දේශිය සිනමාව ජාත්‍යන්තරට ගෙනියන්න උත්සාහ කරන අර්ජුන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අර්ජුන කමලනාත් කියන්නේ සිංහල සිනමාවේ සිටින ජනප්‍රිය.. දක්ෂ.. රංගන ශිල්පියෙක්. වසර පහක දැඩි නිහඩතාවයකින් පසුව ඔහු නැවතත් නුදුරේම සිංහල සිනමාව තුළ දකින්න පුළුවන්. රංගන ශිල්පියෙකුට අමතරව මේ වනවිට චිත්‍රපට නිෂ්පාදනයටද වැඩිපුර උනන්ඳුව සිටින අර්ජුනගේ නිෂ්පාදනය යටතේ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී නිකුත් වීමටද නියමිතව තිබේ.

වසර පහක නිහැඬියාවකින් පසුව නැවතත් අර්ජුන ළඟදීම අපි සිනමා තිරයේ දකිනවා?

ලොකු දුකක් තිබුණා සිනමාව ගැන. ඒ හින්දා තමයි සිනමාවෙන් මම ඈත්වෙන්න තිරණය කළේ. ඒත්, බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා නැවතත් සිනමාවට එන්න කියලා. දශක දෙකක් තිස්සේ සිනමාවත් සමග මම වැඩ කරපු කෙනෙක් හින්දා කවදාවත්ම මට සිනමා අමතක කරන්න බැහැ. ඒ කාරණය හින්දම මම නැවතත් සිනමාවට ආවා. මේ වසරේ ඉඳලා නැවතත් මාව දේශිය සිනමාව තුළ දකින්න පුළුවන්.

වසර පහකට පෙර තිබුණ සිනමාව නෙමෙයි දැන් තියෙන්නේ හැබැයි?

මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද, මම සිනමාවෙන් ඉවත් වුණේ කොවිඩ් වසංගත තත්ත්වය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පැවති කාලයේදී. ඒක ඉවර වුණාට පස්සේ ලංකාවේ ආර්ථික ප්‍රශ්න මතුවුණා. එහෙම බැලුවාම හරි පොඩි කාලයයි මම සිනමාවෙන් ඈත් වෙලා හිටියේ. හැබැයි අද වෙන කොට ලංකාවේ සිනමාව දියුණුවෙමින් තියෙනවා දකිනවා. ඒක හොඳ දෙයක්. මම නැවතත් සිනමාවට ආවේ දියුණුවෙමින් තියෙන දේශිය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යන අදහසින්. දැනට ඊට අවශ්‍යය සැළසුම් යොදමින් ඉන්නවා.

එහෙම සැළසුමක් තියෙනවද ඔබේ?

මගේ මිළඟ චිත්‍රපට දෙකම ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ විදෙස් රටවල ප්‍රදර්ශනය කරන්න දැනටමත් කටයුතු කරමින් ඉන්නවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. රටට ඩොලර් ටිකක් හරි ඒ හරහා වැඩිපුර ලැබෙනවා නේ. බොහෝ විට මම ඉදිරියට රඟපානවාට වඩා වැඩිපුර චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට කටයුතු කරයි. ඊට හේතුව තමයි මම කරන නිර්මාණවලට ලොකු වටිනාකමක් මට අරන් දෙන්න තියෙන උවමනාව.

ඔබ චිත්‍රපට නිෂ්පාදනය කරන්නෙක් ලෙස සාර්ථකද?

ඔව්, කුසල්, කිඩ්නැප්, ඝරසර්ප ඇතුළු චිත්‍රපට කිහිපයක් මම නිෂ්පාදනය කළා. ඒ අතරින් ඝරසර්ප මට විශේෂ චිත්‍රපට නිෂ්පාදනයක්. මේ චිත්‍රපටයට මගේ දැනුම හැටියට ඊට සම්මාන 40කට වඩා ලැබුණා. ඒ වගේම හොඳම චිත්‍රපටය ලෙස කිහිපවරක් සම්මානත් හිමිවුණා. ඉදිරියට මා විසින් නිෂ්පාදනය කළ තවත් චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතර, ලාල් ප්‍රියදේවගේ නුහුරු වැයම හා අකිල සඳකැළුම් අධ්‍යක්ෂණය කරන චිත්‍රපට දෙක මට විශේෂයි.

අකිල වගේ නවක හා දක්ෂයෙක් සමග වැඩ කරන එක ගැන ඔබේ අදහස?

අකිල කාලයක් තිස්සේ මට මේ ක්ෂේත්‍රය තුළ මුණ ගැසුණ හොඳ මිත්‍රයෙක්. අනික දක්ෂයෙක්. ඔහුගේ අලුත් චිත්‍රපටය නිෂ්පාදන කරන්න ලැබුන එක හා එහි රඟපාන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. හොඳ කතාවක් මේක. මම හිතන විදිහට අකිල මේක ලිව්වේ සත්‍ය කතාවක් පදනම් කරගෙන. මාර්තු නම වැනිදා ඉඳලා මේ වැඩ කටයුත්ත ආරම්භ වෙනවා.

සිනමාවට ඇවිල්ලා ඔබ වසර විස්සක් විතර වෙනවා. රංගන ශිල්පියෙක් විදිහට ඔබ තෘප්තිමත්ද කළ නිර්මාණ ගැන?

චිත්‍රපට 50කට වැඩි ප්‍රමාණයක මම රඟපාලා තියෙනවා. ඒ චිත්‍රපට අතරින් 35ක්ම ප්‍රධාන නළුවාගේ චරිතේ කළේ මම. සෆ්රාස්ගේ සුදු හංසියේ වගේම ජයන්ත අයියාගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ සුරනිමල යෝධයාගේ චරිතය මාව සිනමාව තුළ ජනප්‍රිය කරවන්න සමත්වුණ චරිත කිව්වොත් හරි. ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ මම ගොඩක් කළේ කළු චරිත. පස්සේ ඒ චරිතවලින් මිදිලා හොඳ නළුවෙක් වෙන්න මට අවස්ථාව ලැබුණා. මට ලැබුණ චරිත ගත්තොත් හැම එකක්ම එකිනෙකට වෙනස්. කළු චරිත, සුදු චරිත, විරයාගේ චරිත වගේම කොමඩි චරිත මේ අතර තිබුණා. ඉතින් නළුවෙක් විදිහට ලැබෙන හැම නිර්මාණයකටම මම මගේ උපරිමය දුන්නා.

බුද්ධික සේනාධීර