පොඩිකාලේ ඉඳන්ම මම ලස්සනට අඳින්න පළඳින්න පිළිවෙළකට ඉන්න ආසයි
‘අනූප හෙට්ටිආරච්චි’ නම මේ දිනවල කලා ක්ෂේත්රය කතාබහට ලක්වන නමක් කියලා කියන්න පුළුවන්. රංගනයෙන්, නිරූපනයෙන් පමණක් නොවෙයි නිවේදනයෙනුත් දස්කම් පාන ඔහු එක්ක මෙවර සඳැල්ලෙන් පුංචි කතාබහක් කරන්න හිතුවා.
අනූප ගැන අද කතාබහ කරන්නෙ ‘බොනිකර තරු’ නිර්මාණය නිසා නේද? ඒ ගැන මුලින්ම කතා කරමු?
රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණයෙන්, තරංග දිසානායක නිෂ්පාදනයෙන් පුංචි තිරයට ගේන ‘බොනිකර තරු’ නිර්මාණයේ මාලිංග කියන චරිතය තමයි මම රඟ දක්වන්නෙ. මේ වෙද්දි මෙහි කොටස් 120ට අධික සංඛ්‍යාවක් වගේ විකාශය වෙලා තියෙනවා. ඉතින් මගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කතාබහට ලක්ව තිබෙන චරිත රංගනයක් වෙලා තියෙනවා.
ඉතින් මේ මාලිංග ගැන ටිකක් කියමු?
‘බොනිකර තරු’ නිර්මාණයෙ දකින්න තියෙන්නෙ අද සමාජයේ බොරුවෙන් ජීවත්වන මිනිසුන්ගෙ සැබෑ තත්ත්වය. සමාජයේ දකින්න තියෙන සැබෑව එහි ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඉතින් මෙහි මගේ චරිතය මාලිංග කියන්නෙ. මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවන චරිතය අභීගෙ හොඳම ළඟම මිතුරා. ඔහුගෙ හොඳ දේවල්වලටයි නරක දේවල්වලටයි දෙකටම උදව් කරගෙන ඉන්න චරිතයක්. විශ්වවිද්‍යාල ජීවිතයක් සම්බන්ධව යන කතාවක් තමයි මේ.
මේ චරිතය තුළින් යාළුවගෙ හොඳ දේවල්වලටයි නරක දේවල්වලටයි දෙකටම උදව් කරනවා කිව්වනෙ. ඇත්ත ජීවිතෙත් එහෙමද?
ඇත්තටම මේ විශ්වවිද්‍යාලයක් එක්ක සම්බන්ධවෙලා යන කතාවක් නිසා මේ සම්බන්ධ අත්දැකීම් මටත් තියෙනවා පෞද්ගලික ජීවිතය තුළ. මොකද මමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයේ සිදුවුණු සිදුවීම් මතකයන් මේ නිර්මාණයේ රංගනයෙ දායකවෙද්දි මගේ මතකයට එනවා නිරායාසයෙන්ම. මොකද ඒ කාලෙ යාළුවන්ගේ ආදරය පිළිබඳ ප්‍රශ්නවලදි එහෙම අපි යාළුවො ඒ දේවල්වලින් ගලවගෙන තියෙනවා. ඒ වගෙම වැරැදි සම්බන්ධතාවලට පැටලෙන්න යද්දි අවවාද කරලා එහෙම තියෙනවා. යාළුවො ඉතින් අපි කියපු දේවල් අහපු අවස්ථාත් තියෙනවා. කියන දේවල් අහන්නෙ නැතිව වළේ වැටුණු අවස්ථාත් තියෙනවා.
අනූප ටෙලි රංගනයට අමතරව මියුසික් වීඩියෝ හි රංගනය වෙනුවෙන් වැඩි දායකත්වයක් දෙනවා නේද?
මියුසික් වීඩියෝ රංගනයටත් වඩා වෙළෙඳ දැන්වීම් පැත්තට තමයි වැඩි නැඹුරුවක් තියෙන්නෙ. මේ වෙද්දි වෙළෙඳ දැන්වීම් 75 කට අධික සංඛ්‍යාවකට වගේ සම්බන්ධ වෙලා ඇති. ඒ වගේම මේ වෙද්දි රූප රචනා 25 කට අධික සංඛ්‍යාවක් කරලා තියෙනවා. මම මුලින්ම කලා ක්ෂේත්රයට එන්නෙ නිරූපන ශිල්පියෙක් විදියට.
නිරූපණ ශිල්පියෙක් විදියට ඒ ආපු ගමන ගැන මතක් කළොත්?
මට ඇත්තටම කලා ක්ෂේත්රයට එන්න ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසාම මම 2017 වසරෙදි ‘දෙරණ අවුරුදු කුමරා’ තරගයට සම්බන්ධ වුණා. ඒ තරගයට අයැදුම් කළේ මමම තමයි. ඉතින් ඒ තුළින් මට අවසන් තරගකරුවන් 5 දෙනා අතරට එන්න ලැබුණා. ඒ ගමනත් එක්ක තමයි මුලින්ම නිරූපණ ක්ෂේත්රයට එන්න පියවරක් තබන්නේ. පසුව නිරූපණ අංශයෙන් 'Best Model of the world' තරගයට සම්බන්ධ වුණා. ඒ තුළින් එක් ජයග්‍රහණයකුත් ලැබුණා. ඒ දේවල් එක්ක තමයි මට වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ රංගනයන් වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.
කලා ක්ෂේත්රයට එන්න ඇයි එතරම් කැමැති?
මම පුංචි කාලෙ ඉඳන් කැමැතියි කලාවට. පාසල් යන කාලෙත් ඒ කැමැත්ත තිබුණා. මම පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. ඒ තුළත් මම රංගනයෙන්, නිවේදනයෙන් විවිධ වැඩසටහන්වලට සම්බන්ධවෙලා තියෙනවා. පාසල තුළ වේදිකා නාට්‍ය කරලා තියෙනවා. ඒ දේවල්වලට පාසල තුළ ලොකු ශක්තියක් වෙලා තියෙන්නෙ අපේ නාට්‍ය හා රංග කලා ගුරුතුමිය වුණු රත්නාලාලනී ජයකොඩි මහත්මිය. ඇය යටතේ තමයි අපි රංගන කටයුතු කළේ පාසල තුළ. රංගනයට වගේම නිරූපණයටත් මම ගොඩක් කැමැතියි. පොඩිකාලේ ඉඳන්ම මම ලස්සනට අඳින්න පළඳින්න පිළිවෙළකට ඉන්න ආසයි. ඒ නිසා නිරූපණයට ආස කළේ. ඉතින් අද වෙද්දි මම හිතපු විදියට කලා ක්ෂේත්රය තුළ රංගනය, නිරූපණය, නිවේදනය අංශයන්වලට සම්බන්ධ වෙලා පියවෙරන් පියවර පුංචි ගමනක් ඇවිල්ලා තියෙනවා.
වෘත්තීමය විදියට කලාවද කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නෙ?
ඇත්තටම වෘත්තීමය වශයෙන් නම් කලාව තුළ ඉදිරි ගමනක් බලාපොරොත්තුවක් නැහැ. මොකද ලංකාවෙ කලාවෙන් ජීවත්වෙන්න ස්ථාවරත්වයක් මේ රට තුළ නැහැ. ඒ නිසා කලාව වෘත්තීය වශයෙන් නැතත් විනෝදාංශය විදියට කරගෙන ඉදිරි ගමනක් යන්න තමයි තියෙන අරමුණ. මේ දේවල් කරගෙන යන අතරතුර මම පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා. ඇත්තටම කලාව කියන දේ මගේ කැමැත්ත මතම කරගෙන යන දෙයක්. මොකද මගේ පවුලෙ අයත් කියන්නෙ කලාව කියන දේ ස්ථාවරත්වයක් නැති නිසා හොඳ දෙයක් කරන්න කියලා. නමුත් ඉතින් මගේ හැම වැඩ කටයුත්තකදීම පවුලෙ අය ලොකු ශක්තියක් වෙලා ඉන්නවා.
ඉතින් අද මේ ඇවිල්ලා තියෙන ගමන ගැන මොකද්ද කියන්න තියෙන්නෙ?
ඇත්තටම සතුටුයි මේ ආපු ගමන ගැන. මේ ගමන ලේසි නැහැ. මොකද කිසි දෙයක් එකවර ලැබුණෙ නැහැ. ලොකු කට්ටක් කාලා පුංචි පුංචි දේවල්වලින් පටන් අරන් අතිරේක චරිත කරලා ටිකින් ටික පියවරෙන් පියවර ආවෙ. ඉතින් ඒ තුළ කටුක බව තරගකාරිත්වය ගොඩක් තිබුණා. නමුත් අද කලා ක්ෂේත්රයේ රංගනයෙන් නිරූපණයෙන් වගේම නිවේදකයෙක් විදියටත් නාලිකාවක මේ වෙද්දි වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ආරාධනා ලැබෙමින් පවතිනවා. ඒවටත් නුදුරේම සම්බන්ධ වෙයි. ඒ හැම දෙයක් එක්කම අද ඉන්න තැන ගැන සතුටුයි. ඒ වගේම අද වෙද්දි ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ ආශිර්වාදයන් එක්ක තවත් සතුටුයි. මේ තුළ හොඳ ලස්සන ගමනක් යන්න තමයි ලොකුම බලාපොරොත්තුව.
ධනු විජේරත්න