නවකයන්ට අතහිත දුන් පිනම ඇති - මහචාර්ය සනත් නන්දසිරි
මහාචාර්ය සනත් නන්දසිරි සංගීත ලෝකයේ කිරුළු පළන් රජෙකු විය. ඔහුට ජනප්‍රියත්වය තිබුණේය. අධ්‍යාපන සුදුසුකම් තිබුණේය. බොහෝ සංගීතඥයන් ඔහුට සැලකුවේ ගුරුවරයකු පරිද්දෙනි.
ඔහු ගුරුවරයකු, කථිකාචාර්යවරයකු, උපකුලපතිවරයකු, කුලපතිවරයකු ලෙස ද සේවය කළේය. නවක ගීත රචකයන්ට පමණක් නොව උදව් කළ හැකි හැමටම හැකි පමණින් උදව් කළේය.
සනත් හැමදාම කීවේ සංගීතඥයකු වීම සඳහා ඔහු කිසිදා දුක් නොවිඳි බවය. ඔහු එය කීවේ ද මහත් ආඩම්බරයෙනි.
1942 පෙබරවාරි 15 වැනිදා ගොතටුවේ දී උපන් ඔහු ගොතටුව මහා විද්‍යාලයෙන්, ශාන්ත මැතිව්ස් විද්‍යාලයෙන් හා මහාබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය.
ඔහුගේ පියා ගොඩනැගිලි කොන්ත්‍රාක්කරුවකු වීම නිසා ආර්ථික අතින් හිඟ පාඩුවක් නොවිණ. පස් දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබූ සනත් සංගීතයට, අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද දස්කම් පෑවේය. එල්ලේ මෙන්ම මලල ක්‍රීඩාවලට පාසල් වියේදීම දස්කම් පෑ ඔහු, කෙටි ධාවන තරගවලින් ජය ලබා සම්මාන සහතික පවා ලැබූවෙකි.
තබ්ලා වාදනයට මහත් කැමැත්තක් දැක්වීම නිසා ඔහු ඩී.ආර්. පීරිස්ගෙන් තබ්ලා වාදනය හදාරන්නට පටන් ගත්තේය. මේ නිසා ඔහුගේ පියා තබ්ලා වාදනය ඉගෙන ගැනීමට සනත්ව ඉන්දියාවට යවන්නේය.
ඉන්දියාවේ භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් ගායන හා විශාරද උපාධිය රැගෙන ඔහු යළි ලංකාවට එන්නේ 1965දී ය.
මුලින්ම උහන විද්‍යාලයේ සංගීත උපදේශකයකු ලෙස සේවය කරන සනත් යළි කොළඹට පැමිණියේ රජයේ සංගීත විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් සමගිනි.
මුල් යුගයේදී ඔහු වඩාත්ම රසිකයන් අතරට ළං කරන්නේ ඇවිළුන ගිනි දැල් නිවි නිවි යද්දී ගීතයයි. එය මහා ප්‍රවාහයක් මෙන් එකල රසික දෙසවන වැළඳ ගත්තේය.
සංගීත විශාර ද සනත් එතැන් සිට මහාචාර්ය තනතුර දක්වා පැමිණිය ද ඔහුගේ සරල බවේ නිහතමානි බවේ නම් අඩුවක් නොවීය.
සනත්ට ගීත රචනා කරමින් ගීත රචනා කලාවට පැමිණි ගීත රචකයන් ගණනාවකි. ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ ගායක ගායිකාවන් මෙන්ම වාදකයන් ද රැසකි. නවකයකු ගීත රචනයක් දුන් විට ඔහු ඇතැම් ගායක ගායිකාවන් මෙන් එහි ඇති වැරදිම පමණක් සෙව්වේ නැත. සනත්ගේ හඬින් ගීතයක් කියවා ගන්නට ගීත පොත් ගණන් ලියන්නට අවශ්‍ය වූවේද නැත. ගීතය හොඳ නම් ගැයුවේය.
ඔහුට ඔහුගේ හඬ ගැනත්, සංගීත නිර්මාණ ගැනත් අපමණ විශ්වාසයක් තිබුණේය. මා නවකයකු ලෙස කඳුකරයේ මල් සැණකෙළියේ ගීතය ලියා දුන් විට ඔහු එය බැලුවේ උඩින් පල්ලෙනි. එහෙත් ඔහු එය වචනයක්වත් වෙනස් නොකර ගැයුවේය.
සරල ගී වැඩසටහෙනන් දින දෙක තුනකට පසු මගේ නමද සමග කඳුකරයේ ගීතය උදෑසන ප්‍රචාරය වෙද්දී නවකයකු ලෙස මට දැනුනේ මහත් ආඩම්බරයකි. මට පමණක් නොව, ඔහු සෑම නිර්මාණකරුවකුටම සැලකුවේ එලෙසය. කැසට් පටයක ගීතයක් ගැයූ විට ගීත රචකයාට ලැබිය යුතු මුදල ගෙදර ගෙනැවිත් තම බිරිඳ මල්කාන්ති ළඟ තැබුවේය. ‘‘මල්ලි, ඔයාගෙ සල්ලි ටික මල්කාන්ති අක්කගෙන් ඉල්ලා ගන්න’’ යැයි කීවේය.
ඔහුගේ ඇතැම් ජනප්‍රිය ගීත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගැයූ බව බොහෝ අය නොදන්නවා විය හැකිය. එයින් මගේ මතකයේ ඇත්තේ එක් ගීතයක් පමණි. ඒ මහද වීණා ගීතයට ඔහු ඉංග්‍රීසියෙන් වචන යොදා ගැයූ ගීතයකි. එය ‘‘ඕ මයි වීණා’’ යනුවෙන් තවමත් මගේ මතකයේ රැඳී ඇත.
එකල බොහෝ කලාකරුවන් තම දූ පුතුන් කලා ක්ෂේත්‍රයට යොමු කරන්නේ නැතැයි පවසද්දී සනත් කීවේ ‘‘මගේ දුව නම් අනිවාර්යයෙන්ම මම කලා ක්ෂේත්‍රයට යොමු කරනවා’’ යනුවෙනි.
එකල ප්‍රචලිතව තිබූ සංගීත රැල්ලට අභියෝග කරමින් ශාස්ත්‍රීය සංගීත අංශ ද එක් කරමින් ශාස්ත්‍රීය සංගීත රටාවන් තැනූ සනත් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ද …ඉස්මතු විය. සැඩොල් කඳුළු චිත්‍රපටයෙන් පසුව පසුබිම් ගායකයකු වූ සනත් චිත්‍රපට 35කට පමණ ගී ගැයුවේය.
හන්තානෙ කතාව චිත්‍රපටයට ‘අනන්ත වූ දෙරණ සරා’, අහස් ගව්වේ ‘එන්න මගේ පිය මිතුරෝ’, දුලිකා චිත්‍රපටයේ දුලීකා.... ආදී චිත්‍රපට ගීත පමණක් ඇගැයීමට ප්‍රමාණවත්ය.
සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු අජාසත්ත, තුත්තිරිමල්, මිහිදුම් සළු ආදී චිත්‍රපට සඳහා දායක වුවේය.
එතැන් සිට 2023 මාර්තු 28 වැනි දින මියෙන මොහොත දක්වාම රසිකයන් ආදරය කළ ඔහු ගැඹුරු හඬක් හිමි ගායකයකු ලෙස ජනතාවගේ පැසසුම ලැබුවේය. තවත් චිරාත් කාලයක් සනත්ගේ හඬ රසික හදවත් තුළ ලැගුම් ගනු ඇත.
රොඩ්නි විදානපතිරණ