පබෝදා සංදීපනී කියන රංගන ශිල්පිනිය රඟපාන්නේ කැමරාව ඉදිරියේ දී පමණයි
පබෝදා සන්දීපනි ආදරණීය මෑණියන් සමග පුංචි අවදියේ පටන්ම රංගනයට සම්බන්ධ වූ ඇය අද වන විට හැඩකාර දඟකාර කාගේත් ආදරයට පාත්‍ර වූ කතා දක්ෂතා රැසකින් පරිපූර්ණ චරිතාංග නිළියකි ... කාගේත් නෙත් වශී කරවන සොඳුරු ඇයව අපි මෙවර ෆැෂන් පිටුව සරසන්නට ආරාධනා කළෙමු.
මොනවද මේ දිනවල කෙරෙන්නේ?
තාත්ති ළඟ ඉඳලා( ප්‍රංශයේ )ලංකාවට ඇවිත් තාම දින කිහිපයයි. පිටරටක මාස කිහිපයක්ම හිටපු නිසා ලංකාවේ කලා කටයුතු බාරගත්තේ නැහැ. දැන් තමයි ඉතින් පොඞ්ඩ පොඞ්ඩ කලා කටයුතු භාර අරගන්නෙ.
පුංචි කාලේ ඉඳලම ප්‍රංශයේයි, ලංකාවේයි හිටපු කෙනෙක් විදිහට විලාසිතා කිරීමේදී ඔබ සැලකිලිමත් වුණු කරුණු මොනවාද?
ලංකාවෙනම් මම ඇඳුම් තෝරා ගන්නේ පහසුවයි සරල බවයි සහ සහභාගි වන තැනට ගැළපෙන විදියට. අපේ රට අධික උෂ්ණ රටක් නිසා ගොඩක් ගොරෝසු බර ඇඳුම් මොන තරම් ලස්සන වුණත් විලාසිතා විදියට තෝරා ගන්නේ නැහැ. නමුත් ප්‍රංශයේදි වසරේ වැඩි කාලයක් සීතල නිසා බොහෝ වෙලාවට මුළු ශරීරයම වැසෙන විදිහට විලාසිතා කරන්නේ .ඒ කොහොම විලාසිතා කළත් මම විලාසිතා තෝරා ගන්නේ ශරීරයට පහසු නම් පමණයි .එහෙම නැතුව මිල අධිකම ඇඳුම් අඳින්න ඕනේ, බ්රෑන්ඩඞ් ඇඳුම් අඳින්න ඕනේ කියන සිතුවිල්ලක් නම් මගේ නැහැ.
රංගන ශිල්පිනියක් විදියට සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස් විදියට විලාසිතා තෝරා ගන්න පෙළඹෙනවා ද?
කවදාවත්ම නැහැ .පබෝදා සංදීපනී කියන රංගන ශිල්පිනිය රඟපාන්නේ කැමරාව ඉදිරියේ දී පමණයි. සාමාන්‍ය ජීවිතයේදී මම සාමාන්‍ය කෙනෙක්,. මවක්, බිරිඳක්, දියණියක් .එම නිසා සරලව සැහැල්ලුවෙන් ඉන්න තමයි උත්සාහ කරන්නේ. මම නිළියක් කියලා මම මගේ පෞද්ගලික ජීවිතයේදීත් ඒ විදිහටම ඉන්න උත්සාහ කළොත් ඒක විහිළුවක් වෙන්න පුළුවන් ...රංගන ශිල්පිනියක් විදිහට බාරගන්න චරිතය අනුව අවශ්‍ය ඕනෑම විලාසිතාවක් මම කරනවා. ඒක මගේ වෘත්තිය .ඒ හැරෙන්න සාමාන්‍ය ජීවිතයේ දී තැනට ගැලපෙන විදිහට අඳිනවා .ඩෙනිම් ඇඳලා ටී ෂර්ට් එකක් උඩින් දාලා රබර් සෙරෙප්පු දෙකක් දානවා තරම් සරල ඇඳුමක් තවත් නැහැ .
විලාසිතා වලින් මිනිස්සු මනින්න පුළුවන් කියලා ඔබ හිතන්නේ නැද්ද ?
වර්තමාන සමාජය නම් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා ඇඳුම් වලින් තමන්ගේ ප්‍රතිරූපය වෙනස් කරගන්න. නමුත් මම හිතනවා ඇඳුම් වලින් මිනිස්සු මනින්න බැහැ, තියන ප්රතිරූප වෙනස් කරන්නත් බැහැ කියලා .
විලාසිතා තෝරා ගැනීමේදී මොන වගේ කරුණු ගැන ද ඔබ සැලකිලිමත් වෙන්නේ ?
ලොකු දේවල් නං හිතන්නේ නැහැ මාව කැත නැතුව පේනවා නම් ඕනෑම විලාසිතාවක් මම කරනවා කෑම කන එක පාලනයක් නැති නිසා නිතර ඇඟ මහත් වෙන ගතියක් තියෙනවා ඇඟ මහත කාලෙට ඇඟ වැහෙන්න අඳින්න තමයි මම ගොඩක් කැමති කෙට්ටු කාලෙදි නම් ගැළපෙන ඕනෑම විලාසිතාවක් කරන්න. කොට, දිගට,ඇහිරිලා පැලිලා කියලා නැහැ ....ඇඟට ගැලපෙනවා නම් ඕනෑම විලාසිතාවක් කරනවා.
ඔබ වඩාත්ම කැමති ඇඳුම් විලාසිතාව ?
ගවුම්, සාරි ,ඔසරි ,ඩෙනිම්, ටී ෂර්ට් ඕනෑම ඇඳුමක් අඳිනවා. කෙට්ටු දවස් වලට පොඩි පොඩි ගවුම්, ෂෝට් ඇන්දාමත් අමුතු පෙනුමක් තියෙනවා .
ඇඟට ලස්සනම පාට ?
තැඹිලි, දුඹුරු,කහ පාට ඇඳුම් ඇඟට ගොඩක් ලස්සනට පේනව කියල මට හිතෙනවා.
ජීවිතයේ ලස්සනටම සැරසුණු දවස ?
එහෙම එක දිනයක් නම් මතකයේ නැහැ.ලස්සනට අඳින හැම වෙලාවකම ”ලස්සනයි” කියන වචනය නම් මම නිතර අහනවා . ” ඔහේ” අඳින වෙලාවට ගෙදර ඉන්න ඇඳුම් පිටින් ඇවිල්ලා ද කියලත් ඇහිච්ච වෙලාවල් නම් තියෙනවා. කොහොම ඇන්දත් ඒක මගේ කැමැත්ත.
විලාසිතාවක් කියන්නේ කුමක් විදිහට ද ඔබ දකින්නේ ?
විලාසිතා කියන්නේ අපිව තවත් ලස්සන කරලා පෙන්වන්න පුළුවන් දෙයක් විදිහටයි මම විලාසිතා දකින්නේ. එහෙම නැතුව විලි වසාගන්න කරන දෙයක් ම පමණක් නොවෙයි.
විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුකරණය කරනවා ද ?
නැහැ... අනුකරණය කින් විලාසිතා කරන්න ගියොත් ඒක මොනතරම් දුරට අපට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක් .එම නිසා විලාසිතා කිරීමේදී මූලිකව ම බැලිය යුත්තේ ඇඟේ හැඩය ,හමේ පාට වගේ කරුණු .එහෙම නැතුව ඩමියක තිබූ පමණින් ,හොලිවුඞ්, බොලිවුඞ් නිළියක් ඇඳපු පමණින්, ඒ විදිහටම තමන්ට ගැලපෙයි කියලා හිතලා විලාසිතාවක් කරන්න ගියොතින් ඒක අපට සියට සීයක්ම නොගැලපෙන්න පුළුවන් එවැනි අවස්ථාවකදී ලස්සනක් ඉස්මතු නො වෙන්න පුළුවන් .එම නිසා අනුකරණයට වඩා මම හිතන්නේ අපිව කැතට පේන් නැති ඕනෑම විලාසිතාවක් අපිව ලස්සනට කරනවා කියලයි.
පුංචි කාලෙ ඉඳලම ඔබ විලාසිතා කරන්න කැමැත්තෙන් හිටිය ද ?
අපොයි ඔව්. ඉස්සර මාව දකින හැමෝම වගේ කියන්නේ ”බෝනික්කෙක්” වගේ කියලා ....ඒ තරමටම අම්මයි ,ආච්චි, පුංචි ලයි ලස්සනට අන්දනවා .ලස්සන ලස්සන ඇඳුම් මහලා මට අන්දලා එයාලා මගේ හැඩ බල බල හරියට සතුටු වෙනවා....තාත්තිගේ අම්මා ප්රංශෙය හිටපු නිසා එයත් ලස්සන ම ලස්සන ඇඳුම් මට එවනවා. සමහර විලාසිතා ලංකාවට එන්නත් කලින් ආච්චි ප්රංෙශ ඉඳලා මට එවනවා .
එහෙම බැලුවහම කොයි කාලෙදිත් මම මට ගැළපෙන විදිහට ලස්සන ම ලස්සනට විලාසිතා කරා කියලා නං හිතේ ලොකු සතුටක් තියෙනවා .
වයසත් එක්ක විලාසිතා කරන එක වෙනස් විය යුතු නැද්ද?
මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි අපි තැනට ගැළපෙන විදියට අඳින්න පුරුදු වුණු කෙනෙක් නම් වයසට යනවා කියලා අමුතුවෙන් විලාසිතා වෙනස් කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
විලාසිතාවලින් අනන්‍යතාවයක් ගොඩනඟාගත හැකි කියලා ඔබ විශ්වාස කරනවා ද ?
මා රංගන ශිල්පිනියක් ලෙසට අනන්‍යතාවයක් ගොඩනගා ගෙන තිබෙන්නේ රඟපෑමෙන් .මං ගොඩ නගාගත් ප්‍රතිරූපයක් විලාසිතාවකින් ඇති කරන්නත් නැති කරන්නත් බැහැ කියලයි මට නම් හිතෙන්නේ ....විලාසිතා කියන්නේ එකක් ...ප්‍රතිරූපය කියන්නේ තවත් එකක්...
ගැලපෙන විලාසිතාවක් කළ විට හිතට මොකක්ද දැනෙන්නේ ?
ඇත්තටම හිතට පොඩි අභිමානයක් , ආත්ම විශ්වාසයක් දැනෙනවා ගැලපෙන විදිහට ලස්සනට ඇන්දහම. ඒ හැරෙන්න ඇඳුම් ඇඳ ඇඳ අභිමානයක් ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගන්න නම් මං කොයි වේලක්වත් උත්සාහ කරන්නේ නැහැ.
අසුන්තා එදිරිසූරිය