නොසිතුව මොහොතක සම්මානයක් - ඉෂාරා සඳමිණි
ඉෂාරා අද නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි, ආයුර්වේද වෛද්‍යවරියක්. හැබැයි තම රංගනය වෙනුවෙන් මුල්ම සම්මානය ලැබුණු දිනය ඇයට කවදාවත් අමතක වෙන්නෙ නැහැ කියලයි ඉෂාරා කියන්නෙ. ඇය කියන්නෙ ජීවිතේ කවදාවත් සම්මානයක් බලාපොරොත්තු නොවුණු මොහොතක ලැබුණු ඒ සම්මානයට අදටත් ඇය ආදරේ කරන බවයි.
ඔන්න ඉතින් ඉෂාරාට සම්මාන උළෙලකට ආරාධනා පත්‍රයක් ලැබුණා. ඒ කියන්නෙ Invitation එකක්. ඉෂාරා කියන විදිහට ඒක එක පාරක් විතරක් නෙමෙයි, දහ පාරක් විතර ඇය කියවලා තියෙනවලු. ඒ තරමටම ඒක සප්‍රයිස් එකක් කියලයි ඇය කියන්නෙ. හැබැයි ලැබිලා තියෙන්නෙ එක ආරාධනා පත්‍රයක් විතරයි. ඒ SLIM Nelsen Peoples Awards උළෙලටයි. ඒ 2016 අවුරුද්දෙ.
''මට එවලා තිබුණෙ එක ආරාධනා පත්‍රයක් විතරයි. තනියම යන්නත් බැහැනෙ. ඒ නිසා අනුරට ටිකට් එකක් අරගෙන අපි දෙන්නම එදා බත්තරමුල්ලෙ Water-edge හෝටලයට ගියා. ඒ මගේ මුල්ම සම්මාන උළෙලට සහභාගි වුණු දවසයි. හැබැයි සම්මානයක් ලැබෙයි කියලා නම් තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.''
ඔන්න ඉතින් සම්මාන උළෙලෙදි වසරේ ජනතාවගේ ටෙලිනාට්‍ය නිළිය (People’s Tele drama actress of the year) සම්මානයට නම කියද්දි කියලා තියෙන්නෙ %ඉෂාරා සඳමිණී^ කියලයි. ඒක නම් ඉෂාරාට සප්‍රයිස් එකක්ම තමයි. කොච්චර සතුටු වුණාද කියනවා නම් එදා රෑ ඉෂාරාට නින්ද ගිහිල්ලත් නැතිලු. ඊටපස්සෙ සම්මාන උළෙලවලදි ඉෂාරා සම්මාන ලබාගත්තත් අදටත් ඇයට ඒ සප්‍රයිස් සම්මානය හොඳට මතකයි.
චූටි දුවක් කිව්වම ඩොක්ටර්ස්ලාට වැරදිලාලු!
අද ඉෂාරායි අනුරයි පුංචි දියණියකගේ දෙමව්පියන්. දැන් දුවට අවුරුදු පහකට ළඟයි. හැබැයි කුළුදුලේ ඉපදුණු මේ පුංචි දියණිය කුසේ ඉඳිද්දි නම් ඉෂාරා ආසාවෙන් ඉඳලා තියෙන්නෙ පුතෙක්ට. අම්මා පුතෙක්ව පැතුවත් තාත්තා නම් පැතුවෙ දුවෙක්වලු.
ඔන්න ඉතින් වෛද්‍යවරුන් මාස කිහිපයකට පස්සෙ ඉෂාරාට ස්කෑන් පරීක්ෂණයක් කරලා.
''ඩොක්ටර් ස්කෑන් එක බලලා ''ඔයාට චූටි දුවෙක්'' කියලා කිව්වා. අනුර නම් ගොඩක් සතුටු වුණා. හැබැයි ගෙදර ඇවිල්ලා මම අනුරට කිව්වෙ ''ඩොක්ටර්ස්ලට වැරදිලා ඇති. හරියට පේන්නෙ නැතිව ඇති'' කියලයි. කොහොම හරි ඉතින් අපිට දුවෙක් තමයි ඉපදුණේ. හැබැයි දැන් නම් චූටි දුව තමයි අනුරගෙයි මගෙයි ලෝකයම වෙලා තියෙන්නෙ.''
මාස තුනේදි එයා තනියම දාලා ගියා
ඉෂාරා දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. හැබැයි උපාධිය සම්පූර්ණ කරන්න ටික කාලයක් ගියා කියලයි ඉෂාරා කියන්නෙ. වෛද්‍ය ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගත්ත කාලෙදි ඇය ඉතා ජනප්‍රිය කලාකාරියක්. එකදිගට නිර්මාණවලට ආරාධනා ලැබුණා. සමහර දිනවල එක වෙලාවට රෑපවාහිනියේ නාලිකා කිහිපයකම ඉෂාරා රඟපාන ටෙලිනාට්‍ය විකාශය වුණා. ඒ නිසාම අධ්‍යාප කටයුතු මඳක් ප්‍රමාද වුණා කියලයි ඉෂාරා කියන්නෙ. කොහොම කොහොම හරි අද වෙද්දි ඇය ආයුර්වේද වෛද්‍ය උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කළ ආයුර්වේද වෛද්‍යවරියක්.
ඔන්න ඉතින් උපාධි සහතිකය දුන් උත්සවය තිබිලා තියෙන්නෙ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙදි. ඒ වෙද්දි ඇගේ පුංචි දෝනිට මාස තුනයි. අම්මගේ මව් කිරි බොන පුංචි පැටියෙක්. හැබැයි ඉතින් උත්සවයට චූටි දෝනිව අරගෙන යන්න බැහැනෙ.
''මාස තුනේදිත් චූටි දූවට මගේ කිරි විතරයි දුන්නෙ. ඒ වෙද්දි එයා මම නැතිව කොහේවත් එළියට ගිහිනුත් නැහැ. මම එයාව දාලා කොහේවත් එළියට ගිහින් තිබුණෙත් නැහැ. හැබැයි ඉතින් උත්සවයට දුවව එක්කගෙන යන්න බැහැනෙ. ඒ නිසා මගේ කිරි බෝතල්වලට දොවලා ශීතකරණයේ තියලා තමයි එදා මම උත්සවයට ගියේ. එදා දුවව අනුරගේ අම්මා බලාගත්තා. අනේ.. කොච්චර සතුටුදායක දවසක් වුණත් දුවව තනියම දාලා යන නිසා මම දුකෙන් හිටියෙ. ඒ තමයි දුවව තනියම දාලා අපි එළියට ගිය මුල්ම දවස.
පළවෙනි දවසේ හරියට ඇඬුවා
චූටි දූ අද ළදරු පාසල් යනවා. දැන් නම් එයා අඬන්නෙ එහෙම නැහැලු. හරිම ආසාවෙන් ළදරු පාසල් යනවලු. හැබැයි ළදරු පාසල් ගිය මුල් කාලෙදි දුව විතරක් නෙවෙයි, අම්මත් ඇඬුවා කියලා ආරංචිය.
''චූටි දූ අපිත් එක්ක හරි එකතුයි. මායි අනුරයි ගෙදර ඉන්නවා නම් දුවට ඊට වඩා දෙයක් නැහැ. කොවිඩ් කාලෙදි අපි දෙන්නා ගෙදරම හිටපු නිසා දුව අපිට තවත් ළං වුණා. ඔය අතරේ තමයි දුවව අපි නර්සරි දැම්මෙ. අම්මෝ.. ඒක නම් එකම යුද්ධයක්. පළවෙනි දවසේ ඉඳන් සති ගාණක් යනකම්ම දුව ඇඬුවා. මායි අනුරයි දුවව නර්සරි දාලා තාප්පයෙන් එළියට වෙලා එයාගේ පන්තිය ඇරෙනකම් බලාගෙන හිටියා. ඒ ඉඳිද්දි දුව අඬන සද්දය අපිට හොඳටම ඇහුණා. ඒ වෙලාවට එයා විතරක් නෙමෙයි, මාත් ඇඬුවා. දැන් නම් එයා ආසාවෙන් නර්සරි යනවා.''
බයට මට ගෙදර දුවන්න හිතුණා
ඉෂාරා සඳමිණී නිවේදිකාවක්. දැන් ඇයට නිවේදන වෘත්තිය හොඳට හුරුයි. හැබැයි සජීවී නිවේදිකාවක් විදිහට කටයුතු කරපු මුල් දවසත් ජීවිතේ සප්‍රයිස් එකක් කියලයි ඉෂාරා කියන්නෙ. ඇය නිවේදිකාවක් වෙන්නෙ අහම්බෙන්. හැබැයි නිවේදිකාවක් වෙන්න ඇය හරිම ආසාවෙන් හිටියා කියලයි ඉෂාරා කියන්නෙ.
ඒ කාලෙ මම දන්න කෙනෙක් ස්වර්ණවාහිනියෙ වැඩසටහනකට මාව මනාලියක් විදිහට ඇන්දුවා. ඒ කාලේ රඟපාලා තිබුණෙ නැතත් මම රෑප රචනා කිහිපයකම ඉඳලා තියෙනවා. ඒ නිසා මම ස්වර්ණවාහිනියේ වේෂ නිරෑපණ ශිල්පියෙක් විදිහට සේවය කළ නයන උජිත් අයියව දන්නවා. ඉතින් එදා මනාලියක් විදිහට මේක්අප් කාමරේ ඉඳිද්දි මම නයන උජිත් අයියට කිව්වා ''අනේ අයියෙ මම නිවේදනය කරන්න ආසයි'' කියලා. අයියාව මාව වැඩසටහන් නිෂ්පාදිකාවට හඳුන්වලා දුන්නා. කොහොම හරි ටික දවසක් පුහුණුවීම් කරලා මුලින්ම මට 'ආයුබෝවන් ශ්‍රී ලංකා' වැඩසටහන සජීවීව නිවේදනය කරන්න අවස්ථාව ලබා දුන්නා. අම්මෝ.. ඒ වැඩසටහනේ මුල්ම සංගීතය යද්දි මට බයට ගෙදර දුවන්න හිතුණා. පාසලේදිවත් මම මයික්‍රෝෆෝනයක් අතින් අල්ලනවා කියා කිසිම දේකට සහභාගි නොවුණු ලැජ්ජාශීලී ළමයෙක්. නිවේදිකාවක් විදිහට අද වැඩ කරද්දි මටම පුදුමයි. ඒකත් සප්‍රයිස් එකක් තමයි.
දිශානි