නිරූපණ ක්ෂේත්‍රය අද හෑල්ලුවට ලක්වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට තිබෙන වටිනාකම ගොඩාක් අඩුයි. නිරූපිකාවක් දිහා සමාජය බලන්නේම වැරැදි විදිහට. නිරූපණ ක්ෂේත්‍රය හෑල්ලුවට ලක්වෙලා තියෙන්නේ. ඒක ඉතිං අපේ අයගේම වැරැද්දෙන් වුණ දෙයක්. 

මේ අද දවසේදී නිරූපණ ක්ෂේත්‍රයේ තමන්ගේ අනන්‍යතාවය සනිටුහන් කරමින් ඉදිරියට යන ලක්ෂිකා ලන්සා නමැති සුරූපී නිරූපිකාව ‘‘සඳැල්ලට’’ කියූ කතාවයි. ඇය වෘත්තියෙන් හෙදියකි. නිරූපණය ඇයගේ එක් විනෝදාංශයක් ලෙස සැලකේ. මුල් කාලයේදී ඇයගේ කැමැත්ත තිබුණේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයටය. ලක්ෂිකා ඒ ගැන පවසන්න අමතක කළේ නැත. 

‘‘මම පාසල් ගියේ ශාන්ත ආනා විද්‍යාලයටයි. පාසල් යන කාලයේ නිරූපණ ක්ෂේත්‍රයට එන්න කිසිම අදහස් තිබුණේ නෑ. ඒත් මම රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ගොඩාක් ආසා කළා. කලාවට යොමුවුණේ මගේ යාළුවෙක් හින්දයි. යාළුවෙකුගේ යූ ටියුබ් නාලිකාවකට ‘‘ෆොටෝ ෂූට්’’ එකක් කරන්න මට කතා කළා. ඒකත් එක්ක ආපු ගමනක් තමයි මේ යන්නේ. 

පළමු ‘ෂූට්’ එක කළාට පස්සේ මට දිගටම ඒ ගැන ඉගෙන ගන්න ඕන වුණා. ඊට පස්සේ මම වෘත්තීමය නිරූපණ ක්ෂේත්‍රය ඉගෙන ගත්තා. රංගනයත් හැදෑරුවා. මම වෘත්තියෙන් හෙදියක්. නිරූපිකාවක් වෙන්නේ විනෝදාංශයටයි. රඟපාන්න ලොකු ආසාවක් තිබෙනවා. ඒ නිසා තමයි රංගනය පිළිබඳ පාසලකට ඇතුළත් වෙලා හැදෑරුවේ. ඒත් මගේ රාජකාරි කටයුතු හා අධ්‍යාපන කටයුතුත් එක්ක මට ඒකට කාලය වෙන්කර ගන්න ටිකක් අමාරුයි. නිරූපණයයි රංගනයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒකට ගතවෙන කාල වේලාව අතරත් ලොකු වෙනසක් තියෙනවා. 

ඉදිරියේදී කරන වැඩ ගැන ලොකු තීරණයක් තාම අරන් නෑ. ඒත් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම මම අද ඉන්න තැන ගැන ගොඩාක් සතුටුයි. මොකද මේක මම තනියම ආ ගමනක්. මොකද මගේ පවුලේ අයගෙන් මේ දේවල්වලට කිසිම උදව්වක් හම්බවෙලා නෑ.’’ යැයි ලක්ෂිකා පැවසුවාය. 

සමන්ත යහම්පත්