පින්තූර ගන්න ගලක් උඩ ඉඳගත්තා විතරයි සාරිය එහෙම්පිටින්ම පිටිපස්සෙන් පැලුනා
නව පරපුරේ සිටින තවත් දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ට පියුමි බොතේජු හඳුන්වා දිය හැක. හැමදාම ලස්සනට අඳින ඇයට අපි මෙවර පැෂන් පිටුව හැඩ කරන්නට ආරාධනා කළෙමු.
කොහොමද පියුමි. මේ දිනවල මොනවාද කෙරෙන්නේ ?
රූපවාහිනි නාළිකා කීපයකම මා රගපැමෙන් දායක උන ටෙලිනාට්‍ය කිහිපයක් ම මේ දිනවල විකාශය වන නිසා වෙනදට වඩා තරමක් කාර්යබහුලයි .
විලාසිතා ගැන ඔබ වැඩිපුර උනන්දු කෙනෙක් නේද ?
මම ආසම ඇඳුම් පැළඳුම් ආසම විදිහට අරන් විලාසිතා කරන කෙනෙක්. විලාසිතා කියන්නේ ඇඳුම් පැළඳුම් ම නෙමේනේ ඒ නිසා කොන්ඩය කලර් කරන ඒවා, ටැටූ ගහන ඒවත් ශරීරය හැඩ කිරීම වෙනුවෙන් කරනවා .
විලාසිතා කියන්නේ මොකක් විදිහට ද ඔබ දකින්නේ ?
මම හිතන්නේ විලාසිතා කියන විෂය පුරාම තියෙන්නේ මනුස්සයෙකුගේ දැක්මට ප්‍රිය මනාප වන දෙයක්. විලාසිතා කියන දේ පළමුවෙන්ම දකින කෙනාට ප්‍රියමනාප විය යුතුයි.
පොදුවේ විලාසිතාවක් කිරීමේදී ඔබ අනුගමනය කරන කරුණු මොනවා ද ?
ගැලපීම ගැන ගොඩක් හිතන කෙනෙක් මම. ඊට අමතරව යම් මුදලක් වියදම් කරලා අපි තෝරා ගන්නා විලාසිතාව අපේ පෙනුමට වටිනාකමක් ගෙන දිය යුතුයි කියල මම නිතර හිතෙනවා .මගේ දෑත් තරමක් මහත නිසා විලාසිතා තෝරා ගැනීමේදී ඊට ගැළපෙන විදිහට තෝරාගැනීම් කරන්න මම මතක තබා ගන්නවා. අනිත් ප්‍රධානම දේ තමයි විලාසිතාවක් කිරීමේ දී තෝරා ගන්නා පාට. ඕනෑම පාටක් මගේ ඇඟට ලස්සනයි .නමුත් තද පාට වලට ඇඟ ටිකක් කෙට්ටුවට පේනවා. එහෙමයි කියලා තදට අව්ව පායපු දවසක ඇස් කඩන් යන තද පාටවල් ඇඳගෙන එලියට ගියොත් ඒකත් අශෝභනයි .ඒ නිසා ගැලපෙන විදියට හැමදේම කරන්න උත්සහ කරනවා .
ඔබට වඩාත්ම ගැළපෙන ගැලපෙන විලාසිතාව?
සාරිය ඇඟට ගොඩක් ලස්සනයි .ඇන්දහම හැමෝගෙම අගය කිරීමක් ලැබෙනවා. ඊට අමතරව ටී ෂර්ට් එකටයි ඩෙනිමටයිත් මම ගොඩක් ආසයි. ගවුම් ඇන්දාමත් හැඩට ඉන්නවා .
ඔබ කරන විලාසිතා වලට ගැලපීම සිදු කරන්නේ කොයි විදියට ද ?
ඕනෑම ගමනකට කරන විලාසිතාවලට සපත්තු නම් අනිවාර්යයෙන්ම ගලපනවා ඊට අමතරව අඳින ඇඳුමේ පාටට ගැලපෙන විදිහට නිය ආලේපන තෝරා ගැනීමත් මම කරන දෙයක් විශේෂ අවස්ථාවකට සහභාගි වෙන කොට ඊට ගැළපෙන විදිහට ලොකු කරාබු පලදින්නත් කැමති කෙනෙක් .කරන විලාසිතාවට වටිනාකමක් දෙන්න නිතරම හෙයාර් කලර් එකත් වෙනස් කරනවා .
ආභරණ පලදින්න කැමති කෙනෙක් ද ඔබ ?
පුංචි රන් ආභරණ කිහිපයක් නම් පළඳිනවා කොහොම නමුත් සරලව චාම්ව පෙනෙන විදිහට රන් ආභරණ පලඳින්න තමයි මම ගොඩක්ම කැමැති. ඔරලෝසු නං ආසාවෙන්ම පළඳිනවා .
විලාසිතාවලින් වටිනාකමක් ගොඩනඟාගත හැකි කියා ඔබ හිතනවාද ?
මම හිතන්නේ විලාසිතාවකින් බොහෝ දුරට විය යුත්තේ අප ගොඩනඟාගත් ප්‍රතිරූපය ආරක්ෂා කිරීම හෝ එයට ආලෝකයක් ලබා ගැනීම පමණයි. නමුත් අවාසනාවකට වර්තමානයේ විලාසිතා කියලා බොහෝ දෙනෙක් කරන්නෙ තමන්ගේ හෙලුව පෙන්නලා ආකර්ශනයක් ලබාගන්න.ඒ තරමටම මිනිස්සු පහලට වැටිලා. කාන්තාවන්ගේ අඟපසඟ වැහෙන විදිහට විලාසිතාවක් කරන කෙනෙකු ට අදටත් ලොකු වටිනාකමක් ලැබෙනවා. විශේෂයෙන්ම අපේ රටෙ සංස්කෘතිය තුළ.
ඔබ විලාසිතා කිරීමේ දී යම් කෙනෙකු අනුකරණය කරනවාද ?
හොලිවුඞ් බොලිවුඞ් වගේ ම බටහිර සුරූපී රංගන ශිල්පිනියන්ගේ විලාසිතා ගැන නිතර මම අධ්‍යයනය කරනවා .එවැනි විලාසිතා කීපයක්ම බලල මට ගැළපෙන විදිහට විලාසිතා තෝරගන්නවා .
ඔබ කරන විලාසිතා යම් අය අනුකරණය කරනවාද ?
ඔව් . රඟපෑමේදී අඳින ඇඳුම් පැලඳුම් වගේම සාමාන්‍ය ජීවිතේදී ත් මම කරන විලාසිතා බොහෝ පිරිසක් ආදරයෙන් වැළඳ ගන්නා බව මගතොටේදී ත් ,අහන්න දකින්න ලැබෙනවා. ගොඩක් යුවතියන් මම කොන්ඬේ කලර් කරන විදිහටත් කලර් කරනවා කියලා අහන්න ලැබෙනවා. ඇත්තටම ඒවා දකින කොට, අහනකොට ගොඩක් ආසයි.සතුටුයි .
ඔබ ආසයි ද හැමෝම ලස්සනට ඇඳලා ඉන්නවට ?
ඇත්තටම ඔව්. මම හරිම ආසයි හැමෝම ලස්සනට ඇඳලා පිලිවෙලට ප්‍රියමනාපව, පිරිසිදුව ඉන්නවාට. මට අදටත් මම කරන විලාසිතාවක් ගැන කෙනෙක් ඇහුවොත් කොහෙන්ද ගත්තෙ, කීයද කියලා මම බොහොම සතුටින් ඒ අයට ඒ අදාල තැන් කියනවා. සමහර වෙලාවට මම අඳින ඇඳුමක්, මම දාන බෑග් එකක් කෙනෙකුට අවශ්‍ය වුනොත් ඒ දේවලුත් සතුටින් පරිත්‍යාග කරන්න මම දෙවරක් හිතන්නෙ නැහැ.
ජීවිතේ ලස්සනටම සැරසුණු දවස ?
මොන විදිහට සැරසුණා ත් ලස්සනයි කියන වචන නම් නිතරම අහනවා. නමුත් පසුගියදා පැවති මාගේ උපන්දිනය දා මා සැරසුණු විදිහ තමයි මෑතකදී මම වැඩි ම අගය කිරීමකට ලක් වුණේ. චමිල් උදයංග තමයි එදා මාව හැඩ ගැන්වූයේ. ෆොටෝ ශුට් එකක් කරන්න කියලා ලස්සනට හැඩ ගන්වලා එක්කගෙන ගිහින් තිබුණෙ මාව පුදුමයෙන් පුදුමයට පත් කරවන, මා වෙනුවෙන් සංවිධානය කල උපන්දින සාදයට.
විලාසිතා කිරීමේ දී පුංචි පුංචි අකරතැබ්බ එහෙම වෙලා ඇති නේද ?
අම්මෝ ඕනෑ තරම් තියෙනවා . දවසක් දර්ශන පෙරේරා මාව මනාලියක් ලෙසට හැඩගැන්වුවා ෆොටෝ ශුට් එකකට. එම විලාසිතාව ඇඟේ හැඩය ඉස්මතු වෙන විදිහට තදට මහලා තිබුනේ. පින්තූර ගන්න ගලක් උඩ ඉඳගත්තා විතරයි සාරිය එහෙම්පිටින්ම පිටිපස්සෙන් පැලුනා. පසුව ඇඳුමෙ පිටු පස නොපෙනෙන විදිහට ෆොටෝ ෂූට් එක කලා.
පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය පොඞ්ඩක් මතක් කළොත් ?
පුංචි දියණියක් විදිහට මොන තරම් දේවල් අඳින්න ආසාවෙන් හිටියත් මගේ මව්පියන්ට එදා ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ මට ඒ දෙවල් ලබා දෙන්න .මම ගොඩක් වෙලාවට ඇන්ඳේ අයියලාගෙ කලිසම්, ටී ෂර්ට් .පුංචි කාලෙදි මගේ වයසේ ගෑනු ළමයි ලස්සන ලස්සන දේවල් ඇඳල ඉන්න කොට මම ඒ දෙවල් දිහා බලාගෙන අඬපු දවස් ඕන තරම් තිබුණා. ඇත්තටම මේවා කියන්න ලජ්ජා වෙන්න ඕනේ නැහැ. පුංචි කාලයේ දී ඒ තිබුණ පීඩනය අද මම කාටත් දැනෙන්න තියන්නෙ නැහැ .අද මම ලස්සනට අඳිනවා. හිතෙන හිතෙන විලාසිතා කරනවා. ඒ වගේම කාට හරි ඇඳුමක් පැලදුමක් අවශ්‍ය වුනොත් ඒ දේවල් උපරිමයෙන් ලබාදෙන්නත් මම පසුබට වෙන්නේ නැහැ ..
අසුන්තා එදිරිසූරිය