නර්තන ගුරුවරියක් වෙන්න හීන දකින පුංචි සඳුෂී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර සාරවිට අපේ අවධනය යොමු වුයේ තවත් කුඩා වියෙහි පසුවන ගායිකාවක් වෙතය. ඇය නමින් සඳුෂි සවින්ද්‍යා. දැනට ගීත කිහිපයක්ම නිකුත් කර ඇති සඳුෂි බොහෝ පිරිසක් දන්නා හඳුනන ගායිකාවක් බවටද වර්තමානයේ පත්ව සිටියි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.

සඳුෂී ගායිකාවක් වෙන්න අඩිතාලම වැටුණේ කොහොමද?

අපේ අම්මා ටීචර් කෙනෙක් ඉතින් මමත් අම්මාගේ පාසලේ ඉගෙනුම ලබන කාලයේ පාසලේ හිටපු අයෝමා සදමාලි සුරවීර ගුරුතුමිය තමයි මගේ හැකියාවන් තේරුම් අරන් ඇය විසින් පද රචනා කරපු මල්ක මල්ලව මාමා සංගීතය එකතු කරපු ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ටීචර් ළග නෑ කියා ඇඩු අපි.. කියන. ගීතය. ඒ තමා මගේ පළමු වෙනි ගීතය . ඒ ගීතය ගොඩක් අය අතර, ජනප්‍රිය ගීතයක් වුණා. කොරෝනා කාලයේ පාසල් පාඩම් වැඩ කටයුතු ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් ක්‍රියාවලිය ගැන කියැවෙන ගීතයක් නිසා බොහෝ පිරිසක් අතරට ගියා මේ ගීතය. එතැනින් තමා ගායිකාවක් විදිහට මගේ ගමනේ ආරම්භය සිදු වුණේ.  

දැනට සඳුෂි ගීත කොපමණ ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවාද?

මේ වෙද්දි මා විසින්ම ගායනා කරපු ගීත පහක් විතර නිකුත් කරලා තියෙනවා. ඒ ගීත මම හිතනවා මිනිස්සු අතර ජනප්‍රිය වුණා කියලා. මෙකද, ඒ හැම ගීතයටම මට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා. ටීචර් ළග නෑ කියා  ඇඩු අපි.. කියන ගීතයෙන් පස්සේ මගේ රෑනේ රෑනේ.. ගීතය 2021 ලෝක ළමා දිනයට සමගාමීව මා විසින් නිකුත් කළා. ඒ ගීතයත් අයෝමා සඳමාලි ගුරුතුමියගේ පද රචනයත්, මල්ක මල්ලව මාමාගේ තනු නිර්මාණයෙනුත් හැඩ වුණා.  ඒ ගීතය රූපවාහිනි නාළිකාවල පවා ප්‍රචාරණය වුණා. සොදුරු ගුරුන් අගනා.... කියන්නේ මගේ තුන්වැනි ගීතය. තාරක කෲස් ගුරුතුමා තනු නිර්මාණය කළා.  අයෝමා ගුරුතුමිය තමයි ඒ ගීතයත් ලිව්වේ. ශා එෆ් එම් නාළිකාව ලෝක ළමා දිනය වෙනුවෙන් කළ සගා ගුරුගේ මාමා ලියපු ලක්මෑණියනී.. ගීතය මගේ සිවුවැනි ගීතය. අන්තිම ගීතය විහගුන් ඉගිලී අහස් ගැබේ.. මේ මෑතකදී මා විසින් එළිදැක්වූ ගීතය. අනේමා ගුරුතුමිය තමයි ඒ ගීතයත් ලිව්වේ. තාරක කෲස් ගුරුතුමා සංගීත නිර්මාණය කළේ.

පාසලේදී ඔබ සංගිතය, ගායනය විෂයක් විදිහට හදාරනවද?

මම පාසලේ නර්තන විෂය තමයි ඉගෙන ගන්නේ. සංගීතයට මම ගොඩක් ආසයි. ඒ පිළිබඳව ඉදිරියට මම හදාරන්න බලපෙරොත්තු වෙනවා.

අනාගතයේදී කවුරු වෙන්නද සඳුෂි කැමති?

මම කැමතියි නර්තන ගුරුවරියක් වෙන්නේ. ඒ අරමුණට මම යනවා. මගේ අම්මාත් නර්තන ගුරුවරියක්. මම අම්මාගේ අඩිපාරේ යන්න තමයි බලාපෙරොත්තු වෙන්නේ. ඒ වගේම රූපවාහිනී ළමා නිවේදිකාවක් වීමට හීනයකුත් තියෙනවා තව මගේ.

කුඩා අයට අද ගොඩක් රියලටි තරග තියෙනවා. අදහසක් නැද්ද ඒ තරගවලට යොමු වෙන්න?

දැනට නම් එහෙම බලාපොරොත්තුවක් නැ. බලමු ඉදිරියට

ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද?

දැන් නම් ප්‍රසංග වේදිකාවටත් එකතු වෙන්න ඇරයුම් ලැබිලා තියෙනවා. ළගදීම ඒ තුළීනුත් මාව දැකගන්න ප්‍රේක්ෂකයින්ට ලැබේවි.
මෑතකදී ඔබට සම්මානයක් පවා හිමිවුණා?

ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. Sri Lanka Future Leader 2022 සම්මානයෙන් තමයි මම පිදුම් ලැබුවේ. පාසල් කාලයේ මෙතෙක් කල විෂය සමගාමී ක්‍රියාකාරකම් වගේම ගායනය, නර්තනය, ක්‍රීඩාවෙන්, මේ ක්ෂේත්‍ර කීපයකින් මා දක්ෂතා පෙන්වා තියෙන නිසා මටත් සම්මානය ලැබුණා. ඉතින් ඒ වගේ අපේ රටේ විවිධ ක්ෂේත්‍ර වල ඉදිරියට ආපු සිසු දරුවන් ට තමයි මේ සම්මාන දිනාගත්තේ.

කුඩා අවදියේම ඔබ ගායිකාවක් විදිහට ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. කවුද ඔබව දිරිමත් කළේ?

මුලින්ම මගේ අම්මා, අප්පච්චී මතක් කරන්න ඕනා. අද මම තැනක ඉන්නවා නම් එයාලා දෙන්නා නිසා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මගේ සංගීත  ගමන එන්න පළමු පියවර තියන්න අවස්ථාවක් දුන්නේ මගේ ප්‍රාථමික විදුහලේ හිටපු අයෝමා සඳමාලි සුරවීර ගුරුතුමි හා මල්ක මාමා දෙන්නා. මගේ ප්‍රාථමික විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු සියලුම ගුරු මෑණිවරුන්, මතක් කරන්න ඕනා .ඒ වගේම තාරක ගුරුතුමා. ඒ විතරක් නෙවෙයි රූපවාහිනී නාලිකා කිහිපයකම වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව දීපු හැමෝමත්, ප්‍රදීප් මහේෂ්, සුරංගි කොඩිතුවක්කු, ASP  ලියනගේ, ෂා එෆ් එම් සගා යන මහත්ම මහත්මින්වත් ආදරෙන් මතක් කරනවා.

බුද්ධීක සේනාධීර