ධනුෂ්ක රත්නායකගේ අලුත්ම ආදර කතාව බලමු
මෙවර කතාබහට එකතු වන්නේ ජනප්‍රිය ටෙලි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයින් අතරට ගෙන ගිය තරුණ අධ්‍යක්ෂවරයක් වන ධනුෂ්ක රත්නායක. ධනුෂ්කගේ අලුත්ම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය වන්නේ මන්දාරම් කතාව. මේ දිනවල ස්වාධින රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන මෙම අලුත්ම ටෙලි නිර්මාණය ගැන ඔහු අපට කිව්වේ මෙහෙම කතාවක්.
මන්දාරම් කතාවේ කියන්නේ ආදර කතාවක්. හැබැයි ඒ ආදරය ඇතුළේ අපේ පවුල් ජීවිතවල සැකය සහ අනවබෝධය නිසා සිදුවන ඛේදවාචකයක් පිළිබඳව තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ තරුණයින්ගේ ආදර කතා විතරයි. මේක තාරුණ්‍ය වගේම මැදිවියේ ආදරයක් ගැන කියවෙන කතාවක්. මන්දාරම් කතාවේ විශේෂත්වය තමයි ඒක. ගොඩක් දෙනෙක් තරුණ කාලේ ආදරය කරලා විවාහ වුණාට පස්සේ වගකීම් සහ බාහිර මිනිසුන්ගේ බලපෑම් එක්ක ආදරය කියන එක කෙතරම් දුරට වෙනස් වෙනවද කියන කාරණය ගැන මෙහි අපි සියුම්ව කතා කරනවා.
ගයාන් වික්‍රමතිලක, පබෝදා සංදීපනී, ආශා එදිරිසිංහ, මොරීන් චාරුනී, කමල් දේශප්‍රිය, චාමී සේනානායක, හර්ශිකා රත්නායක, ප්‍රියනාත් රත්නායක, ගාවින්ද නවරත්න, නයනා හෙට්ටිආරච්චි වැනි ජනප්‍රිය නළුනිළියන් රාශියක් මන්දාරම් කතාව තුළ දකින්නට ලැබෙන අතර, නව පරපුරේ ජනප්‍රිය යොවුන් නළුනිළියන් පිරිසක්ද මෙහි රංගනයෙන් දායකව සිටිනවා.
ගොඩක් වෙලාවට මම එකපාරටම නවකයින්ව කැමරාව ඉස්සරහට ගිහින් දාන්නෙ නෑ. එයාලට හොඳ පුහුණුවක් ලබාදීලා ඊට පස්සේ තමයි නාට්‍යට ගන්නේ. අපේ වීනාවී ඇකඩමිය හරහා ඉගෙන ගත්ත බොහෝ පිරිසක් නාට්‍ය තුළ රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඒක මම දකින්නේ අනාගත ආයෝජනයක් විදියට. ඒ වගේම කියන්න ඕනා මන්දාරම් කතාවේ තේමා ගීතයත් විශේෂයි. මේකේ තේමා ගීතය රචනා කළේ සජිත් වී චතුරංග ඒ වගේම එහි ගායනය සහ සංගීතය නිර්මාණය කළේ මිලින්ද සඳරුවන් මගේ මිත්‍රයා. මේ වැඩේට ඔවුන් දුන් දායකත්වය අමතක කරන්න බැහැ.
මන්දාරම් කතාව නිෂ්පාදනය කර ඇත්තේ අයේෂා අබේගුණරත්නෙ විසින්. මෙහි කතාව සහ තිර රචනය සිදු කොට ඇත්තේ තිලංක නිරංජන බණ්ඩාර. කැමරාකරණය තුසිත අනුරාද සහ චානුක සංජීව දෙදෙනාගෙනි. සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත ශ්‍රී සමරකෝන් සහ අමිල ප්‍රේමරත්න කටයුතු කර තිබෙන අතර, සංස්කරණය සචිත්ර ගයාන් වීරසූරියගෙනි. වර්ණ සංයෝජනය සහ විශේෂ ප්‍රයෝග වජිර ලක්මාල් පෙරේරා දායක ව සිටින අතර, කලා අධ්‍යක්ෂණය රංගන ජයලත්ගෙනි. පසුබිම් සංගීතය නිර්මාණය කර ඇත්තේ හනි නයගරා විසිනි. අංග රචනයෙන් චමිර සම්පත්ද, නිෂ්පාදන කළමනාකරණයෙන් දොන් උපුල්ද දායකව සිටිනවා.
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ස්වාධින රූපවාහිනියේ වත්මන් සභාපති තුමා සුදර්ශන ගුණවර්ධන මහතාව. ඔහු වෙනස් විදියකට හිතන කෙනෙක්. තාරුණ්‍යයේ අදහස්වලට ගරු කරන කෙනෙක්. ස්වාධින රූපවාහිනි නාළිකාවේ කෙටි කාලයක් තුළ වෙනස්ම මාවතකට අරගෙන ආපු කෙනෙක්. ඒ වගේම තමයි ස්වාධින රූපවාහිනි නාළිකාවේ අනෙකුත් අංශ වල ප්‍රධානීන් සහ කාර්ය මණ්ඩලය මේ වැඩේ ප්‍රේක්ෂකයින් අතරට ගෙනියන්න ගන්න උත්සාහය මම ඉහළින්ම අගය කර සිටිනවා.
බුද්ධික සේනාධීර