පෑනෙන් නළලට තට්ටු කර කර මගේ සින්දුව අහගෙන හිටිය - සෝමසිරි මැදගෙදර
කලාවේ සොඳුරු ඉසව්හිදී අපට හමුවන බොහෝ කලාකාමීන් හා කතාබහේදී මතුවන අතිශය සුලභ කරුණක් නම් ඔවුන් සතුව ළමා වියේදී පටන් හද දැල්වුණු ආශාවයි. ගීත ගයන්නට, නටන්නට, වයන්නට සේම හසුවන සෑම තැනකම සිතුවම් අඳින්නට තිබූ ඒ ආශාව, උනන්දුව පසු කලෙක ලෝ ප්‍රකට නිර්මාණවේදීන් කරන්නට ඔවුනට මඟ කියූ අයුරු පිළිබඳ අසන්නට, දකින්නට, කියවන්නට ලැබෙන කතා බොහොමයකි. අද My story තුළින් එවන් කතාවක් කියවන්නට ඔබත් කැමතිද? එසේ නම් අපි අද ගායන ශිල්පී, සංගීතවේදී සෝමසිරි මැදගෙදර හමුවෙමු.
මේ වනවිට මහරගම ප්‍රදේශයේ ජීවත් වන ඔහුගේ උපන් ගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ තෙරිපැහැ නම් රමණීය පරිසරයක පිහිටි ගමයි.
"මගේ අම්මයි අප්පච්චියි දෙන්නම මේ වනවිට ජීවතුන් අතර නැහැ. ගොවිතැන් බත් කරලා තමයි එයාලා අපිව ජීවත් කළේ. අප්පච්චි මැදගෙදරගේ විද්‍යාරත්න. අම්මා මැදගෙදරගේ රංකිරි. අපේ පවුලේ සහෝදරයන් පහයි. අයියලා පස්දෙනාගේ බාලම මල්ලි තමයි මම. හරිම සුන්දර ළමා වියක් අපිට තිබුණා. අද වගේ නෙවෙයි ගමේ ජීවිතය. හරිම සරලයි. ඇළේ දොළේ, කුඹුරේ කෙළිදෙළෙන් ගත කළ අපි අම්මා අප්පච්චිගෙ වැඩවලටත් උදව් කළා. 'මඬුල්ල' ඔයේ සීතල වතුරෙන් නාලා කුඹුරු යාය මැදින් හැන්ඳෑ වෙනකොට ගෙදර එනවා. අයිස් කැට වගේ සීතල වතුර. අදටත් මම මාසෙකට සැරයක් ගමට ගිහින් එනවා. එදා තරම් සුන්දර නැතිව දියුණුවට පත්වෙලා යම් තරමකට නාගරීකරණ ලක්ෂණ තිබුණත් අදටත් මම ආදරේ ගමට." ඔහු පවසන්නේ සැබෑ ලෙසම ගමට ඇති ආදරයත් සමඟමය.
සෝමසිරි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ තෙරිපැහැ සිදුහත් මහා විද්‍යාලයෙනි. ඉන් පසු ඔහු උසස් පෙළ හදාරන්නට ගියේ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයටය.
"මම උසස් පෙළට හැදෑරුවේ විද්‍යා විෂයන්. ඒත් ඒ සඳහා මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මගේ කැමැත්ත තිබුණේ සංගීතය හදාරන්න. ඉස්සර මට මේ ආශාව නිසාම පාසලේදි ගුටි කාලත් තියෙනවා. මම අකැමතිම විෂයක් තමයි ගණිතය. මම ගණිතය වෙලාවට ඉඩක් ලැබුණු ගමන් සංගීත කාමරයට දුවනවා. ගිහින් වාඩිවෙලා සංගීතය ඉගෙන ගන්නවා. අපිට ගණිතය කළේ ඩොමින්ගෝ සර්. සර්ට අහුවුණොත් ඉවරයි. සර් දන්නවා මම ගණිතය කාලච්ඡේදය මඟහැරලා කරලා සංගීත කාමරයට තමයි යන්නේ කියලා."
සෝමසිරි මැදගෙදර යනු කුඩා කාලයේ සිටම සංගීතයට ප්‍රිය කළ අයෙකි. හේන් කුඹුරු වගාව ජීවනෝපාය කරගත් සුන්දර ගැමියන් වූ සිය මව්පියන් සමඟ එක්ව දුෂ්කරතා මැද වුවද ගත කළ ඒ ළමා වියේදී විඳි සියල්ල සමඟ කලාවට ඔහුගේ තිබූ කැමැත්ත දිනෙන් දින වැඩි වූවා මිස අඩු වූයේ නැත. වල් අලින් පවා ගැවසෙන ළඳු කැලෑ, කඳුවැටි අතරේ සැරිසැරූ ඔහු ජීවිතයේ දුෂ්කරත්වය මොනවට අත්විඳ ඇත. එදා අස්වැන්න ප්‍රවාහනය කිරීමට ඒ ප්‍රදේශයේ යොදාගැනුණේ තවලම්ය. අද ද එම තවලම් දැකිය හැකිය.
"මම උසස් පෙළ කරන්න ගියේ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්යාලයටනෙ. ගෙදර ඉඳන් යන්න කිලෝමීටර් 13ක් තිබුණා. නිල්දණ්ඩාහින්න ඉඳන් අපේ ගමට තිබුණේ එකම එක බස් එකයි. ඒකත් සතියකට දින දෙකක් තුනක් කැඩිලා. බොහෝ විට අපිට යන්න එන්න වුණේ පයින්ම තමයි. සීසන් එක සාක්කුවේ දමාගෙන පයින් එන මම ඒ දුර අඩුකර ගන්න කෙටි පාරවල් හොයාගෙන තිබුණා. කඳු හෙල් මැදින් තමයි ඒ කෙටි පාරවල් තිබුණේ. ඒත් ඒකෙන් ගමනේ දුර කිලෝමීටර් 05ක් පමණ අඩුකර ගන්න මට හැකි වුණා. කොයි තරම් දුෂ්කර කටුක සිදුවීම් වුණත් ඒ තුළ ලැබූ අත්දැකීම් ජීවිතයට විශාල පිටිවහලක් වුණා." අතීතයේ මිහිරියාව සිහි කරමින් ඔහු පවසයි.
ඔහුට කුඩා කල පටන් තිබුණේ ගායකයකු වීමේ සිහිනයයි. දන්නා කාලයේ සිටම ගායනය තම ප්‍රියතම විනෝදාංශය වූ බව ඔහු පවසයි.
"හවසට ඉස්කෝලෙ ඇරිලා ආව වෙලේ ඉඳන් මගේ වැඩේම සින්දු කියන එක. ඒකට අවශ්‍ය ආම්පන්න පවා මමම නිර්මාණය කර ගත්තා. ලවුඩ්ස්පීකර් හය හතක්ම මම හදනවා. හදලා මිදුලේ ගස්වල එල්ලනවා. හුඹස් මැටි වතුර දාලා හොඳ පදමට අනලා ලවුඩ්ස්පීකරයේ හැඩයට හදාගන්නවා. මේවා හොඳට වේලුණාම තමා ගස්වල එල්ලන්නේ. එල්ලන්න යොදාගත්තේ මදු වැල්. කැලේට ගිහින් මදුවැල් ගොඩක් කපාගෙන ඔතාගෙන අරන් එනවා. ඇවිත් ලවුඩ්ස්පීකර් එල්ලනවා. සින්දු කියන්න වේදිකාව හදාගන්නෙත් මමම තමයි. ඊට පස්සේ මම ප්‍රසංගය පටන් ගන්නවා. ප්‍රසංගයේ නිවේදකයා, ගායකයා, වාදකයා ඔක්කොම මම. පැය ගාණක් උගුර රිදෙන කල් මම ඒ ඒකපුද්ගල ප්‍රසංගය පවත්වාගෙන යනවා. ඉතින් මගේ සම වයසේ කොල්ලෝ කුරුට්ටෝ ටික එනවා මගේ ගායනය ආරම්භ වුණාම. එයාලා වේදිකාව වටේට හිටගෙන අත්පුඩි ගහනවා. ඇන්ටන් රුද්‍රිගෝ ගේ 'සිංහල ඉතිහාස පොතේ' වගේ සින්දු, බෙග් මාස්ටර්, සනත් සර් වගේ අයගේ සින්දු තමයි වැඩිපුරම මම ගායනා කළේ. කුඹුරේ ඉඳන් ඇවිත් අම්මා, අප්පච්චි දෙන්නත් තේ උගුරක් බොන ගමන් මගේ සංගීත ප්‍රසංගය බලාගෙන ඉන්නවා. කවදාවත් මට සැර වැර කළේ නෑ. සින්දු නවත්වලා පාඩම් වැඩ කරන්න කියලා බැන්නේ නැහැ. මගේ ගායනයට, සංගීතයට තියෙන උනන්දුව, ආශාව ගැන එයාලා දැනගෙන හිටියා. ඒ වගේම මගේ මේ ආශාව නිසාම එයින් ඉස්සරහට යයි කියලා එයාලා හිතන්න ඇති කියලා මට හිතෙනවා."
නිවසේදී මෙන්ම පාසලේදීත් සාහිත්‍ය සමිති සංගම් සියල්ලකම ගායකයා වූයේ සෝමසිරිය. ඔහුගේ ගායනයක් නොමැති සාහිත්‍ය සමිතියක්, උදෑසන රැස්වීමක් පාසලේ නොවීය.
"මම සංගීතය ඉගෙන ගන්න ගොඩක් කැප වුණා. මේ කැප කිරීම ආශාව ගැන මගේ දෙමව්පියන් වගේම පාසලේ මගේ සංගීත ගුරුවරයාත් දැන සිටියා. මගේ සංගීත ගුරුවරයා තමයි එම්.එම්.කේ. තිස්ස ගුරුතුමා. මට වාදනය කරන්න ඉගෙන ගන්න වයලීනයක් අවශ්‍ය වුණා. ඒ වෙලාවේ මට වයලීනයක් අරන් දෙන්න තරම් අප්පච්චිට ආර්ථික හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මගේ පාසලේ වයලීනය සංගීත ගුරුවරයා වගකීම තමා වෙත පවරාගෙන මට ලබා දුන්නා. මට මතකයි ඉස්සර මම පාසල් නිමාවෙලා වයලීනයත් අරන් ගෙදරට එන විට මඟ දිගට මුණගැහෙන හැමෝම මට විහිළු කළා. ගොඩක් වැඩිහිටියෝ එහෙම මාව දැක්ක ගමන් ආ පුතේ නිර්මාණයත් අරන් පොල් ගාන්න යනවද කියලා මගෙන් අහනවා. හරිම සුන්දරයි. ඉස්සර ඉස්කෝලෙ ඇරුණම පොත් මිටියයි වයලීනයයි අරන් මම පාර දිගේ ඇවිදගෙන ගිය හැටි තාම මතකයි. ඒ අත්දැකීම්, මඟපෙන්වීම් මගේ සංගීත ගමනට ලොකු අත්වැලක් වුණා. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තෙරුණු එකම යෞවනයා වුණු මම එම සම්මුඛ පරීක්ෂණයට යද්දි අරන් ගියෙත් අර පාසලෙන් ඉල්ලාගත් වයලීනය. ඒ සඳහා මැදිහත් වූ මගේ සංගීත ගුරුතුමා වගේම ඊට ඉඩ අවසරය ලබා දුන් විදුහල්පතිවරයාත් ඉතාම ගෞරවයෙන් මා සිහිපත් කරනවා."
1980 දී ජාතික තරුණ සේවා සභාවේ ප්‍රථම යොවුන් ගී කණ්ඩායමේ සාමාජිකයකු වූ සෝමසිරි මැදගෙදර එහි ගායක කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු සමඟ චන්ද්‍රලේඛා පෙරේරා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ධම්මිකා කරුණාරත්න, මාර්ෂල් ජනතා සහ තේජා දමයන්ති අමරසිංහ යන හයදෙනා ඊට ඇතුළත් වූහ. වාදක කණ්ඩායමේ 17 දෙනා ද සමඟ යොවුන් ගීත කණ්ඩායම සැකසුණු අතර වසර 4ක් අවසන ලලිත කලාවේදී ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ විය. එහිදී ඔවුන්ගේ ගුරුවරයා වූයේ විශාරද ෂර්ලි වෛජයන්ත ය. දිස්ත්‍රික්කයකින් එක් අයකු බැගින් තෝරාගත් එහිදී සම්මුඛ පරීක්ෂණ හතරකට මුහුණ දීමට ඔවුනට සිදුවිය. අවසන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ බටන්ගල පුහුණු මධ්‍යස්ථානයේදීය.
"මම මහා පාන්දරම තමයි වයලීනයත් අතින් අරන් බස් එකේ සම්මුඛ පරීක්ෂණයට ගියේ. පාන්දරම පිටත් වුණාට මම බටන්ගලට යනකොට හවස 3ත් පහුවෙලා. සම්මුඛ පරීක්ෂණය ඉවරයි. මම ගොඩක් කලබලෙන් ඇතුළට ගියා. ළමයි සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල දෙනකල් එළියේ ගස් යට වාඩිවෙලා ඉන්නවා. කට්ටියක් ගීත ගායනා කරනවා. කට්ටියක් වාදනය කරනවා. හරිම සුන්දර දසුනක්. ඒත් මම හරිම දුකෙන්. මොකද සම්මුඛ පරීක්ෂණය ඉවරවෙලා නිසා. මම හරිම බයෙන්, දුකෙන් ඇතුළට ගියා. යද්දි ලස්සන සුදු උස මහත්මයෙක් තබ්ලාවක් වයනවා. මම එතුමාට කතා කළා. සර්, මම තෙරිපැහැ ඉඳන් පාන්දරම ආවේ. ඒත් වෙලාවට එන්න බැරි වුණා කියලා කිව්වා. එතුමා කිව්වා හරි හරි, මේ ළමයා මෙච්චර දුරක ඉඳන් ඇවිත්.. අපි බලමු ඔයාව කියලා මට වයලීනය වාදනය කරන්න කිව්වා. මම භිම්පලාශ්රී රාගය තමයි වාදනය කළේ. ඊට පස්සේ සර් ඇහුවා මගෙන් ඔයාට ගායනා කරන්නත් පුළුවන්ද කියලා. වාදනයට වැඩිය මට මගේ ගායනය විශ්වාසයි. මම කිව්වා පුළුවන් කියලා. එහෙනම් ගායනා කරන්න කිව්වා. විනාඩියක් විතර ගියා ගීතයක් මතක් කර ගන්න. ඒ දවස්වල 'සිරි පතුල' චිත්‍රපටයේ ගොඩක් ජනප්‍රිය ගීතයක් තිබුණා, කලාසූරී මොහිදින් බෙග් ගායනා කළ 'සකල සතම බොදු බැතියෙන්'. මට ඒක මට මතක් වුණා. ගායනා කළා. සර් පෑනෙන් නළලට තට්ටු කර කර සතුටින් අහගෙන හිටියා. ඉඳලා ඔයාට හොඳට ගායනා කරන්න පුළුවන්නෙ. ඇයි ඔයා වාදනයට යන්නෙ.. මම ඔයාව ගායක කණ්ඩායමට තෝරාගන්නවා කියලා කිව්වා. ඒ සර් තමයි (අපිව අවසන් සම්මුඛ පරීක්ෂණයට ලක් කළ) සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි. වසර එකහමාරකට පසු අපි බෙල්වුඩ් එකට ගියා. එහි වසර දෙකහමාරක් හිටියා. නේවාසික පුහුණුවක්නෙ ඒක. ඒ අතරේ 1982 දී අපිව ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයට රුගෙන ගියා. එහිදී මම 'A' ශ්‍රේණියේ ගායකයකු ලෙස සමත් වුණා."
1984 ජූලි 16 වැනිදා මට සහකාර තරුණ සේවා නිලධාරී ලෙස කොළඹ ප්‍රධාන කාර්යාලයට පත්වීමක් ලැබුණා. විභාගයකින් තමයි ඒ තෝරාගැනීම කළේ. පසුව සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණා. පත්වීම ලැබුණට මට කොළඹ නවතින්න තැනක් ලැබුණේ නැහැ. කොළඹ මම දන්න කවුරුත් නෑනෙ. අපේ කාර්යාල කාර්ය සහයක කෙනෙක් හිටියා, ජයතිලක කියලා. මගේ ගැටලුව මම එයාත් එක්ක කතා කළා. එයා මට තැනක් හදලා දුන්නා. කාර්යාලයේ ඉහළම මහලේ අඩි 6X6 පමණ කුඩා කොටසක, ටයිප් රයිටර් වගයක් අසුරලා ඉවත් කළ කාඩ්බෝඩ් කැබලිවලින් නිදාගන්න තැනක් ඔහු මට සකසලා දුන්නා. සති දෙකක් පමණ මා එහි සිටියා. අවසානයේ මහරගම බෝඩිමක් ලැබුණා. ඒ නිවසේ තමයි අදටත් මා ඉන්නෙ."
ඒ ඉතා සොඳුරු දිගු කතාවකි. ඔහු රැඳී සිටි එම නිවසේ සිටි තරුණිය සමඟ හටගත් ආදර සම්බන්ධය 1989 වසරේ දෙසැම්බර් 02 වැනිදා සිදුවූ විවාහය සමඟ වඩාත් තහවුරු විය. ඇය නීලා සෙනෙවිරත්නය. අද සෝමසිරි - නීලා කැදැල්ලේ දරුවන් තිදෙනෙකි. සංගීතයට, කලාවට ලැදි යසස් වැඩිමල් පුත්‍රයාය. ඔහු මේ වනවිට විවාහකය. දෙවැනියා සහන්, හෝටල් ක්ෂේත්රයේය. දුව යශෝධා උපාධි අපේක්ෂිකාවකි. කැසට් පට ත්‍රිත්වයක් හා සංයුක්ත තැටි හතරක් තුළින් මේ වනවිට ඔහු ගීත 350 ක් පමණ ජනගත කර ඇත.
"සඳයි තරුයි - නිසංසලේ අහසෙ ගොළුවෙලා
ඔබයි මමයි - දෙමංසලේ දෙතැන තනිවෙලා"
අරුණ මුදුන්කොටුව ලියූ සනත් නන්දසිරි සංගීතවත් කළ එම ගීය ඔහුගේ පළමු ගීතයයි. ඒ සමඟ රිදවන්නෙපා මේ තරම්, ඔබේ ආදරේ මහා සාගරේ හා අසා ඉමු අපි සුමුදු වැල්ලට යන ගීත ඔහුගේ පළමු ගී අතරට එක් විය. 1986 වසරේ 'මංගල යහන', 1989 වසරේ 'අහිංසකාවිය' හා 1992 වසරේ 'සිතක් බිඳුණු පසු' යන කැසට් ත්‍රිත්වයේ ඇතුළත් වූ ගීත ද ඉන් පසු නිකුත් වූ සංයුක්ත තැටිවල ගීත අතර ඔහු ජනතා ආකර්ෂණය දිනූ ගීත ගණනාවක් ද විය. අදට ද එම ගීත ජනප්‍රියය.
"2016 වසරේ මම තරුණසේවා සභාවෙන් විශ්‍රාම ගත්තේ සංස්කෘතික අංශයේ සහකාර අධ්යක්ෂවරයකු ලෙස. 2019 මා ඇමෙරිකාවේ ප්‍රාන්ත 9ක ප්‍රසංග 9ක් සඳහා එක්වුණා. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ ෂර්ලි වෛජයන්ත ගුරුතුමන් මා සමඟ ඊට සහභාගි වුණා. නැවත ලංකාවට ආවට පස්සේ තමයි මම අසනීප වුණේ. වසර තුනක් ප්‍රතිකාර ලබාගෙන දැන් සුවයි. සුපුරුදු ලෙස ප්‍රසංග හා පටිගත කිරීම්වලට එක් වෙනවා."
තමා සතු ගායන ප්‍රතිභාව තුළින් සුවහසක් රසික සිත් සැනසූ මේ සොඳුරු ගායන ශිල්පියාට හදසර අපි නිරෝගී සුව, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
මොනිකා සේරසිංහ
සේයාරූ- සුමුදු හේවාපතිරණ