේ?
මට බොහෝ ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් කාලය කළමනාකරණය කර ගැනීමේ වුවමනාව උනන්දුව නිසා ඒවාට දායක වුණේ නැහැ. නමුත් ජයන්ත චන්ද්‍රසිරි මහතා වසර පහළොවකට විතර පසුව නිර්මාණය කළ අලුත්ම ටෙලි නිර්මාණයේ රඟපෑවා. එහි රඟපෑමට ලැබීම ලොකු අවස්ථාවක්.
මේඝ ආදරය ගැන කතා කරමු?
ආදරය යනු සෑම සත්ත්වයකු හට යම් යම් ප්‍රමාණයකට හෝ තිබිය යුතු දෙයක්.
ආදරයේදී ඔබ ප්‍රේමණීය ද? ආත්මාර්ථකාමී ද? නැතිනම් මොන වගේද?
මම හිතන්නේ ඒක මට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනෙක් පාර්ශවයට දැනෙන විදිය අනුව එය තීරණය වේවි. කොහොම වුණත් මම ආදරය දකින්නේ සෑම මනුෂ්‍යයකුම අත්විඳිය යුතු දෙයක්. ඒ ඒ පුද්ගලයා අනුව එය ප්‍රකාශ කරන විදිය වෙනස්.
සිනේමා නරඹා ඔබට දැනිච්ච විදිය මොන වගේ ද?
සිනේමා චිත්‍රපටයේ කතා කරන්නේ සිනමාවේ නිරත වීමට ආසා කරන උත්සාහ කරන මිනිසුන් පිළිබඳ කතාවක්. සිනමාවට සමීප ජීවිතයට සමීප මානුෂීයව සහ ආත්මීය වශයෙන් ඒ සමීප වශයෙන් ඒ සමීප බව මට වගේම ප්රේක්ෂකයන්ටත් දැනේවී.
සිනේමා චිත්‍රපටයේ තිළිණි වූ නයනතාරාගේ ඔබ දකින හොඳම දේ මොකක්ද
ඇයගේ කැපවීම. තමා නියැලී සිටින විෂයයට ඇය දක්වන උනන්දුව කැපවීම ඉතා ඉහළයි. ඒ නිසාම ඇය එයින් දිනෙන් දින ඔප මට්ටම් වෙන චරිතයක්.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ