පොඩි කෑල්ලක රඟපාන්න දවසක්ම කට්ට කෑවා
මංජුල.. මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල නිර්මාණ කටයුතු තුනකට දායක වෙලා ඉන්නවා. සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන, ලලිත් වසන්ත නිෂ්පාදනය කරන නීල පබළු ටෙලිනාට්‍යයටත්, ඩිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය කරන, සඳුන් බණ්ඩාර නිෂ්පාදනය කරන ළං වී ටෙලිනාට්‍යයටත්, චන්දික විජේසේන අධ්‍යක්ෂණය කරන ගඟන පියවර ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව මගේ රැකියාවත් කරමින් සතුටින් ඉන්නවා.
ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නෙමෙයි නේද?
ඔව්.. මම පොලිස් තූර්ය වාදක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කටයුතුවල නියැලෙනවා. මම තූර්ය වාදක කොට්ඨාසයේ ශබ්ද පරිපාලක ලෙසින් කටයුතු කරනවා. ඊට අමතරව රංගන ශිල්පියෙක් ලෙස සම්බන්ධවෙලා ඉන්නවා. වෘත්තීය රංගන ශිල්පියෙක් නොවුණත් මේ ක්ෂේත්‍ර දෙකම සමබරව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා.
පවුලේ විස්තර ටිකක් කියන්න?
මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි මල්ලියි. මට තමයි පවුලේ වැඩිමලා. මගේ අම්මා පෙර පාසල් ගුරැවරියක්. තාත්තා හොඳ ගොවියෙක්. මගේ උපන් ගම මොණරාගල දිස්ත්‍රික්කයේ දඹගල්ලේ දැලිව කියන ගමයි. ඒක හරිම සුන්දර ගමක්. අදටත් නිවාඩු පාඩුවක් ලැබුණු ගමන් මම ගමේ යනවා. රැකියාව නිසා මේ කාලයේදි මම පදිංචිවෙලා ඉන්නෙ කොට්ටාවෙයි.
මොණරාගල ගමේ ගෙවුණු ඒ ළමා කාලය ආයෙත් මතක් කළොත්?
මට හරිම සුන්දර ළමා කාලයක් තිබුණා. අපි ගමේ හැදුණු වැඩුණු, ඒ පරිසරයත් එක්ක උස් මහත් වුණු කොල්ලෝ. මට ගමේ හොඳ යාළුවෝ පිරිසක් හිටියා. අදටත් ඒ යාළුකම ඒ විදිහමයි. අම්මයි තාත්තයි ගොවිතැන් කරමින් දරුවන් හතර දෙනෙක් උස් මහත් කරනවා කියන්නෙත් ලොකු වගකීමක්. අද මට ඒ දෙන්නා අපි හතරදෙනා වෙනුවෙන් මොන තරම් දුක් වින්ඳද කියලා හිතෙනවා. අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමින් ගොවිතැන් කරපු ඒ දෙන්නා අපිට ආර්ථික අපහසුතා නොදැනෙන්න ගොඩක් මහන්සි වුණා. අපිට ළමා කාලයේදි දුකක් නොදුන්නට අපි වෙනුවෙන් ඒ දෙන්නා දුක් වින්දා කියලා මම දන්නවා. ඒ ආර්ථික අපහසුතා විඳගෙන තමයි ඒ දෙන්නා අපි හතරදෙනාව මේ තැනට ගෙනාවේ. ඒ ළමා කාලය හරි සුන්දරයි.
මංජුල පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?
පුංචි කාලේ එහෙම ලොකු හීනයකට යන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ළමා කාලය ගෙවුණු විදිහත් එක්ක එහෙම ලොකු හීන දැක්කෙ නැහැ. හැබැයි ඉක්මනට අම්මයි තාත්තයි විඳින දුක අඩු කරන්න රැකියාවක් කරන්න ඕනෙ කියන බලාපොරොත්තුව හිතේ තිබුණා. රංගන ශිල්පියෙක්, පොලිස් නිලධාරියෙක් වෙන හීනයක්, බලාපොරොත්තුවක් චූටි කාලෙදි තිබුණේ නැහැ. ඒ හැමදේම දෛවෝපගතව වෙනස් වුණා. මම දැන් පොලිස් තූර්ය වාදක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනවා. ඊට අමතරව රංගන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරගෙන යනවා.
පාසලේදි මංජුල මොන වගේ චරිතයක්ද?
මම ඉගෙන ගත්තෙ මොණරාගල දැලිව මහා විදුහලෙයි. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරැවා. පාසලේදි මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් කටයුතු කළා. ඒ නිසා පාසලේදි මම කැපීපෙනුණු චරිතයක් වුණා. මම සංගීතය හැදෑරැවා. කවදාවත් චූටි කාලෙදිවත් කාත් එක්කවත් රණ්ඩු සරුවල් වෙලා නැහැ. හැබැයි පාසලේ හිටපු දක්ෂ චරිතයක්. අදටත් මම මගේ පාසලට හරි ආදරෙයි. පාසල් වේදිකාවේ රංගන ශිල්පියෙක් විදිහටත් මම කටයුතු කළා.
රංගන ශිල්පියෙක් විදිහට කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
ඇත්තටම මම රංගන ශිල්පියෙක් වුණේ අහම්බෙන් වගෙයි. පාසල් වේදිකාවේ මම දායකත්වය ලබා දීලා තියෙනවා. අපේ තූර්ය වාදක කොට්ඨාසයේ ඉන්න උපාලි රංජිත් යාපා අයියගේ මාර්ගයෙන් මට ජයප්‍රකාශ් සිවගුරැනාදන් මහතාව හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඒ 2009 අවුරුද්දෙ. ඔහු මාව ටෙලිනාට්‍යයක පොඩි කොටසකට සම්බන්ධ කර ගත්තා. එතනින් තමයි රංගන ශිල්පියෙක් විදිහට මගේ ගමන ආරම්භ වුණේ. මුලින්ම මම ටෙලිනාට්‍යයක පොලිස් නිලධාරියෙකුගේ චරිතයකට තමයි දායක වුණේ. එතැන් සිට අද දක්වා මම රඟපෑ බොහෝ චරිත පොලිස් නිලධාරීන්ගේ චරිතයි. අද වෙද්දි මම මේ රටේ ප්‍රවීණ දක්ෂ අධ්‍යක්ෂකවරු බොහොමයකගේ නිර්මාණවලට දායකවෙලා තියෙනවා. මේ වෙද්දි මම ටෙලිනාට්‍ය හැත්තෑවකට පමණ රංගනයෙන් දායකවෙලා තියෙනවා.
කලාවේ මේ තැනට එන්න මංජුල දුක් වින්ඳද?
ඇත්තම කිව්වොත් ඔව්. ගොඩක් දුක් වින්දා. රංගනයට එකතු වුණේ ඒකට තිබුණු ආසාව නිසාමයි. සමහර වෙලාවට පොඩිම පොඩි චරිතයක පොඩි කොටසක් රඟපාන්න දවසක් විතර ගිහින් ඉන්න වුණා. සමහර නිර්මාණවලට දායක වුණත් විකාශනය වෙද්දි පේන්නෙවත් නැති තරම්. ඈතින් ඉන්න කොටසක ඉන්න සිදුවුණු අවස්ථා තිබුණා. හැබැයි ඒ කිසිම වෙලාවක මම හිත රිදවා ගත්තෙ නැහැ. මුල් කාලෙදි අපේ දායකත්වයට කිසිම වටිනාකමක් සමහර නිර්මාණවලදි ලැබුණෙත් නැහැ. හැබැයි ක්ෂේත්‍රයට තිබුණු ආසාව නිසාම මේ ගමන මම අතහැරියෙ නැහැ. ඒ හැම දුකක්ම මම වින්දා. අද ඒ ගැන සතුටුයි.
කරන රුකියාවත් එක්ක රංගනයට සම්බන්ධ වෙන්න පුළුවන්ද?
මේ රැකියාවල් දෙකම මට හරි වටිනවා. පොලිස් තූර්ය වාදක කොට්ඨාසයේ මම ලොකු වගකීමක් තියෙන නිලධාරියෙක්. රංගනයත් ඒ වගේම වගකීමක්. මේ දෙක මම කිසිම වෙලාවක පටලවා ගන්නෙ නැහැ. හැමදෙයක්ම කාල කළමනාකරණය ඇතිව කරනවා.
මංජුලගේ අනාගත බලාපොරොත්තු මොනවද?
බලාපොරොත්තු ඇතිව වැඩ කරන්න පුළුවන් රටක් මේ වෙද්දි අපිට නැහැ. ඒ නිසා මම හිතන්නෙ හොඳම දේ තමයි හැමදෙයක්ම ඉගෙන ගැනීම. හරි දේ හරියාකාරව ඉගෙන ගන්න ඕනෙ. මේ වෙද්දි මම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් චිත්‍රපට කිහිපයකටත් දායකවෙලා ඉන්නවා. චිත්‍රපට පහක පමණ සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. රංජිත් වික්‍රමසූරිය ගුරුතුමාව මම ආදරයෙන් මතක් කරනවා. ඔහු තමයි පාසලේදි මගේ සංගීත ගුරුතුමා වුණේ. රංගන ක්ෂේත්‍රයේ නිර්මාණවලට දායක වෙමින් මගේ රැකියාව කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා.
දිශානි ජයමාලි / සේයාරුව - සුමුදු හේවාපතිරණ