Saaravita.lk|| නිවේදනයට අමතරව මම හඬකැවිම් ශිල්පිණියක් විදිහටත් වැඩ කරනවා

නිවේදනයට අමතරව මම හඬකැවිම් ශිල්පිණියක් විදිහටත් වැඩ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානනීය නිවේදිකාවක් වන මධුමාධවී කරුණාරත්න වෙනුවෙන් මෙසේ අප ඉඩක් වෙන් කළා. වර්තමානයේ නිවේදිකාවකට අමතරව හඬකැවීම් ශිල්පිණියක් ලෙසද කටයුතු කරන මධුමාධවි දැනට වෙබ් රේඩියෝවක හා යූ ටියුබ් නාලිකා කිහිපයකම නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් සිටියි. තමන් ආ ගමන් මඟ පිළිබඳව ඇය අපට කිව්වේ මෙහෙමයි.

නිවේදිකාවක් වෙන හීනේ ඇති වුණේ..

මේක මම පුංචි කාලේ දැකපු හිනයක් කිව්වොත් හරි. නිවේදිකාවක් විදිහට මුල්ම පන්නරය මට ලැබුණේ මගේ දහම් පාසලෙන්. මම දහස් පාසල් ගියේ හිනිදුම ශ්‍රී චන්දානන්ද දහම් පාසලට. දවස් මට ලැබුණා උදෑසන රැස්විමේ කතාවක් කරන්න. පුංචි බයකුත් තිබුණා. මොකද, ඊට කලින් මම පිරිසක් ඉදිරියේ කතා කරලා තිබුණේ නැති නිසා. නමුත්, මම කතාව කළා. ඒක දැකපු දහම් පාසල් ගුරුවරු ලස්සනට කතා කරන්න පුළුවන් ඉදිරිපත් කිරිම හොඳටම කළා කියලා ප්‍රතිචාර දැක්වුවා. අන්න එදා තමයි මම හිතුවේ කවදාහරි දවසක නිවේදිකාවක් වෙනවා කියලා. ඒ කතාවෙන් පස්සේ මම නිතරම කණ්නාඩිය ගාවට ගිහිල්ලා තනිවම කතා කළා. ඉදිරිපත් කිරිම් කළා. කොටින්ම කියනවා නම් නිවේදනය ගැන මම නතිවම ඉගෙන ගන්න පටන් ගත්තා.  ඔය විදිහට මගේ නිවේදන ගමනේ ආරම්භය සිදුවුණේ.

පාසල් කාලේ මතකද ඔබට..

දහම් පාසල හැරුණු කොට මට නිවේදිකාවක් විදිහට ඉදිරියට එන්න ගොඩක්ම අත්දැකිම් ලැබුණේ මගේ පාසලෙන්. මම පාසල් ගියේ ගාල්ල තවලම විද්‍යාරාජ ජාතික පාසලට. පාසලේ සියලු කලා වැඩවලට මම නිවේදිකාවක් විදිහට සම්බන්ධ වුණා. පාසල් මාධ්‍යය ඒකකයේ හිටියා. එහි සභාපති විදිහටත් කටයුතු කළා. කතා කරන්න පුළුවන් හැකියාව තිබුණ නිසා පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විදිහටත් මම හිටියා. දහම් පාසල, මා අධ්‍යාපනය ලැබු පාසලට අමතරව ගමේ පොදු සමාජ කටයුතුවලදී අවුරුදු උත්සව, පෙර පාසල් විවිධත් ප්‍රසංග වල වගේම, මම අවුරුදු දහයක කාලයක් තිස්සේ  හිනිදුම ජාතික ඉද්ද මල් පූජාවේ ප්‍රධාන නිවේදීකාව විදියට කටයුතු කලා. නෙලුව ඇසළ පෙරහැරෙත් මා නිවේදිකාවක් මගේ හඬ දායකත්වය ලබා දුන්නා.

නිවේදිකාවක් විදිහට දායක වුණ නිර්මාණ..

ඔව්, නිවේදිකාවක් විදිහට මම දැනට වෙබ් රේඩියෝ ආයතනයක වැඩ කරනවා. ඊට අමතරව පින්න ප්‍රඩක්ෂන් ආයතනයේ වගේම තවත් යූ ටියුබ් නාලිකා කිහිපයකම මම නිවේදිකාවක් විදිහට වැඩ කරමින් යනවා. නිවේදිකාවක් විදිහට මගේ ජීවිතයේ හැරුවුම් ලක්ෂය වූනේ පින්න ප්‍රඩක්ෂන් ආයතනය සමග සම්බන්ධ වීම කිව්වොත් හරි. මොකද, දැනට මම පින්න ප්‍රඩක්ෂන් ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් හඬකැවිම් ශිල්පිණියක් විදිහටත් වැඩ කරනවා. හිතක් එක්ක කියලා මම තනිවම කරන වැඩසටහනක් තියෙනවා. අපි දවසට එක විඩියෝවක් නිකුත් කරනවා. ඒක අවම ලක්ෂයකට එහා නරඹන්නන් පිරිසක් නරඹනවා. ඒ වැඩසටහන එච්චරටම ජනප්‍රිය එකක්. ඒ වගේම කියන්න ඕනා මම සේවය කරන වෙබ් රේඩියෝව එෆ්. එම්. අඩවිය ගැන. එහි මම  හැම ඉරිදාම රාත්‍රී නමය ඉඳලා දහය වෙනකම් ආදර හීනය කියලා වැඩසටහනක් කරනවා. තවත් යූ ටියුබ් නාලිකා කිහිපයකටම මම මගේ හඬ දායකත්වය ලබා දෙනවා නිවේදිකාවක් විදිහට. ඒ අතර මම ලට්ට පට්ට කියලා මගේම යූ ටියූබ් නාලීකාවකුත් කරගෙන යනවා.

නිවේදිකාවකට අමතරව ඔබ හඬකැවිම් ශිල්පිණියක් විදිහටත් කටයුතු කරනවා..

පින්න ප්‍රඩක්ෂන් ආයතනයේ පින්න මතක අඩවිය තුළින් සතියකට එක කතාව ගානේ අරගෙන එනවා මම. මම එහි පසුබිම් කථනය වගේම කතාවේ චරිතවලටත් හඬ දායකත්වය ලබා දෙනවා. ඒ නාලිකාවේම සෑම සිකුරාදාවම රාත්‍රියේ විකාශය වෙන නපුරිට පෙම්බැඳි තරු කුමරා කතාවේ අම්මාගේ චරිතයට හඩ ලබා දෙනවා. දැනට මම සේවය කරන එෆ්. එම්. අඩවිය රේඩියෝවේ බටහිර අහස කතා මාලවේ පසුබිම් කථනය වගේම එහි චරිතවලටත් දායක වෙනවා. AR TV  ප්‍රඩක්ෂන් එකේ නිර්මාණය වන විවිධ කතාංගවලට හඬකැවිම් ශිල්පිණියක් විදිහට මම දායක වෙලා තියෙනවා.

නිවේදිකාවක් විදිහට ඔබ කාලයක සිට වැඩ කරනවා..

නිවේදිකාවක් වුණේ මම වයස අවුරුදු 14දී. එතැන් සිට අද දක්වා විවිධ වැඩසටහන්වලට මම නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් වසර ගණනාවක් ආපු මේ ගමන දිහා අපහු හැරිලා බලන කොට තියෙන්නේ පුදුමාකාර සතුටක් මට. හැබැයි ඉතින් මේ ආපු ගමන සුන්දර එකක් නෙවෙයි. විවිධ දුක් කම්කටොළු බාධක මාධ්‍යයේ තමා මේ ගමන මම ආවේ. මේ කාලය තුළ මා ලබපු ජයග්‍රහණය බොහෝමයක් තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා පින්න ප්‍රඩක්ෂන් ආයතනය විසින් 2022/2023 කේන්ද්‍ර කොට ගෙන පැවති පිනිරූ සම්මාන උළලේදී මට දක්ෂතම ප්‍රවෘත්ති නිවේදිකාව, චරිතාංග හඬකැවීම් ශිල්පිනිය ලෙස සම්මාන දිනාගන්නත් පුළුවන් වුණා. ඒ තමා මගේ නිවේදන දිවියේ මා ලබපු ලොකුම ජයග්‍රහණය.

බුද්ධික සේනාධීර