පුතා මුලින්ම කියපු වචනය අපිට අමතක කරන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුතූ තරංගා අපිට පුතාගේ නම කියන්න?

පුතාගේ නම ටියෝන් ජයවර්ධන අමුපිටිය. දැන් පුතාට වයස මාස එකොළහයි.

මුතූ ආසාවෙන් හිටියේ පුතෙක්ටද? දුවෙක්ටද?

ඇත්තම කිව්වොත් මම නම් ආසාවෙන් හිටියේපුතෙක්ටයි. හැබැයි මුලින් නිශාන්ත ආසාවෙන් හිටියේ දුවෙක්ට. ඒකට හේතුව වුණේ නිශාන්තගේ පවුලේ පිරිමි ළමයින්මයි ඉන්නෙ. හැබැයි දැන් නම් පුතා වැඩියෙන්ම එකතු නිශාන්තටයි. දැන් නිශාන්තට පුතාගෙන් තොර ලෝකයක් නැති තරම්.

ටියෝන් දූරියන් කන්න ආසයි කියලයි අපිට ආරංචිය?

අනේ ඔව්.. ඒක මාර ආසාවක්. චූටි පුතාට අපි බත් කවනවා. දවසක් මම දූරියන් කද්දි චූටි පුතාගේ කටේ පොඩ්ඩක් දූරියන් තිබ්බා. එයාට ඒකෙ රස දැනුණා. වෙන වෙලාවකට බත් කවද්දි ටිකක් පස්සෙන් යන්න ඕනෙ. හැබැයි දූරියන් කන්න නම් පුතා මාර විදිහට ආසයි. ඒකෙ රස දැනිච්ච පුතා ඊළඟ දූරියන් කට කවනකම් මගේ ළඟට වෙලා ඉන්නවා. අපිට දූරියන් ගහක් තියෙනවා. ඒකෙන් තමයි පුතාට කවන්නෙ.

දැන් මාස එකොළහයි. චූටි පුතා දැන් දඟයිද?

පුතාව දකින ගොඩක් අය 'පුතා අහිංසකයි' කියලයි කියන්නේ. ඒත් දැන් නම් පුතා දඟ කරන්න පටන් අරගෙන. එයා හැමවෙලේම හිනා වුණු ගමන්මයි ඉන්නෙ. පුතා චූටිම කාලෙ අපි මහ රෑ තිස්සෙ ඇහැරිලයි හිටියේ. පුංචිම කාලෙ එයා රෑට නිදාගත්තෙම නැහැ. හැබැයි දැන් නම් එහෙම කිසිම කරදරයක් කරන්නෙ නැහැ. පුතාව චූටි කාලෙ පැය හය හත උකුලේ තියාගෙන හිටපු දවස් තිබුණා. පැය හය හත එකම ඉරියව්වෙන් වාඩිවෙලා ඉඳලා මගේ කොන්ද රිදුණු දවස් තිබුණා. දැන් නම් පුතා කිසිම කරදරයක් නැතිව රෑට නිදාගන්නවා.

මුතූගේ කුළුඳුල් දරුවා නාවද්දි ලබපු අත්දැකීම් මොනවාද?

ඇත්තම කියන්නද? මේ මාස එකොළහ පුරාවට පුතාව මම තනියම එකම එක පාරයි නෑව්වෙ. අනිත් හැම දවසකම පුතාව නිශාන්ත තමයි නෑව්වෙ. තාමත් නිශාන්ත තමයි පුතාගෙ ඇඟ හෝදවන්නෙ. නාවන්නෙ. පුංචි කාලෙ මම පුතාව අතට ගන්න පවා බයයි. නිශාන්තගේ අත් ලොකු නිසා එයා තමයි පුතාගෙ හැම වැඩක්ම කළේ. පුතා පුංචි කාලේ ඉඳන් ඒ වැඩවලට නිශාන්තගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. අදටත් එහෙමයි. පුතාගේ හැම වැඩක්ම අපි දෙන්නා තමයි කරන්නෙ.

පුතා මුලින්ම කියපු වචනය මතකද?

පුතා මුලින්ම කියපු වචනය අපිට අමතක කරන්න බැහැ. දවසක් අපි එයාට 'අප්පච්චි අප්පච්චි' කියා කියෙව්වා. පුතා අපි දෙන්නා දිහා බලාගෙන ඉඳලා 'අප්පච්චි' කියලා කිව්වා. ඒක අපිට හිතාගන්නවත් බැරි වුණා. සතුට වැඩිකමට එදා නිශාන්තගේ ඇස්වල කඳුළු පිරුණා. පුතා තාම එදා විතරයි ඒ වචනය කිව්වෙ. තාම එයාට වචන කියන්න බැහැ. හැබැයි එකම එක වතාවක් 'අප්පච්චි' කියලා නම් කිව්වා.

අම්මා, තාත්තාව දැන් චූටි පුතාට හොඳට හුරුයි නේද?

අනේ ඔව්.. එයා අපි දෙන්නට දැන් හොඳට හුරුයි. මට වඩා නිශාන්තට පුතා ගොඩක් හුරුයි. ළඟදි නිශාන්ත වෙන්නප්පුවට ගිහින් එහේ ඉඳන් වීඩියෝ කෝල් එකක් ගත්තා. පුතා නිශාන්තව වීඩියෝ එකෙන් දැකපු ගමන් අඬන්න පටන් ගත්තා. නිශාන්තටත් හරි දුකයි. එයාත් ඉක්මනට වෙන්නප්පුවේ ඉඳන් ගෙදර ආවා. පුතා ළඟ අප්පච්චි නැහැ කියලා එයාට තේරුණා. පුතා නිශාන්තට හරි එකතුයි. උදේ පාන්දර පහට විතර නැගිටලා අප්පච්චි ළඟට ගිහින් හැරි හැරී එයාව නැඟිටවනවා. පුතා ඉපදුණු දා ඉඳන් අපි දෙන්නගේ මැද තමයි නිදාගන්නෙ. ඉතින් ඇහැරුණු ගමන් පුතා නිශාන්තගේ පැත්ත තමයි මුලින්ම බලන්නෙ. එයාට අප්පච්චිව දැන් හොඳට හුරුයි.

ටියෝන් කියලා නම තැබුවේ කවුද?

ටියෝන් කියලා නම තැබුවේ නිශාන්තගේ යාළුවෙක්. දරුවා ලැබෙන්න ඉඳිද්දි කවදා හරි අකුරු දෙකේ නමක් දානවා කියලයි අපි දෙන්නම හිතාගෙන හිටියෙ. රටවල්වලට යද්දි වුණත් නමේ දිගත් එක්ක ඇතිවන ගැටලු ගැන අපි දැනගෙන හිටියා. ඒ නිසා අකුරු දෙකේ නමක් දාන්න තමයි හිතාගෙන හිටියේ. මුලින්ම 'ටියෝ' කියලා දාන්න හැදුවත් අන්තිමට 'ටියෝන්' කියලා නම දැම්මා.

පුංචි පුතා නිසා හිත නතර වුණු දවසක් තියෙනවද?

අම්මෝ ඔව්.. අපේ ඇඳ ටිකක් උසයි. එක දවසක් පාන්දර පහට විතර අපි දෙන්නගේ අතරින් ගිහින් පුතා ඇඳෙන් වැටිලා තිබුණා. එයාගේ ඇඬිල්ල නිසා ඇහැරිලා බලද්දි පුතා ඇඳෙන් බිමට වැටිලා. එදා අපි දෙන්නම ගොඩක් බය වුණා. එදා නම් මගේ ජීවිතේ නතර වුණා කියලයි මට හිතෙන්නෙ.

නිශාන්තයි මුතුයි පුංචි පුතායි අද ගත කරන මේ ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?

තව අවුරුදු දහයකට කලින් බබෙක් හිටියා නම් හොඳයි කියලා අද මට හිතෙනවා. ටියෝන් පුතා එක්ක මේ ගත කරපු කාලය තුළදි මගෙයි නිශාන්තගෙයි ජීවිත පිරෙව්වා. අපේ ජීවිතේ මේ වගේ සුන්දර කාලයක් අපි දෙන්නා මඟහැර ගත්තා කියලත් වෙලාවකට මට හිතෙනවා. පුංචි පුතා එක්ක අපි දෙන්නා අද ගත කරන මේ ජීවිතය හරි ලස්සනයි.

දිශානි