නඩු කියනවට වඩා රඟපෑම හොඳයි වගේ - Sachinthani Kaushalya



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පාසල් කාලයේ  කලා කටයුතුවලට සහභාගී වී  කලා ක්ෂේත්‍රයට පිවිසි  ඇය  සචින්තනී  කෞශල්‍යා. ‘කියාදෙන්න  ආදරේ’ ටෙලි නාට්‍යයේ  දිගැසිගෙ  චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය ලබාගත්  ඇය සමගයි  මේ සුන්දර කතාබහ.

සචින්තනී මේ දවස්වල කොහොමද ජීවිතය?

මේ දවස්වල හිරි පොද වැස්ස  ටෙලි නාට්‍යයත් සමග කාර්යබහුලයි. ඒ වගේම  තව ටෙලි නාට්‍යයක රූගත කිරීම ආරම්භ වුණා. මේ අතරතුර  මගේ වෘත්තීය කටයුතු සහ  උපකාරක පන්ති සමගද කාර්යබහුල වී සිටිනවා.

කලාවට  සම්බන්ධ වුණේ කොහොමද?

කලාවට සම්බන්ධවීම සඳහා මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක්  පාසල් කාලයේ සහන් රන්වල බලකායට සම්බන්ධ වෙන්න අවස්ථාවක්  ලැබීම. ඉන්පසු  අවුරුදු කුමාරි තරග දෙකකින්  අන්තිම දොළොස්දෙනා අතරට පැමිණෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ දේවල් සමග  කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාවක් ලැබුණා.

රඟපෑමට අමතරව තව මොනවද කරන්නෙ? 

මම වෘත්තියෙන් නීතිඥවරියක්.  ඒ වගේම  උපකාරක පන්ති සඳහාද  ගුරුවරියක් ලෙස සහභාගී වෙනවා.

රංගනය තෝරාගත්තේ ඇයි? 

එහෙම විශේෂ හේතුවක් තිබුණෙ නැහැ.  මට ලැබුණු අවස්ථා  සමග   මට රංගනයට දායකත්වය ලබාදෙන්න අවස්ථාවක් ලැබුණා. එම නිසා දිගටම රංගන කටයුතුවල  නියැළීමට  බලාපොරොත්තු වෙනවා.

සිනමාවට එන්න අදහසක් නැද්ද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වී සිටින  කාලයේ  චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. නමුත් ඒ දවස්වල අධ්‍යාපන කටයුතු සමග  ඒ දේවල්වලට  සහභාගි වෙන්න කාලයක් තිබුණෙ නැහැ.  සිනමාව කියන්නේ ඕනෑම රංගන ශිල්පියෙකුගෙ සිහිනයක්.  මට ගැළපෙන චරිතයකට අවස්ථාවක් ලැබුණොත්  ඒ සඳහා අනිවාර්යයෙන්ම දායකත්වය ලබා දෙනවා.

පවුලේ අයගෙන්  ලැබෙන සහයෝගය කොහොමද?

ගෙදරින් ලැබෙන සහයෝගය ඉතාම වටිනවා.  මගේ අම්මයි තාත්තයි නංගීයි වගේම  මගේ මිතුරන්ද   මට ලොකු සහයෝගයක්  දෙනවා.  මගේ අම්මා  හැම වෙලාවකම   මගේ හෙවණැල්ල වගේ  පස්සෙන්ම ඉඳලා  මට සහයෝගය දෙනවා.  මේ හැමෝගෙම  ආශිර්වාදය සමග  මේ  ගමන  මම සාර්ථකව යනවා.

රංගන කටයුතු  සහ  වෘත්තීමය කටයුතු  සමබරව කරගන්නේ කොහොමද?

දිවුරුම් දීමෙන් අනතුරුව  කඩුවෙල  උසාවියේ  අවුරුද්දක් පමණ එක දිගට රැකියාව කළා. නමුත්  දැන් රංගන  කටයුතුත් සමග  එක දිගට රැකියාවේ නියුතුවීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ අතරතුර  උපකාරක පන්ති සඳහා සහභාගි වෙනවා.

ආදරය සහ විවාහය ගැන මොකද හිතන්නෙ?

මගේ මතයට අනුව ආදරේ කියන්නේ කැප කිරීම හා දරා ගැනීමයි.  ආදරයේ  එක්  සන්ධිස්ථානයක්   විවාහය.  විවාහයෙන් පසුව  දෙදෙනාගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ  දෙදෙනාට දෙදෙනා අවබෝධයෙන් කැපකිරීමෙන් වැඩ කළොත් පමණයි.  සමහරවිට එය තමන්ට ලැබෙන පුද්ගලයා අනුව  වෙනස් විය හැකියි.

ප්‍රේක්ෂකයො වැඩිපුරම ඔයාව හඳුනාගත්තෙ මොන චරිතයෙන්ද?

කියාදෙන්න ආදරේ  ටෙලි නාට්‍යයේ  දිගැසිගෙ  චරිතයෙන්  ප්‍රේක්ෂකයින්ගේ ආදරය  ලබාගන්න පුළුවන් වුණා.  දිගැසි තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.  එහි අධ්‍යක්ෂක ධනුෂ්ක  රත්නායක, පිටපත් රචක  මහේෂ්  සත්සර මද්දුම ආරච්චි  සහ  අධ්‍යක්ෂක  වසන්ත අමරසිංහ  යන අයට විශේෂ  ස්තුතිය  පුද කරනවා.

බලාපොරොත්තු මොනවද?

විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.  අලුත් නිර්මාණ ආරම්භ කිරීමට නියමිතයි . ඒ සඳහාද දායකත්වය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒවගේම   වෙනස් වෙන දේවලුත් සමග  කාලයත් සමග  ඉදිරියේදී   කුමන තීරණ ගැනීමට  සිදුවේ දැයි කියන්න බැහැ. ඉදිරියේ එන විදියට  මුහුණ දෙනවා.

ඉෂංකා ජයසූරිෂ