නයිට් රයිඩර් ජූලි 22 වනදා සිට
සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතා පුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදිය ඊට ඇතුළත්. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට සාපේක්ෂව මේ වසර මුල සිටම දේශීය සිනමාපට නිකුත් වීමත්, ගෝලීය ජනප්‍රියත්වයක් හිමි විදේශීය චිත්‍රපට කිහිපයක්ම මෙරට ප්‍රදර්ශනය ඇරඹීමත් නිසා සිනමා රසිකයින් බොහෝ දෙනෙකු නැවතත් සිනමාශාලාවට ඇදෙන අයුරකුත් දක්නට ලැබෙනවා.
අශෝක හඳගමගේ ඇල්බොරාදා, එරංග සේනාරත්නගේ මොනාලිසා, තේජා ඉද්දමල්ගොඩගේ ආශාවරී, සුරංග ද අල්විස්ගේ The Game ආදී ලාංකීය සිනමාපට ගණනාවක්ම මෙම වසර මුල සිට මෙරට සිනමා හල්වලට නිකුත් වුනා. එම නිර්මාණවලට පසුව මෙරට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත නවතම ලාංකීය චිත්‍රපටය කසුන් චන්ද්‍රනාත් පතිරණ අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) චිත්‍රපටයයි.
Thriller ශානරයට අයත් වන මෙම සිනමා නිර්මාණය, එළඹෙන ජූලි 22 වනදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. මෙය කසුන් චන්ද්‍රනාත් පතිරණගේ පළමු වෘතාන්ත – සිනමා අධ්‍යක්ෂණය වන අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ කළණ ගුණසේකර හා යුරේනි නොෂිකා විසිනුයි. ඊට අමතරව ඩබ්ලිව්. ජයසිරි, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දමයන්ති ෆොන්සේකා, තුමිඳු දොඩම්තැන්න, අරුණි මෙන්ඩිස් සහ ආනන්ද කුමාර උන්නැහේ වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් නයිට් රයිඩර් (Night Rider) හි සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබාදෙනවා.
චිත්‍රපටයේ කතා තේමාව ගොඩ නැඟෙන්නේ කොළඹ නගරයේ කුලී රථ රියදුරෙකුට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් වටායි. එක්තරා රාත්‍රියකදී ඔහුගේ රථයට ගොඩවන මාධ්‍යවේදිනියක හා ඇය පසුපස හඹාගෙන එන දේශපාලන මැර කල්ලියක් නිසා මෙම කුලී රථ රියදුරා හට විවිධ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවනවා.දේශපාලන මැරයින්ගෙන් පළා යමින්, මෙම අනතුරෙන් බේරීමට උත්සාහ දරන මාධ්‍යවේදිනිය සහ කුලී රථ රියදුරාගේ කතාව එතැන් සිට නයිට් රයිඩර් (Night Rider) හි දිග හැරෙනවා.
පහත සබැඳියෙන් ඔබට චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය නැරඹීමට හැකියි.
සටහන - කවිනු වීරක්කොඩි