පොඩි කාලයේ ඉඳලම ආච්චි අම්මා තමයි මාව හැම වැඩකටම එක්කගෙන ගියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල දෙරණ විකාශය කෙරෙන ‘‘සිත්’’ නිසා බොහෝ දෙනාගේ ආදරය දිනා  ගන්න මේ පුංචි දියණියගෙ නම සශායා දෙව්නාවි අප්සරාය. මේ ගෙවී ගිය වසර දහය ජීවන කාලයේදී ඇය ටෙලි නිර්මාණය තිහකට යටතේ දායකවීම විශේෂත්වයකි. පෙර පාසල් සමයේ සිටිය දී දැක්වූ දක්ෂතා නිසා එලෙසින් කලා රංගන ක්ෂේත්‍රයට අවතිර්ණ වීමට අවස්ථා විවර වූ බව ඇයගේ මව සඳහන් කරන්නීය. ඉතින් ඒ විස්තර ඔක්කෝම අපි සශායා දෙව්නාවි අප්සරා පුංචි රංගන ශිල්පිනියකගෙන් අහමු.

සශායා දෙව්නාවි අප්සරා, මේ නම් තුනෙන් වඩා කැමති?

මුළු නමටම ආසයි.

ඒත් හැමෝම වගේ මට ආදරේට කියන්නේ ‘සශා’ කියලයි.

ඉතින් සශා ගම කොහෙද?

හෝමාගම.

පාසල් යන්නෙ?

දියගම කනිෂ්ඨ විද්‍යාලයට.

අම්මයි- තාත්තයි ගැන කියමු.

අම්මා නිෂා මධුමාලි. තාත්තා සුදත් රොෂාන්. අම්මා අපේ වැඩ කරගෙන ගෙදර ඉන්නෙ. තාත්තා ගෘහස්ථ අලංකරණ අංශයේ කටයුතු කරන්නෙ. ඉදිකිරීම් ව්‍යාපෘතිවලත් යෙදී  සිටිනවා.

සශා’ට සහෝදරියෝ නැද්ද?

මල්ලියෙක් ඉන්නේ. එයාගේ නම ආදිත්‍ය අභිමාන්.

මතකද  සශායා මුලින්ම ටී.වී එකට ආ විදිය?

පුංචිම කාලයේදී ඉස්සෙල්ලාම මාව ගත්තේ‘කළම්ඹු ටී.වී. එකෙන්. නත්තල් දින වැඩ සටන්වලට පෙනි සිටීමට මට අවස්ථාව දුන්නා. ඊටත් පස්සේ දිදුල ටී.වී ළමා නිවේදනයට එක්වුණා. ඊටත් පස්සේ ඩයලොග් ටී.වි A+ එකේ ළමා වැඩසටහන්වලට දායක වෙනවා.

මේ දිනවල ‘සශා’ට හැමෝගෙන්ම වගේ ආදරය ලැබෙන සිත් නාට්‍යයේ චරිතය මොන වගේ ද කියලා කියන්න කැමති ද?

‘සිත්’ නාට්‍යයේ මගේ චරිතයේ නම, පාරමි. එයා ස්නායු රෝගයකින් පෙළෙන දැරියක්. ඒ නිසා ආබාධිත වෙළා රෝද පුටුවක ඉන්නෙ. එයාට ඇවිදින්නත් බැහැ. ඉතින් ඒ නිසා තමයි මට බොහෝ දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබෙන්නෙ. සමහර නැන්දලා මාමලා මට කියන්නේ. අනේ දුවේ ඔයා චරිතයකදිවත් අපි ඒ විදියට දකින්න බැහැ කියල. මගේ ටිචර්ස්ලත් කියන්නෙ අපි දුවව ඒ විදියට බලන්න ආස නැහැ කියලයි. ඒත් දුව ඒ චරිතය හොඳට කරන නිසා කතාව වගේම දුවගෙ රංගනයත් ලස්සනයි කියලා  එයාලා කියනවා.

ඊට අමතරව කරන වැඩ ගැනත් කියමු?

චන්දන සමරසේකර මාමාගේ ආරියවංශික කියන නාට්‍යයේ සහ තව පෝය නාට්‍ය තුනක රඟපෑවා. ඒවා ඉදිරියේ විකාශය වේවි. ඊට අමතරව මේ දිනවල මියුසික් වීඩියෝ සහ ටී.වී. දැන්වීම්වල රඟපෑමට දායක වෙනවා.  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් භාතිය සහ සන්තුෂ් මාමලා එක්ක කළ ‘D-20’ ගීතයේ දර්ශනවලටත් පෙනී සිටියා. මේ දිනවල ඒක බොහෝ දෙනෙක් නරඹන නිර්මාණයක්. මේ ඔක්කෝම කරන අතරෙදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉදිරියේදී විකාශය කරවීමට නියමිත කොරියානු ඩ්‍රාමා එකක හඬ කැවීම් ශිල්පිනියක ලෙස දායක වීමේ අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්. ඒක නිසා මට හරිම සතුටුයි. මේ දක්වා පෙනි සිටි දැන්වීම් අතරින් ‘හැදෙන රටේ පාට’ දැන්වීම නිසා ගොඩක් දෙනෙක්ගෙන් මට ආදරේ ලැබෙනවා.

එතකොට මේ දක්වා විකාශය වූ නාට්‍ය අතරින් සශායා ගැන වැඩිපුර කතා වුණේ ?

අයි.ටී.එන්. විකාශය වූ සතිවර්සා සහ ඉන්ටර්නැෂනල්  2, නාට්‍ය නිසයි. පුංචිම කාලයේදී කළ ‘සක්කරා’ නාට්‍ය ගැනත් හැමෝම  කතා වෙනවා. මට නර්තනය පුළුවනි. නැටුම් තමා මගේ ප්‍රියතම අංශය. ඉතින් එදා සක්කාරා නාට්‍යයට මාව ගත්තෙත් උඩරට නැටුම් පුළුවන් නිසයි. ලලිත් පැරකුම් සර් නිසා මට මගේ නර්තන හැකියාව දිනෙන් දින හොඳින් පුහුණු කරනවා. ඒ සර් ඉදිරිපත් කළ ප්‍රචණ්ඩ නර්තන ප්‍රසංගයට ඉදිරිපත් වූ නිසා මට සහතිකයකුත් ලැබුණා.

සශායා පොත් එහෙමත් ලියනවාලු නේද?

කතාන්තර පොත් ලියන්න ආසයි. දැන් කීපයක් ලියලා තියෙන නිසා අම්මා කිව්වෙ ඒක ප්‍රින්ට් කරන්න ඕනෑය කියලයි. ඉතින් ඒකටත් මේ දිනවල සූදානම් වෙනවා.

දහම් පාසල් යන්න හරිම ආසලු නේද?

 ඔව්, දහම් පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉඳලාම එක දවසක්වත් නොගිහින් හිටියේ නැහැ. මොන දේටත් වැඩිය මට වැඩියෙන්ම කැමති දහම් පාසල් යන්න. දහම් පාසලේ විභාගවලට පෙනී ඉඳලා විශිෂ්ට සහතික එහෙමත් ලැබුණා. ඒ ගැනත් මට සතුටුයි.

පාරේ ඉන්න සත්තුන්ට කෑම දෙන්න හරිම කැමතියි කියන්නෙ? ඇයි ඒ?

සත්තු පව්, එයාලට කතා කරන්න බැහැනෙ. ඒ නිසා අමමට කියලා කෑම උයාගෙන ගිහින් හෝමාගම අපේ ගේ ගාව ඉදලා ටවුන් එක දක්වා ගිහින් ඒ සෑම තැනකම ඉන්න සත්තුන්ට කෑම බෙදලා දෙනවා. එයාලා කන හැටි දැක්කාම මට හරිම සතුටුයි. අපේ තාත්තා මොන වැඩේ තිබුණත් ඒ වැඩ පාඩු කරගෙන ඇවිත් තාත්තාගේ වාහනයෙන් මාව එක්කගෙන ගිහින් ඒ වැඩේට මට උදව් කරනවා. ඉතින් අසරණ සතුන්ට උදව් කරන එක අනෙක් ළමයින් දකින්න ඕනෑ නිසා ඒක හොඳ දෙයක් නිසා, සමහර ඒවා යු. ටියුබ් එකටත් දානවා. එහෙම කරන්නෙ ඒක හොඳ වැඩක් නිසයි.

එතකොට බිස්කට් අරන් දෙන්නේ කාට ද?

මම අම්මා එක්ක කොහෝ හරි කඩේකට ගියොත් එතැන බල්ලෙක් හරි පූසෙක් හරි හිටියොත් එයාලට දෙන්න කෑම නැති නිසා මම එයාලට බිස්කට් අරන් දෙනවා.

සිත් ’ නෙත්මි නිසා සශයාට වෙච්ච සිදුවීම් එහෙම මතකද?

නෙත්මි, ආබාධිත ළමයෙක්ගේ චරිතයක්නෙ. ඉතින් ඉස්සෙල්ලාම රෝද පුටුවෙ ඉදගන්න කියලා කිව්වම පුංචි චකිතයක් ආවා. මම  හිතන්නේ මට වඩා ඒ චකිතය ආවෙ අපේ අම්මටයි. හැබැයි කොහාමටත් මුල් තැන දෙන්නේ රඟපෑමේ කටයුතුවලට පාසල් වැඩ අතපසු නොවන විදියට, පාසල් යන දිනවල නැතුව සුටිං දාගන්න සංජුල දිවාර්න අයියා උදව් කළා.

සශායා ගේ ප්‍රියතම විෂයය?

බුද්ධාගම. ඊට අමතරව පරිසරයට ආසයි.

 

ඉතින් ඉගෙන ගෙන කවදාහරි මොනවා කරන්න ද කැමති ?

නැටුම් ටීචර් කෙනෙක් වෙන්න.

බත් කන්න හරිම අකමැතිලු. නේද?

මට අම්මගෙන් හදලා ඉල්ලන්නෙම නුඩ්ල්ස්. ආ... මට තවත් දෙයක් ගැන කියන්න පුළුවන් ද?

ඒ මොකක් ගැන ද?

පොඩි කාලයේ ඉඳලම ආච්චි අම්මා තමයි මාව හැම වැඩකටම එක්කගෙන ගියේ. එයාට මොන වැඩේ තිබුණත් ඒක පැත්තකට දාලා මගේ වැඩේ වෙනුවෙන් ආවා. ආච්චි අම්මාව මේ වෙලාවේ මතක් කරන්නම ඕනෑ.

සශායා’ ගැන සශායාට තව මොනවද කියන්න තියෙන්නෙ?

සෑම ගුරුවරයෙක්ම මට හරිම ආදරෙයි. ඒ වගේම හැමෝටම උදව් කරන්න කැමතියි. ලංකාවේ හැමෝටම මම ආදරෙයි. මගේ නංගිලා මල්ලිලට කියන්නේ එදා පාසලේ දෙන ගෙදර වැඩ එදාම කරන්න.  පහුවදාට කල්දාන්න එපා. එදා පාඩම්  එදාම කළාම අපට විභාගයට ලියන්න ලෙහෙසි වෙනවා.

සඳුන් ගමගේ