පුතා ටික ටික ලොකු වෙනවා දකිද්දි හිතට දැනෙන්නෙ ලෝබ කමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොඳ කියවීමක්, හොඳ රසිකත්වයක්, හොඳ දැක්මක් ඇති තාරුණ්‍යයේ ජවයෙන් යුතු රංගනයක යෙදෙන කලාකරුවකු ලෙස තුමිඳු දොඩන්තැන්න හැඳින්වීමට පුළුවනි. බොහෝ රසිකයින් අහන දෙයක් තමයි. මේ දිනවල ඔවුන් ආදරය කරන මේ ආදරණීය කලාකරුවා ටෙලි නිර්මාණයක දකින්න නැත්තේ ඇයි කියලා.  ඇත්තටම මේ දිනවල ‘තුමිඳු’ ලොකු වැඩක යෙදී සිටින බව කියන්න පුළුවනි. වෘත්තියෙන් කතිකාචාර්යවරයෙකු වන අතරේ රංගනයට අපූරු දායකත්වයක් ලබා දෙන ‘තුමිඳු’ ඔහු මේ දිනවල ගත කරන විදිය ගැන අපට කියාවි. 

තුමිඳු මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

මේ දිනවල මම කටයුතු කරන්නෙ කලා ක්ෂේත්‍රයේ වැඩ එක්ක නෙවෙයි. කාලය ගත කරන්නෙ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක.

ඒ අධ්‍යාපන කටයුතු මොනවගේද?

මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් ගිය අවුරුද්දෙ සිට අධ්‍යාපන කටයුතුවලට සූදානම් වුණා. කොරෝනා වසංගත තත්ත්වය එක්ක ඒ වෙනුවෙන් විදෙස් ගත වෙන්න බැරි වුණා. ඒ නිසා ඔන්ලයින් ඔස්සේ ඒ වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් ඉතා ඉක්මණින්, මට ආචාර්ය උපාධියෙ ඉදිරි කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න සිදු වෙනවා.

ඒ වෙනුවෙන් කොහෙද යන්නෙ?

මට ලැබී තිබෙන්නෙ එංගලන්තයෙ ලන්ඩන් සරසවිය. නාට්‍ය හා රංග කලාව ගැන ආචාර්ය උපාධිය හදාරන්නෙ.

මේ වන විට තුමිඳුගෙ ප්‍රධාන වෘත්තිය?

වසර දහයක් - පහළොවක් විතර කාලයක සිට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. රඟපෑම ප්‍රධාන වෘත්තියක් නෙවෙයි. ඒත් ඊට සහභාගි වී මුදලක් ලබනවා. 

පහුගිය කාලයේදී ‘‘කූඹියෝ’’ නාට්‍යයෙන් පසුව තුමිඳු රංගනයෙන් දායක වුණේ?

චිත්‍රපටයක් ලෙස ගත්තොත් මම රඟපෑමෙන් දායක වූ චන්න දේශප්‍රියගෙ ‘යූ-ටර්න්’ තිරගත වුණා. ඊට අමතරව සුළු චරිත ලෙස දායක වූ නිර්මාණ අතරින් ජංගි හොරා, එළිදැක්වුණා. කොරෝනා වසංගතය එක්ක වැඩ නතර වූ චිත්‍රපටයක් තියෙනවා. එය ලක්මාල් ධර්මරත්නගේ නිර්මාණයක්. තවම එහි වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරලා නැහැ.

එතකොට වේදිකාවෙ?

වසර කිහිපයකින් වේදිකාවේ වැඩවලටත් දායක වෙන්න ලැබුණෙ නැහැ. අන්තිමට වැඩ කළේ රාජිත දිසානායකගේ ‘ආදර වස්තුව’ නාට්‍යයේ. මගේ අධ්‍යාපන කටයුතු සහ වසංගත තත්ත්වය නිසා තමයි වේදිකාව වැඩවලටත් දායක වෙන්න බැරි වුණේ. ටෙලි නාට්‍ය ගැන කතා කළොත් කූඹියෝ සහ සහෝදරයා නාට්‍යයෙන් පසුව වෙනත් නිර්මාණයකට දායක වුණෙත් නැහැ.

ආචාර්ය උපාධියෙන් පසුව?

සුපුරුදු පරිදි නැවතත් රංගන කටයුතුවලට දායක වෙනවා. 

රංගනයට නිරන්තරවම ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න සිදුවුණාම, ඒ ගැන හිතුවෙ කොහොමද? 

චරිත රැසකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් ලැබුණු සමහර නිර්මාණවල මම රඟපාන චරිතයෙ ඉතිරිය නැවත ආචාර්ය උපාධිය කරලා ඇවිත් කරන්න කියන තැනට පවා අධ්‍යක්‍ෂවරු මට අවස්ථාව දුන්නා. ඒ විදියට නිර්මාණ කීපයකටම ඇරයුම් ලැබුණත්, එක වැඩකට, අවධානය යොමු කරන්න ඕනැ නිසා, බොහොම සුහදව මට ඒ ලැබුණු චරිත ප්‍රතික්ෂේප කළා.

‘තුමිඳු’ මේ රට අද තියෙන්නෙ ලොකු අවුලක, මේ රට හැදෙන්න නම්? හදන්න නම්, මොන වගේ දෙයක් කළ යුතුය කියලද හිතන්නෙ?

මම කියන දේ මේ වෙලාවෙ නිවැරදිද සාර්ථකද කියලා මම දන්නෙ නැහැ. ඒත් මම හිතන විදියට මේ රට හදන්න නම්? මේ රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕනෑ. දේශපාලනය යහපත් වෙන්න ඕනෑ. එහෙම වුණොත් තමයි එතැනින් පල්ලෙහාට ගලා යන මනුස්ස ස්වභාවය, ගති පැවතුම් පවා යහපත් වෙන්නෙ. මේ රට හොරා කෑම කියන දේ ඉහළ මිනිහාගේ සිට පහළ කෙනා දක්වා, සාමාන්‍ය මිනිහා දක්වා ඇවිත්. ඒ නිසා රට හැදෙන්න නම් හදන්න නම් කියන කාරණයේදී මටත් තියෙන්නෙ පොදු අදහසක්. මොකද දේශපාලනය හා සම්බන්ධ කතා කරන්න මට ඒ අංශයේ ප්‍රවීනයෙක් නෙවෙයි. හැබැයි මම කියන්නෙ පැහැදිලිවම මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නට ඕනෑ.

ඒ එක්කම, අපි කතා කරමු තුමිඳුගේ ගෙදර ජීවිතය, කළණි සහ පුතු සමඟ ගෙවන ජීවිතය ගැන?

අපි දෙන්නම රැකියා කරන අය. මම නම් මේ දිනවල ගෙදර සිට ඒ කටයුතු කරන්නෙ. ගෙදර කටයුතු හරිම සාමකාමී විදියට ගෙවෙනවා. හැකි විදියට මම කළණිටත් උදවු කරනවා. ඇයත් මට උදවු කරනවා. ඒ හැර වෙන විශේෂත්වයක් නම් නැහැ. බොහොම සාමාන්‍යයි. ‘අපූරුව’ පුතා දිනෙන් දින ලොකු වෙනවා. එයත් එක්ක ගත කරන ජීවිතයත් හරිම සුන්දරයි. එක වෙලාවකට එයා දවසින් දවස ලොකු වෙන එක දිහා බලලා සතුටක් ඇතිවෙනවා. ඒ වගේම පොඩි ලෝභකමකුත් ඇති වෙන්නෙ, ඉක්මණට ලොකු වෙන එක ගැන හිතලයි.

තුමිඳුගෙ අයියා, පදිංචිවෙලා ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, ඇයි ‘තුමිඳුට’ හිතුණෙ නැත්තෙ, ඔස්ට්‍රේලියාවෙ පදිංචියට හෝ නවතින්නට යන්න?

මට තවම ලංකාව දාලා යන්න හිතිලා නැහැ. තාම මම හිතන්නෙ මේක තමයි අපි ඉන්න ඕනෑ රට. ජීවත් වෙන්න ඕනෑ රට. ඒ වගේම මැරෙන්න ඕනෑ රට කියලයි. රට කොයිතරම් ආගාධයකට ගියත් මට රට දාලා යන්න නම් හිතෙන එකක් නැහැ. මොකද මේ රටට වගේම මිනිස්සුන්ට මම ආදරෙයි. ඒ මිනිස්සු මට ආදරේ වගත් මම දන්නවා. මගේ කලාව බැඳිලා තියෙන්නෙ මගේ සංස්කෘතිය එක්කයි. මගේ ඒ සංස්කෘතිය කලාව තියෙන්නෙ මේ රටේ. ඒ මිනිස්සු එක්ක. මගේ ජීවිතේ මට දැනෙන්නෙ මේ රටේ මිනිස්සු එක්ක, කලාව, සාහිත්‍ය සහ ජීවිතය බෙදා ගත්තාමයි. ඒ නිසා තාම නම් මට රට දාලා යන්න හිතිලා නැහැ. හැබැයි ඉතිං මේ රටේ ඔක්කෝම මිනිස්සු මේ රට දාලා ගිය දවසට නම් මට මේ රටේ ඉඳලා වැඩක් නැතිවේවි. මොකද මට රටේ වැදගත්ම දේ මේ රටේ මිනිස්සු නිසා. මගේ අයියා එයාගෙ තරුණ කාලයේ ඉඳලම හිටියෙ ලංකාවෙ නෙවෙයි. කාලයක් එංගලන්තයෙ හිටියෙ. පසුව ඕස්ට්‍රේලියාවට ගියා. එයාගෙයි මගෙයි ජීවිත අතර ස්වභාවයෙ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මම හිතන විදිය ගැන තමයි මම කිව්වෙ.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ