පූජා උමාශංකර්ගෙ ඔළුවට අත තියද්දි මගේ අතපය වෙව්ලුවා
-
පූජා අක්කා මට කිව්වා බයවෙන්න එපා මම ඔයාගෙ අක්කා කියලා හිතන්න කියලා
-
මාලනී ෆොන්සේකා තරම් පංච කල්‍යාණයක් තියෙන ලස්සන ගැහැනියක් මම තවම ලංකාවෙ දැකලා නැහැ
ඇගේ හිස මත අත තබද්දී ඔහු මොහොතක් දෙකක්. නැහැ ඊටත් වඩා දිගු කාලයක් වෙව්ලා ගියේය. ඔහුගේ අතැඟිලි අහේතුක හේතුවකින් සසැලිණි. සිහිනයේ රැඳි සොඳුරු කුමරිය අභිමුව කුමරෙකුට එසේ විය හැකිද? ඔහුගේ සිහින තුළ ඈ සිටියේ ඔහු දුටු සොඳුරුතම රුවක් හිමි නිළියක ලෙසය. ඔහු පෙම් කළේ යුවතියකට හෝ ගැහැනියකට නොව ඒ නිළියටය. ඉතින් නොසිතූ තත්ත්පරයක ඈ හිස මත අත තබන්නට ලැබෙන මොහොතේ ඔහු අතත්, ඔහු සිතත්, හදගැස්මත් වැයෙන වෙණ තතක් පරිද්දෙන් වෙව්ලා යනු අසනුම කුමටද? Hair by Haroon අයිතිකාරයා Haroon Shaideen හදසර ආලින්දයේ කතාබහට එන්නේ ඒ ගැන වගේම තව බොහෝ දේ ගැන කතා කරන්නයි.
Q ගැහැනුන් පිරිමින් ලස්සන කරන කෙනෙක් වෙන්න හිතුණේ ඇයි?
පුංචි කාලෙ ඉඳන්ම මේ ක්ෂේත්රයට ලොකු ආසාවක් තිබුණා. ඒත් මගේ අම්මයි තාත්තයි කැමති වුණේ නෑ මම මේ ක්ෂේත්රයට එනවට. ඒකයි තරුණ කාලය පොඩ්ඩක් විතර පහුවෙනකම් මේ ක්ෂේත්රයට එන්න මට ඉන්න වුණේ. අම්මයි තාත්තයි දෙන්නම ඉගෙනගෙන හොඳ රැකියාවන් කරපු දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා හීන මැවුවේ මමත් ඒ අය නියැලෙමින් හිටපු ක්ෂේත්රවල ඉදිරියට යනවා දකින්න. ඒත් මම කැමති වුණේ මේ ක්ෂේත්රයට. මම ඉගෙන ගත්තෙ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ. අම්මගෙත් තාත්තගෙත් කැමැත්තට අනුව මම ඇත්තටම හොඳට ඉගෙන ගත්තා. මගේ පළවෙනි රැකියාව වුණේ විදේශීය ගුවන් සමාගමක රැකියාවක්. ඒත් මට තේරුණා මම ඒ නියැලිලා ඉන්නෙ මම හොයන ආත්ම තෘප්තිය ලැබෙන රැකියාවේ නෙවෙයි කියලා. රැකියාව කොච්චර හොඳ වුණත්, උසස් වුණත් තමන් හොයන සතුටයි ආත්ම තෘප්තියයි තමයි වැදගත්ම දේ.
Q ඒ සතුට සහ ආත්ම තෘප්තිය වෙනුවෙන් ගුවන් සමාගම් සේවකයා ඊළඟට ගත්ත තීරණය මොකක්ද?
මම අම්මටයි තාත්තටයි කිව්වා මම යනවා ලංකාවට කියලා. මම ලංකාවට ඇවිත් Hari dressing ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ තමයි මම වැඩියෙන්ම ආසා කරපු දේ. ඒත් එක්කම Makeup artist කෙනෙක් විදිහටත් වැඩ කරන්න ඉගෙන ගත්තා. මම කාගෙවත් සේවකයෙක් විදිහටවත් සහායකයෙක් විදිහටවත් රූපලාවණ්‍යාගාරයක වැඩ කරලා නෑ. මම තනියෙන්ම තමයි වැඩ කරන්න පටන් ගත්තෙ. චිත්‍රපටවලත් Hair dressing, කරන්න මම පටන් ගත්තෙ තනියෙන්මයි.
Q සිහින කුමාරිය මුණගැහුණෙ ඒ කාලෙද?
සිහින කුමාරිය කියන්නෙ මගේ ප්‍රියතම නිළියක් වුණු පූජා උමාශංකර්ටද?
Q ඔව්?
පූජා අක්කව මට මුණගැහීමත් අහම්බයක්. මම ආර්ටිස් කෙනෙක්ගෙ කියලා කෙනෙක්ගෙ ඔළුවකට ඉස්සරෝම අත තිබ්බා නම් ඒ අත තිබ්බෙ පූජා අක්කගේ ඔළුවට. ඒ ඔළුවට අත තියලා පටන් ගත්ත ගමන තමයි මෙච්චර දුරක් අද ආවෙ.
Q ඒ කාලෙ වෙද්දි පූජා උමාශංකර් කියන්නෙ අතිශය ජනප්‍රිය නිළියක්. ඒ වගේ නිළියකගෙ ඔළුවට අත තියන්න, ඒ හිසකෙස් සකසන්න ලැබෙද්දි මොනවගේ හැඟීමක්ද හිතට ආවේ? ඇත්තටම අත් දෙක වෙව්ලුවද?
ඇත්තටම මගේ අත පය වෙව්ලනවා වගේ දැනුණා. පූජා අක්කා දැක්ක ගමන් මාව නිකම් ගල් ගැහුණා වගේ වුණා. පුංචි කාලෙ ඉඳන් මගේ ඔළුවෙ තිබුණු හැඟීමක් තමයි පූජා උමාශංකර් දකින්න තියෙනවා නම් කියන හැඟීම. ඇත්තටම පූජා අක්කා ගැන මගේ හිතේ කාලයක් ඉඳන්ම මොකක්ද උන්මාදයක් තිබුණා. මම හරි ආසයි ඒ කාලෙ ඉඳන්ම පූජා උමාශංකර් කියන නිළියට. මගේ යාළුවෙක් හිටියා පූජා කියලා. ඒ පූජා කතා කළත් මම මගේ යාළුවන්ට කියන්නෙ මට මේ පූජා උමාශංකර් කතා කරනවා කියලා. එතකොට පූජා උමාශංකර්ව මට හම්බවෙලාවත් නෑ. එහෙම ඉද්දි නොහිතපු වෙලාවක පූජා අක්කව හම්බවෙද්දි මාව ගල් ගැහෙන එක අහන්න දෙයක්ද? මීට අවුරුදු දහයකට දොළහකට ඉස්සර ආර්ටිස් කෙනෙකුට තිබුණු ආසාව දැන් කාලෙ ආර්ටිස් කෙනෙකුට මිනිස්සුන්ගෙ තියෙන ආසාවට වඩා හුඟක් වැඩියි. මගේ අම්මගෙ කාලෙ මාලනී ෆොන්සේකා කිව්වම මිනිස්සු දක්වපු ආසාව ඊටත් වඩා ගොඩක් වැඩියි. ඒ අය දැන් වගේ නිතර දකින්න නෑ. ඉතින් නළුවෙක් නිළියෙක් හැබැහින් දකිනවා කියන්නෙ මාර එකක්. මට පූජා දැක්ක ගමන් හිතුණා වාව් බුදු අම්මෝ ඇත්තටමද මම මේ පූජාව දකින්නෙ කියලා. පින්තූරවල දකිනවා වගේමයි හැබැහින් එයා හරිම ලස්සනයි. ඒ හිනාව හරිම ලස්සනයි.
Q පූජා ඉස්සරෝම ඔයාට කියපු දේ මතකද?
මල්ලි මම ලොකු කෙනෙක් කියලා හිතන්න එපා. ආර්ටිස් කෙනෙක් කියලා හිතන්නත් එපා. මම ඔයාගේ අක්කා කියලා හිතලා මගේ කොණ්ඩෙ කරන්නකො කිව්වා.
Q ඔයා ඉස්සරෝම පූජාව දැක්ක ගමන් කිව්වෙ මොකක්ද?
මම කිව්වෙ මට පුදුමයක් ඇත්තටම ඔයාව මෙහෙම දකින්න හම්බවෙච්ච එක මට මාර සප්‍රයිස් එකක් කියලා.
Q කොහෙදිද එයාව හම්බවුණේ?
ශෙරිල්ගෙ සැලුන් එකේදි. එයා තමයි මගේ Hair dressing ටීචර්.
Q පූජාගේ කොණ්ඩෙ සකසන්න එදා කොච්චර වෙලාවක් ගියාද?
එච්චර වෙලාවක් ගියෙ නැහැ. ඒ දවස්වල ශෙරිල්ගෙ හොඳම ගෝලයෙක් වුණේ මම. ඒ නිසාම තමයි ශෙරිල් මට පූජා අක්කගෙ කොණ්ඩෙ හදන්න දුන්නෙ.
Q පූජාත් එක්ක ඒ මොහොතෙ ඇතිවෙච්ච යාළුකම මේ මොහොතෙත් ඒ විදිහටම තියෙනවද?
අනේ ඔව්. එදා ඉඳන් අද වෙනකම්ම ඒ සුහදතාවය ඒ විදිහටම තියෙනවා. එදා ඉඳන් අද වෙනකම්ම පූජා අක්කා අවශ්‍ය හැම තැනකදීම ලස්සන කරන්නත් මට පුළුවන් වුණා.
Q පූජා හැරුණුවිට ඔබේ ජීවිතේදි හමුවූ ඔබ වඩාත් ආදරය කරන, ගරු කරන කලා ශිල්පීන් කවුද?
අංක එකට පූජා උමාශංකර්ට තියෙන ආදරය නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඒ තරම්ම කොලිටීස් තියෙන ලස්සන හිතක් තියෙන නිරහංකාර හරිම මිත්‍රශීලී කෙනෙක් එයා. පූජාට පස්සෙ යශෝධරා ෆිල්ම් එකේදි හම්බවුණු පල්ලවී සුභාෂ්ටත් මම හරි කැමතියි. ඉන්දියානු කලාකරුවන් හැමෝමත් එක්ක එහෙම සුහද වෙන්නෙ නැහැ. එහෙම වෙන්නෙ එයාලගේ තරු ගුණය ආරක්ෂා කර ගන්න ඕනෑ හින්දා. ඉන්දියාවෙ ආර්ටිස්ලට සලකන්නෙ දෙවිවරුන්ට වගේ. ඒ රටේ කලාකරුවෙක්ව ඕනෑ ඕනෑ තැන්වල ඕනෑ ඕනෑ විදිහට දකින්න බෑ. එයාලා එක්ක සෙල්ෆි ගන්න බෑ, ෆොටෝ ගන්න බෑ. එයාලා එකපාරටම පෙනිලා යනවා විතරයි. පල්ලවී ඇවිත් මරාටි නිළියක්. එයා බොලිවුඩ් ස්ටාර් කෙනෙක් නොවුණත් එයාලා එයාලගෙ ආධිපත්‍ය තියන් ඉන්නවා. මම නිළියක් කියන හැඟීම ඒගොල්ලො තුළ ලොකුවට තියෙනවා. අදටත් පල්ලවී මාත් එක්ක හරි සුහදයි. හැබැහින් ඇත්තටම එයා හරි ලස්සනයි.
Q ගැහැනියගෙ ලස්සන කියන දේ ඔබ කොහොමද දකින්නෙ? ඔබට ඒ ලස්සනයි කියන දේ දැනෙන්නෙ සහ ඒ ලස්සන නිර්වචනය කර ගන්නෙ කොහොමද?
කැතයි කියලා කෙනෙක් නෑ මේ ලෝකෙ. හැමෝටම ආවේණික වෙච්ච ලස්සනක් තියෙනවා. කොච්චර කළු වුණත් කළු කෙනෙක්ගෙත් ඒ Beauty එක තියෙනවා. ලෝකයේ බ්ලැක් බියුටීස්ලා ගොඩක් ඉන්නවා. තලෙළු හම, දුඹුරු පාට හම, කළු හම ඇත්තටම හරි ලස්සනයි. අපේ ලංකාවෙ අය හිතනවා සුදු වුණාම තමයි ලස්සන කියලා. ඒක වැරදියි. සුදු අය වගේම තලෙළු, දුඹුරු, කළු හම ඇති අයත් හරි ලස්සනයි. හොඳම ස්කින් ටෝන් එක තමයි ආසියානු දුඹුරු පැහැය. කෙනෙක්ගෙ ලස්සන දකින්න ඕනෑ හමේ පාටින් නෙවෙයි ඒ කෙනාගෙ ෆීචස්වලින්. මූණක ලස්සන එන්නෙ ඇස් දෙකෙන්, නහයෙන්, ඇහිබැමෙන්, තොල්වලින්. සමහරු ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙන්න දඟලනවා. ඒක නම් ඇත්තටම පිස්සුවක්.
Q ලංකාවෙ දැකපු කලාකරුවන්ගෙන් පංච කල්‍යාණයම තියෙන බව දැක්ක නිළියන් ඉන්නවද?
මාලනී ෆොන්සේකා පංච කල්‍යාණයම තියෙන නිළියක්. එදත් අදත් වයසට ගියත් ඒ ලස්සන අදටත් තියෙනවා. මාලනී ෆොන්සේකාගෙ තියෙන ලස්සන ලංකාවෙ වෙන කිසිම ගෑනියෙක්ගෙ මම දැකලා නෑ. ඒ හිනාව හරි ලස්සනයි. ඒ වගේම හරිම ළෙන්ගතු ලස්සන හදවතක් තියෙන ගැහැනියක් ඇය.
Q ඔබ කොණ්ඩය සකසන්න සහ හැඩගන්වන්න කැමතිම නළුවන් නිළියන් ඉන්නවද?
හේතුව මම දන්නෙ නැහැ. මගේ ළඟට එන්නෙ ලංකාවෙ ඉන්න හොඳම කට්ටිය. හැමෝම මාත් එක්ක ඉක්මනින් යාළු වෙනවා. කවුරු මගේ ළඟට ආවත් මම එයා දිහා ටිකක් වෙලා බලන් ඉන්නවා. එහෙම බලන් ඉන්නෙ ඉස්සෙල්ලම මම මේකප් එක කළාට පස්සෙ ෙකාණ්ඩය හැදුවට පස්ෙස් එයාගෙ මතුවෙලා එන ලස්සන චිත්‍රයක් වගේ හිතින් දකින්න. ඒ චිත්‍රය මම ඉස්සෙල්ලා ඔළුවෙ ඇඳගන්නවා. ඒ ඇඳපු චිත්‍රය තමයි කොණ්ඩයෙන් මේකප් එකෙන් මම අවසානයෙ මතු කරලා ගන්නෙ.
Q කෙනෙක් ලස්සන කළාට පස්සෙ අවසානයෙ දැනෙන හැඟීම මොකක්ද?
මේ වෘත්තිය කියන්නෙ සල්ලිවලින් විතරක් සතුටු වෙන්න පුළුවන් වෘත්තියක් නෙවෙයි. මගේ අතින් කෙනෙක් ලස්සන වෙනවා දැකලා මම ලබන ආත්ම තෘප්තිය තමයි වටිනාම දේ. ඒකට කවදාවත් මිලක් නෑ. මිලක් කියන්නත් බෑ. මිලක් තක්සේරු කරන්නත් බෑ.
Q ඒ සතුට වෙනුවෙන් හීන තියෙනවද?
මම ආසයි මගේ සැලුන් එක පුරාම හැමතැනම මම ලස්සන කරපු හැම කෙනෙක්ගෙම පින්තූර මට පේන හැම තැනකම සිවිලිමෙත් එක්ක ගහලා තියන්න. හැම මොහොතකම ඒවා දකිනකොට එන සතුට ජීවිතේ වෙන කිසි දේකින් ලබන්න බෑ. මට ඒ පින්තූර දිහා බලන් ඉද්දි කොහෙන් හරි පුංචි අඩුපාඩුවකුත් පේනවා. අනේ මේක තව ටිකක් මෙහෙම වුණා නම් හිතෙනවා. මම හිතන්නෙ ඒක මට විතරක් නෙවෙයි ඕනෑම Hair dresser කෙනෙක්ට මේකප් ආර්ටිස් කෙනෙක්ට හිතට එන හැඟීමක්. මට ඇත්තටම ලැබෙන ප්‍රතිචාරත් හිතාගන්න බෑ. වාව් පුදුම ලස්සනක්, අනේ ලස්සනයි මට හිතාගන්න බෑ, තැන්ක්යූ වගේ දේවල් කියලා මම ලස්සන කරපු කෙනෙක්ගෙන් මැසේජ් එද්දි දැනෙන සතුට කියාගන්න බෑ. ඒක තමා මගේ ජීවිතේ මම විඳින ලොකුම සතුට. මම උදේ නැගිටලා ඇෙඳන් බහින්නෙත් රෑට නිදාගන්න යන්නෙත් මගේ ක්ෂේත්රයට අදාළව ලෝකේ අලුතින් යාවත්කාලීන වෙලා තියෙන්නෙ මොනවද කියලා බලමින්. මගේ මුළු ලෝකෙම මේ වෘත්තිය විතරයි.
Q විදේශයක ඉඳලා ලංකාවට ආව ඔබ හුඟක් අය ලංකාවෙන් යන පසුබිමක් නිර්මාණය වෙච්ච මේ කාලෙදි ආයේ ලංකාවෙන් යන්න ඕනෑ කියලා හිතලා නැද්ද?
අනේ නෑ. මම ලංකාවට හරි ආසයි. මගේ අම්මා සිංහල බෞද්ධ කාන්තාවක්. තාත්තා ඉස්ලාම් භක්තික මුස්ලිම් ජාතිකයෙක්. ඒත් ඒ අය හරි මැද මාවතක ඉන්න අය. මම හැදුණෙ බෞද්ධ පරිසරයක. මගේ තාත්තගේ නෑදෑයො හැමෝම වගේ ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ. මට යනවා නම් ඕනෑ තරම් විදේශගත වෙන්න අවස්ථාව තියෙනවා. ඒත් මම මට කියලා නමක් හදාගත්තෙ, අනන්‍යතාවයක් හදාගත්තෙ ලංකාවෙදි. ඒ හදාගත්ත නම දාලා යන එක අපරාධයක් කියලා මම හිතන්නෙ. මම හිතන්නෙ තියෙන නම රැකගෙන අපේ රටේ මිනිස්සුන්ට සේවයක් කරගෙන අම්මා තාත්තා බලාෙගන ෙම් තනිකඩ ජීවිතය විඳිම්න් මේ රටේම ඉන්න එක හොඳයි කියලා.
Q ඔබ බොහෝ චිත්‍රපටවල කොණ්ඩය සැකසීමේ ශිල්පියා ලෙස කටයුතු කළා. ඔබේ වෘත්තිය ලාංකික චිත්‍රපට කලාව සමඟ සම්බන්ධ වූ තැන් ගැන කතා කරමු?
අන්තිමට කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ සමර් වර්මානි සහ සොනක්ෂි සිං රාවට් ලස්සන කළේ මම. සුනිල් ආරියරත්න සර්ගෙ තුන්වැනි ෆිල්ම් එකේ තමයි මම ඒ විදිහට කොණ්ඩ සැකසුම් ශිල්පියා විදිහට වැඩ කළේ. යශෝධරා, විජයබා කොල්ලය දෙකේ නළු නිළියන් හැඩ කළේ මම. සුනිල් සර් එක්ක වැඩ කරන්න ලේසියි. සර් මට පූර්ණ නිදහස දීලා තිබ්බා. සර්ට හැම වෙලේම ඕනෑ අලුත් දෙයක්. යශෝධරා චිත්‍රපට කරද්දි එහි කොණ්ඩ මෝස්තර ඔක්කොම මම හිතලා මම කැමති දේවල් කළේ. ඒ ඇවිත් බුදු හාමුදුරුවන්ගෙ කාලය. මම වැඩකට අත ගැහුවට පස්සෙ මගේ ඔළුවට නානප්‍රකාර දේවල් එනවා. සිදුහත් කුමාරගේ ස්වයංවරය තියෙන දර්ශනයේදි යශෝධරාවට මම දාපු කොණ්ඩය දැකලා එතැන හිටපු කිහිප දෙනෙක් කිව්වා මේක රෝම ශිෂ්ටාචාර කොණ්ඩයක් වගේ කියලා. මට එකපාරටම බය හිතුණා සර් මොනවා කියයිද කියලා. මම සර්ට කිව්වා සර් අරගොල්ලො මෙහෙම දෙයක් කිව්වා, සර්ට කොහොමද කියලා. සුනිල් සර් කිව්වා හොඳටම හොඳයි, ඔහොම තියන්න ඔහොම තියන්න කියලා. ඕක වෙනස් කරන්න එපා, ඕක වෙනම එකක් කියලා.
Q ආව ගමනෙදි පහුකරන් ආපු තැන් හුඟක් ඇති. කාටහරි ස්තූතියි කියලා කියන්න හිතෙනවද?
මගේ අම්මා තාත්තා හැරුණුම පූජා උමාශංකර්ට, සුනිල් සර්ට, ප්‍රියන්ත දිසානායකට, නාරද තොටගමුවට, හර්ෂ මංජුලට, නම්වලින් කියන්න අමතක වුණු මට වචනෙකින් හරි උදව් කරපු, ආශිර්වාද කරපු හැම කෙනෙකුටම මම ස්තූතියි කියනවා.
I සංජීවිකා