නළුවෙක් වුණා නම් මරු කියලා හිතුණා - ඉෂාන් මෙන්ඩිස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉෂාන්.... වෙනස්ම චරිතයකට සූදානම් වෙනවා. රහස් පරීක්ෂකවරයෙක් වෙන්නද කල්පනාව...?

ඔව්නේ... පොඩි වෙනස් තාලේ වැඩක් පටන් ගත්තා. ඒකේ නම The Last Breath (අවසන් හුස්ම) කියලයි. තරුණියන් බිලිගත් දාමරිකයෙකුගේ කතාවක් විදිහට ඒක හඳුන්වන්නේ. ඒක අධ්‍යක්ෂණය කරන්නේ සුරේන් ධනංජය රාජපක්ෂයි. දෙසැම්බර් මස හත්වෙනි බදාදා රාත්‍රී 9 සිට එම කතාව You tube එකෙන් බලන්න පුළුවන් වේවි. ඒක වෙනස් විදිහේ වැඩක්. මම නාත් කියන චරිතය රඟපානවා. ඔහු මහාචාර්යවරයෙක්. මැරුණු මළසිරුරක් තියාගෙන ඒකට පණගන්නා විවිධ පර්යේෂණ කරන කුතුහලයත් එක්ක මුසුවුණ අපූරු නිර්මාණයක් විදිහට මම මේ නිර්මාණය හඳුන්වනවා. කැලයක් ඇතුළේ රූගත කිරීම් කෙරුණේ වෙනස් අත්දැකීම් රාශියක් එක්ක විකාශනය වෙන නිර්මාණයක්. මේක නිදහසේ වචන පාවිච්චි කරමින් You tube එකෙන් බලාගන්න පුළුවන් නිර්මාණයක්.

මීට අමතරව ඉෂාන් මේ දිනවල නියැලිලා ඉන්න නිර්මාණ මොනවාද?

පසුගිය දිනවල බන්ධනා, මාණික්කාවත විකාශනය වී අවසන් වුණා. ශක්ති රූගත කිරීම් කරනවා. ඊට අමතරව තවත් නිර්මාණයකට ඉදිරියේදී දායක වෙන්න සූදානමින් ඉන්නවා.

ඉෂාන් වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නෙමෙයි...?

ඔව්... මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නෙමෙයි. මම රාජ්‍ය ආයතනයක සේවය කරන රාජ්‍ය නිලධාරියෙක්. ඒ මගේ වෘත්තිය. හැබැයි කලාවට මම හරි ආදරෙයි.

නළුවෙක් වීම ඉෂාන් පුංචි කාලේ දැකපු හීනයක්ද?

නැහැ. මට පුංචි කාලේ නළුවෙක් වීමේ හීනයක් තිබුණේ නැහැ. මම පුංචි කාලේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න හීන දැක්කා. එක වසරේ සිට මම චිත්‍රවලට දක්ෂයි. මම ඉගෙන ගත්තේ කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලෙයි. මම සමස්ත ලංකා චිත්‍ර තරගවලින් ජයග්‍රහණ පවා අරගත්තා. පුංචි කාලේ ඉඳන් චිත්‍ර කරපු මම දහය වසරෙන් පසුව ක්‍රීඩා පැත්තට වැඩි නැඹුරුවක් දැක්වූවා. ක්‍රීඩා පැත්තෙන් ජයග්‍රහණ ලබාගත්තා. කොහොම හරි උසස් පෙළ කරද්දී නළු පිස්සුව ඔලුවට ගැහුවා. පාසැලේ නාට්‍ය හා රංගකලාව විෂයක් විදිහට තිබුණේ නැහැ. නමුත් පුංචි කාලේ ඉඳන් ජනප්‍රිය වීමේ වුවමනාවක් මට තිබුණා. ඒ නිසාම තමයි මම ක්‍රීඩා හා චිත්‍ර කලාවත් කළේ. උසස් පෙළ කරද්දී "නළුවෙක් වුණා නම් මරු" කියන අදහසක් මට ඇතිවුණා. ඒ අදහසට මඟ පෑදුනේ මගේ විශ්ව විද්‍යාලයේදීයි.

විශ්ව විද්‍යාල ජීවිතේ කොහොමද?

මරු. මම ඉගෙන ගත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙයි. මෙතුවක් කල් ආපු ජීවිතේ සුන්දරම කාලය මම විශ්ව විද්‍යාල ජීවිතෙන් ලැබුවා. මම කට්ටිය එක්ක "හොස්ටල්" එකේ හිටියා. නවකවදයට මුහුණ දුන්නා. නවකවදය කට්ටියට දුන්නා. ඒවා හරි සුන්දර මතකයන්. විශ්ව විද්‍යාලයට ගියපු බොහෝ දෙනෙක් ඒ අවශ්‍ය අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගන්නවා. හැබැයි ඒ අතරින් මාත් අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකාරකම්වලටත් සම්බන්ධ වුණා. වේදිකා නාට්‍ය රංගනයට විශ්ව විද්‍යාලය හරහා මට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි රංගන ජීවිතේ ආරම්භය වුණේ.

පාසැලේදී මොන වගේ චරිතයක්ද?

පාසැලේදී දඩබ්බරකම් තිබුණා. හැබැයි කලාව පැත්තට පොඩි බර ගතියක් තිබුණා. මගේ පවුලේ අයියයි, මල්ලියි, මමයි හිටියේ.කොල්ලොම තුනක්. අපි තුන්දෙනා පුංචි කාලේ හරි දඟයි. ඇති පදමට ගහගත්තා. හැබැයි අපේ සහෝදරකම අදටත් හොඳට තියෙනවා. මගේ අයියා ඉංජිනේරුවෙක්. මල්ලී පෞද්ගලික ආයතනයක සේවය කරනවා.

ඉෂාන් රඟපෑ චිත්‍රපට ගැන කතා කළොත්?

චිත්‍රපටත් කිහිපයකට රඟපෑවා. මෑතකදී රංජන් ප්‍රසන්නගේ "විසංගමනය" නම් චිත්‍රපටය තිරගත වෙන්නට නියමිතව තියෙනවා.

වෘත්තියත් සමඟ කලා කටයුතු කරගෙන යන්නේ කොහොමද?

වෘත්තිය නිසා හොඳ නිර්මාණ අතහැරුණු අවස්ථා තිබෙනවා. හැබැයි කලා කටයුතු නිසා මම කිසිම වෙලාවක මගේ වෘත්තීය කටයුතුවලට බාධා කරගත්තේ නැහැ. අද කාලේ එක නාට්‍යයකට එක දිනයක් දුන්නහම ඇති. අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක, තිබෙන වියදම් එක්ක බොහෝ නිෂ්පාදකවරුන් එක රංගන ශිල්පියෙක්ගෙන් ශිල්පිනියෙක්ගෙන් එක දවසකට පුළුවන් උපරිමයෙන්ම කොටස් රූගත කරගන්නයි උත්සාහ කරන්නේ. අද වෙද්දී දවස් දෙක තුනකින් මාසයකම කොටස් රූගත කිරීම් කරන ක්‍රමවේදයක් තමයි තිබෙන්නේ. ඒ නිසා රස්සාවත් එක්ක කලා කටයුතු සමබරව කරගෙන යන්න පුළුවන්කමක් තිබෙනවා.

අද වෙද්දී ඉෂාන් රංගන ශිල්පියෙක් විදිහට තෘප්තිමත්ද?

ඔව්... දැනට මම කලාව සම්බන්ධයෙන් තෘප්තිමත්. මට ලැබුණ චරිත මගේ වාසනාවට හැම පැත්තෙන්ම ආවරණය වෙන විදිහට මට ලැබිලා තියෙනවා. මම කිසිම චරිතයකින් කොටු වුණේ නැහැ. ඒ නිසා කලා ක්ෂේත්‍රයේ මම දැන් අවුරුදු දහඅටක් වගේ කාලයක්  රැඳිලා ඉන්නවා. ලැබුණ චරිත අඩු වුණත් ඒ ලැබුණ චරිත ගැන අද මම තෘප්තිමත්. ලබපු අත්දැකීම් බොහෝයි.

දිශානි ජයමාලි