නැටුම කියන්නේ ඇත්තටම මුළු ජීවිතයම තමයි. මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ නැටුමත් එක්කමයි
ඇය උපන්නේ නැටුම දකින, වැයුම ඇසෙන අති සුන්දර පරිසරයකය. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ නින්දට යන තෙක්ම ඈ ඇස ගැටුණේ, සවන වැකුණේ නර්තනයේ අගයමය. ඊට බලපෑ ප්‍රබලම හේතුව නම් ශ්‍රී ලාංකික නර්තනය පිළිබඳ කතා කරන කවර අවස්ථාවක වුවද ඊයේ අද මෙන්ම හෙටත් මෙරට කියවෙන එස්. පණිභාරත නාමයයි. අද හදසර My story තුළින් අප හමුවන්නේ මහා නර්තනාචාර්ය පණිභාරතයන්ගේ වැඩිමහල් දියණිය ලෙස මෙලොව එළිය දුටු ඒ වාසනාවන්ත දියණිය උපුලී පණිභාරත නම් වර්තමානයේ අප රටම ආදරය කරන නර්තනාචාර්යවරයයි. මහා නර්තනවේදියෙකුට දාව මෙලොව එළිය දුටු ඇය අද තම ජීවිතය ගෙවන්නේ ද නර්තනය සමඟමය.
''නැටුම කියන්නේ ඇත්තටම මුළු ජීවිතයම තමයි. මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ නැටුමත් එක්කමයි. කෑගල්ල අල්ගම තමයි අපේ ගම් ප්‍රදේශය. තාත්තා මුළු ජීවිතයම ගත කළේ නර්තනය සමඟයි. අම්මා බොහොම ආදරයෙන් එයට කැපවීමෙන් උදව් කළා. ඉතාම පිළිවෙළට මේ සියල්ල වන හැටි මම කුඩා කාලේ ඉඳන්ම බලාගෙන හිටියා. තාත්තා බොහොම ගාම්භීර, දැඩි චරිතයක්. අම්මාගේ කැපකිරීම, පිළිවෙළ, සුන්දරත්වය නිසාම තමයි ඔවුන් විවාහවෙලා තිබුණේ. ඒ වගේම ඒ ආදරය මගේත් නංගිගේත් ජීවිතවල සාර්ථකත්වයට දැඩිව බලපෑවා. මගේ අම්මටයි තාත්තටයි හිටියේ දරුවන් දෙදෙනයි. මම වැඩිමලා. නංගි ජයවන්ති. හැබැයි නර්තනය නිසාම තාත්තාට විශාල දරු පරපුරක් ඕන වුණා. මම කුඩා කාලයේ පාසල් ගියේ මියුසියස් විද්‍යාලයට. ඉන්පසු දේවි බාලිකාවට සහ විශාඛා විද්‍යාලයට මම ඇතුළු වුණා. විශාඛාවට මම ගියේ උසස් පෙළ ලියන්න ඉතාම ආසන්න කාලයකදි.''
උසස් පෙළ විභාගය සමත් වූ උපුලි කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී ඇය ලලිත කලා විශේෂවේදී උපාධිය ලබාගත්තාය. ඒ වන විටත් ඇය නර්තනය නිවසේදී ප්‍රගුණ කරමින් සිටියාය.
''අධ්‍යාපනය හරිම වැදගත් දෙයක්. අපි කුඩා කාලයේදී අපේ නිවස නිරන්තරයෙන් පිරී ඉතිරී තිබුණේ නර්තනාචාර්යවරුන්ගෙන්. තාත්තා මට ඔවුන්ව හඳුන්වා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ඒ ගුරුන්නාන්සේලාට වඳින්න කියලා දුන්නා. විනය, හික්මීම කුඩා කාලයේ සිටම මට නිවසින්ම ලැබුණා. ඒ වගේම තාත්තා අපිට නිවසේදි නැටුම් ඉගැන්වුවා. තාත්තා හරියට විශ්ව කෝෂයක් වගේ. එයා උඩරට කිව්වත් දන්නවා, පහතරට කිව්වත් දන්නවා, සබරගමු කිව්වත් දන්නවා. ඕන බෙරයක් වයනවා. ඕනම ගායනයක් ගයනවා. කෙනෙක් මේ දේවල් ගැන ප්‍රශ්න කළොත්, ඇසුවොත් එහි පරතෙරට ගිහින් කියා දුන්නා. මොකද, එයා ඒ සියල්ල නියමාකාරයෙන් හදාරා තිබුණා. මගේ තාත්තා ගැන මුළු රටක්ම කතා කළේ, ආදරය ගෞරවය පුද කළේ ඒ මහා දැනුමට. චිත්‍ර අඳින්න, අඹන්න, ඒ සියල්ල එයා ප්‍රගුණ කරලා තිබුණා. ඉන්දියාවේ ගිහින් එහි නර්තන සම්ප්‍රදායන් පවා මැනවින් හැදෑරූ නර්තනාචාර්යවරයෙක් මගේ පියා. දවස පුරාම බෙර වාදන, කවි ගායනා සමඟ ඇතිදැඩි වෙනකොට අපිටත් නැටුමෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. ඒ ආසාව නිසාම නටනවා ඇරෙන්න වෙන යමක් අපේ ඔළුවේ තිබුණේ නැහැ.
තින් තාත්තගෙන් වගේම මගේ නැන්දගෙනුත් මම නර්තනය ඉගෙන ගත්තා. මගේ චිත්‍රා අල්ගම නැද්දා සහ තව තාත්තාගේ ගෝලයෙක් හිටියා. එයාලගෙන් ඉගෙන ගත්තා. ඒ වගේම උසස් පෙළ කරන කාලෙදි පද්මිණී දහනායක ගුරුතුමිය ළඟ නර්තනය හැදෑරුවා. ඔහොම කාලය ගත වුණාම මම උසස් පෙළ සමත්වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී ලලිත කලා විශේෂවේදී උපාධිය ලැබුවා. මට මතකයි වල්පොළ රාහුල හිමියන් උපාධි ප්‍රදානෝත්සවයේදී මගේ හිසට අත තියලා ප්‍රකාශ කළා ''උපුලි, මේ උපාධියට වඩා වටින්නේ පණිභාරත කියන නාමය..'' කියලා. තාත්තා කළ මෙහෙවර මේ සියල්ලෙහි ඉහළින්ම තිබෙනවා.''
ජීවිතය යනු නිරන්තරයෙන් සිදුවන හමුවීම් සමුදායක එකතුවකි. එහිදී වරින් වර අපට හමුවන පුද්ගලයන් අපගේ ජීවිතයට පාර කියති. සමහරවිට අප යන පාරේද, නැතිනම් වෙනස් පාරක වුවද අපගේ ගමන් මඟ තීරණය කරන්නේ එවන් හමුවීම්ය. උපුලී පණිභාරතට ද මෙවන් එක් සුවිශේෂී හමුවීමක් සිදුවිය. ඇය පවසන්නේ එම හමුවීම තම ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බවයි.
''චන්නගේ නර්තනය මම දැක්කම ඇත්තටම ලොකු ආකර්ෂණයක් ඇතිවුණා. මගේ තාත්තට තමයි චන්නගේ නර්තනය මුලින්ම දකින්න ලැබිලා තිබුණේ. 'රණතිසර' මුද්‍රා නාටකයේ චන්න සිද්ධාර්ථට ඉන්නවා දැකලා තාත්තා ඔහුව ගොඩක් අගය කරලා තිබුණා. තාත්තට දාපු මල් මාලය චන්නට දාලා තාත්තා කියලා තියෙනවා පුතේ, කවදා හරි මම මුද්‍රා නාටකයක් කරන දවසට අනිවාර් යෙන් එන්න ඕන. මට ලිපිනය දෙන්න කියලා චන්නගෙන් ලිපිනයත් ඉල්ලගෙන ගෙදර ආවා. ඇවිත් මහ රූම මට කිව්වා, උපුලී මෙන්න මේ ලිපිනය ලියලා අරන් තියන්න. හරිම ලස්සන කොල්ලෙක්. මගේ වැඩකට ගන්නම ඕන කියලා මට ලිපිනයත් දුන්නා. මහ රෑ නිදිමතේ මට අතට අහුවුණේ 'අයිබ්‍රෝ පෙන්සිල්' එකක්. මම නිදිමතේ මගේ ඇඳ ළඟ බිත්තියේ ලිව්වා, 18A, ප්‍රනාන්දු උයන, දෙහිවල කියලා. හරිම දෛවෝපගත සිදුවීමක්. ඇත්තෙන්ම කිව්වොත් ඉතා දක්ෂ නර්තන ශිල්පීන් විශාල ප්‍රමාණයක් හිටියා. නමුත් ඒ අතරෙත් කැපීපෙනෙන දක්ෂකමක් චන්නට තිබුණා, වේදිකාව තුළ ඔහුව දකින විට දැඩි ආකර්ෂණයක් ඕනෑම කෙනෙකු තුළ ඇතිවන තරමේ. ඔහු අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඉන් අනතුරුව මම දිගින් දිගටම ඔහු දෙස බලා හිටියා.''
උපුලී පණිභාරත යනු ක්ෂේත්‍රයේ මෙන්ම බාහිර සමාජයේ කා සමඟත් ඉතා සුහද චරිතයකි. දරු දැරියන් ගණනාවකට කරුණාබර ගුරු මවකි. දක්ෂ නර්තන ශිල්පිනියක වන ඇය සිය පිය උරුමයෙන් ලද නර්තන දායාදයන් අනාගත පරපුරට නිර්ලෝභීව ලබාදෙන්නීය. ඇය මුලින්ම වේදිකාවක නර්තනයක් ඉදිරිපත් කළේ ඉතා කුඩා අවධියේදීය. එවිට ඇයට වයස අවුරුදු 05ක් පමණය.
''ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහනක් තිබුණා 'මාසික රුඟුම' කියලා. YMBA එකේ තමයි පැවැත්වුණේ. ගඟක නර්තනාංගයක් තමයි මට මතක විදිහට එදා කළේ. මම ඉතා පුංචියි. වයස අවුරුදු පහක් හෝ හයක් විතර ඇති. එය තමයි මම මුලින්ම නර්තනයක් ප්‍රසිද්ධ වේදිකාවක ඉදිරිපත් කළේ. එතැන් සිට විවිධ අවස්ථාවල නර්තන ඉදිරිපත් කරන්නට මට තාත්තා අවස්ථාව ලබා දුන්නා. නර්තන වස්ත්‍ර සැකසීම, ළමයින් පුහුණු කිරීම ආදී සියල්ලම මම ඉතා හොඳින් දුටුවා. චන්නගේ හමුවීමත් එක්ක මේ සියල්ල මිශ්‍ර වී නර්තනය මගේ ආත්මයටම දැනුණා. ඔහු මට හමුවෙද්දී හැමෝම කතා කරන අති දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු චිත්‍රසේන නර්තනාචාර්යතුමාගෙ ගෝලයානෙ. ටවර්හෝල් පදනමෙන් නර්තන කණ්ඩායමක් තෝරාගත්තා චීන සංචාරයකට සහභාගි වෙන්න. 'සිරි සඟබෝ', එහිදී අපි දෙදෙනාම ඊට එක්වුණා.
එතැනදි මම චන්නගේ වෙනස්ම හැකියාවක් සහ පිළිවෙළක් දුටුවා. ඔහුට තිබුණා ඉතා ඉහළ විනයක්. අපි වගේ නෙවෙයි, නිතරම ව්‍යායාම කරනවා. මම මේ ස්වභාවය තුළ දැක්ක විශේෂත්වය නිසාම ඔහුට මම ආරාධනා කළා අපේ නර්තන පන්තිවලට සහභාගි වෙන්න කියලා.
මොකද, ඊට පෙරත් චන්න අපේ තාත්තා හමුවෙන්න ආවා. ඇවිත් තාත්තා එක්ක විවිධ දේ ගැන කතා කළා. අපේ තාත්තා කියන දේවල් අහන්න චන්න හරිම කැමතියි. තාත්තගෙන් අහලා දැනගන්න චන්නට ගොඩක් ප්‍රශ්න තිබුණා. මේ සියල්ල එක්ක ඔහු තුළ මා දුටු දක්ෂතාව මම නිරතුරු අගය කළා. මේ හඳුනාගැනීම් එක්ක අප දෙදෙනාගේ යුගල නර්තන නිර්මාණය වුණා.
ඒ නර්තන ගොඩක් ජනප්‍රිය වුණා. විවිධ ප්‍රසංග සඳහා අපිට ආරාධනා දසතින් ගලා ආවා. හැම ගම් උදාවකම අපි දෙන්නා නටලා තියෙනවා. මෙහෙම එකට නටන්න ගියාම කටකතාවකුත් ආවා අපි දෙන්නා යාළුයි කියලා. හැබැයි ඒ වෙද්දි අපි අතරේ එහෙම දෙයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. මගේ හිතේ එහෙම බලාපොරොත්තුවක් ඇතිවෙලා තිබුණේ නැහැ. මොකද, මම තාත්තට හරිම බයයි. තාත්තා, අම්මා, නංගි අපි පවුල හරිම ආදරණීයව සම්ප්‍රදායන්ට ගරු කරමින් ජීවත් වුණු අය. තාත්තගේ ගෞරවය ගැන, අභිමානය ගැන මට යම් බයක් තිබුණා මෙහෙම සම්බන්ධයකට යන්න. ඒත් කාලයාගේ ඇවෑමෙන් අපි දෙන්නා ගොඩක් ළං වුණා. එයාට නව නිර්මාණ කරද්දි විවිධ විවේචන ආවා. එතකොට මට හරියට දුක හිතුණා. ඔහොම යද්දි එයාට ප්‍රශ්නයක් ආවම එයා මට කිව්වා. මට ප්‍රශ්නයක් ආවම මම එයා එක්ක කතා කළා. ඉතින් අපිට තේරුණා අපිට අපිව අවශ්‍ය බව. එකට එක්ව බොහෝ දුර යා හැකි වග. දවසක් චන්න ඇවිත් කෙළින්ම තාත්තගෙන් අවසර ඉල්ලුවා. තාත්තා ඒක ගොඩක් අගය කළා. ආශිර්වාද මැද අපි එක්වුණා.''
ඉන්පසු දෙදෙනා එක්ව චන්න - උපුලී නර්තන පාඨශාලාව ඇරඹූ අතර දෙස් විදෙස් පැසසුම් මැද ඉදිරියටම ආහ. චන්න උපුලි කැදැල්ලේ සුරතලිය අසේකාය. පසුගියදා ඇය ජනික් ජයසූරිය සමඟ තමන්ගේම කැදැල්ලකට පියාඹා ගියාය. මෙරට නර්තන වංශ කතාවේ රනින් නම් සලකුණු කළ පියෙකුට දාව ඉපිද එවන්ම දක්ෂ සැමියෙකුට බිරිඳ වූ උපුලි පණිභාරත නාමය ද මෙරට නර්තන වංශ කතාව තුළ සදා සටහන්ව පවතිනු ඇත. තව තවත් නර්තනයේ සොඳුරු ඉසව් සොයා යන්නට නව පරපුරකට මඟ පෙන්වන්නට ඇයට හැකිවේවායි හදසර අපි සුබ පැතුම් එක් කරමු.
මොනිකා සේරසිංහ
සේයාරූ - සුමුදු හේවාපතිරණ