දේශීය ක්‍රීකට් විදියට ගත්තොත් සමහර විට අපි ඉන්නේ බොහෝ අඩු මට්ටමක කියලයි පුද්ගලිකව මම හිතන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අජන්ත මෙන්ඩිස්ගෙන් පසුව ඔහු පන්දු යවන රටාවෙන්ම පන්දු යවන මහීෂ් තීක්ෂණ යනු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු ලොකු සම්පතකි. කැරම් ගහද්දී බොහෝ විට භාවිතා වෙන්නේ ඇඟිලි දෙකක් පමණි. ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමේදී ඇඟිලි දෙකක් පමණක් භාවිතා කරමින් පන්දු යැවීමට හැකි නම් එනම් කැරම් බෝල් එක දැමිය හැකි නම් ඔහු සැබෑම දක්ෂ​ෙයකි. අජන්ත මෙන්ඩිස්ගෙන් පසුව මේ හපන්කම කළේ මහීෂ් තීක්ෂණය. පසුගියදා නිමාවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පවා නියෝජනය කළ මහීෂ් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්පතක් වූ මහීෂ් යනු මහ ගසක් ඉහළ යන තරමට අතු බිමට නැමෙන්නාක් මෙන් ඉහළට යන තරමට වඩා නිහතමානී වූ ක්‍රිකට් තරුවකි. ඔහු සමඟ අපි පිළිසඳරකට එක්වෙමු.

මහීෂ් ඔබ වඩා කැමති මහීෂ් කියනවටද තීක්ෂණ කියනවටද?

වැඩි දෙනෙක් මගේ නම හරියට කියන්නේ නැහැ මහීෂ් වුණාට මහේෂ් කියලා කියන්නේ.

මහීෂ් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තවත් නිහතමානී තරුවක්, ක්‍රිකට් ලෝලීන් වඩා ආදරේ ඒ නිසා නේද?

තරුවක්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ගෙ ආදරය දිහා බලද්දී ලොකු සතුටක් ඇතිවන්නේ. හැමෝම වගේ ක්‍රිකට් වලට ආදරෙයිනෙ. ඒක ක්‍රීඩකයින් වන අපට තේරෙනවා.

මහීෂ් ට කුඩා කාලයේදී මොන වගේ අරමුණු ද තිබුණේ?

මගේ කුඩා කාලයේදී ඉඳලාම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදියි. මුරලිදරන් අයියා පන්දු යවන විදිය බොහෝම ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. එදා මගේ ප්‍රියතම පන්දු යවන්නා වුනේ මුරලි අයියා. ඊට පසුව අජන්ත මෙන්ඩිස් අයියා පන්දු යවන විදිය දැකලා ඒ විදියට පන්දු යැවීමට පුරුදු වුණා. මුලින්ම පන්දු යැව්වේ ගෙදර කිචන් එකේ.

කිචන් එකේ බඩු මුට්ටු වලටත් ඒ නිසා හානි වෙන්නට ඇති?

ඔව් ඔව් ගෙදර වීදුරු බිඳිලා තියෙනවා.

ගෙදර විස්තර කිව්වොත්?

මගේ අම්මා, නංගිලා දෙන්නා සහ ඥාති මල්ලියි ආච්චියි මමයි.

මහීෂ් ඉගෙනීමටත් බොහොම දක්ෂ වුණා නේද?

හොඳින් ඉගෙනීම් කළා. සා/පෙළ A (ඒ) සාමාර්ථ 7ක් ගත්තා. ඒ දවස්වල මගේ ආසාව තිබුණේ ගණිත අංශයෙන් හදාරලා ඉංජිනේරු අංශයට යන්න. ඒත් පසුව ඒක වෙනස් වෙලා උසස් පෙළට ලිව්වේ වාණිජ අංශයෙන්. උසස් පෙළ ලිව්ව කාලයේදී 19 පහළ සංචිතයේ එහෙම හිටපු නිසා පොතට කාලය වෙන් කිරීම සීමා වුණා. නිතරම පුහුණුවීම් කරන්න තිබුණු නිසා.

මහීෂ් ක්‍රිකට් වලට විතරමද දක්ෂ?

මම හිතන්නේ ඔව්. ඉගෙනීමටත් දක්ෂ වුණා. ක්‍රිකට් නැතුව ඉගෙනීම් කළා නම් ඒ අංශයෙන් ඉහළට යන්න තිබුණා. දැන් නම් ඉතින් ක්‍රිකට්ම තමයි. අපේ වත්මන් ශ්‍රී ලංකාව නියෝජනය කරන සෑම ක්‍රීඩකයෙකුගේ අරමුණ වන්නේ එක් දින ලෝක කුසලාන ජයක් නැවත ශ්‍රී ලංකාවට ලබා දීමටයි. ඒ අදහස ක්‍රීඩකයින් හැමෝටම තියෙන දෙයක්.

උපාධියක් කළොත් හොඳයි කියලා අද හිතෙන්නේ නැද්ද?

අද ක්‍රිකට් එදා වගේ නෙවෙයි. තාක්ෂණය සහ බොහෝ දේ එක්ක වෙනස් වෙලා.

ඒ නිසා නිරන්තර අවධානයෙන් සිටිමින් ක්‍රිකට් ක්‍රීඩාවටම කැප වී කටයුතු කරන්න වෙනවා. උපාධියක් වෙනුවෙන් විශාල කාලයක් වැයකරන්න වෙනවා. ඒත් ක්‍රිකට් සහ ඉගෙනීම අද කාලයේ හැටියට එකට කිරීම ඉතා අසීරු දෙයක්. තරඟයකට සහ ක්‍රිකට් වෙනුවෙන් සියයට සීයක්ම අවධානය කැපවීම නැතුව අද ජයග්‍රහණය කිරීම ඉතා අසීරුයි. ඒ නිසා ඒ කැපවීම අවධානය අපි යොමු කරන්නේ ක්‍රිකට් වලට.

මේ විදියට ජීවිතය ක්‍රිකට් වෙනුවෙන් කැපකර සිටින මහීෂ් ක්‍රිකට් වෘත්තිය නිසා හම්බ කරන මුදලින් කොටසක් නැති බැරි අයට පරිත්‍යාග කරන කෙනෙක්. කොහොමද මේ පරිත්‍යාගශීලිත්වය ජීවිතයට සමීප වුණේ.

මම හිතන්නේ එය මට අපේ ගෙදරින්ම ආ පුරුද්දක්. කුඩා කාලයේ ඉඳලම මම ආසයි අනෙක් අයට උදවු කරන්න. මගේ නැන්දා සහ සීයා මගේ කුඩා කාලයේ ඉඳලා හිටියේ අපි එක්ක. ඒ දෙන්නා දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් අපි පින් දහම් කරද්දී මිය ගිය ඥාතීන්ට ඒ පින් ලැබෙනවනෙ. එයාලත් ජීවතුන් අතර සිටියදී පින් දහම් කළ අය. හැබැයි උදවු කරනවා කියලා හොයන්න බලන්නේ නැතුව උදවු කරන්නේ නැහැ. ආවාට – ගියාට උදවු කරන්නෙත් නැහැ. උදවු අත්‍යාවශ්‍ය අයට උදවු කරනවා.

මහීෂ් ක්‍රීඩකයකු හට විවේකය ඉතා වැදගත්. විවේකයේදී මොනවගේ දේ කරන්නද ආස?

විවේකයේදී සංගීතය රස විඳින්න හරිම ආසයි. ෆිල්ම්ස් නරඹනවා, ප්ලේස්ටේෂන් ගිහින් පරිගණක ක්‍රීඩා කරනවා. වැඩි හරියක්ම ඉතින් ගීත ඇසීම සහ ෆිල්ම්ස් නැරඹීම තමයි කරන්නේ.

මේ විදියට ෆිල්ම්ස් බලද්දී ගීත අහද්දී රඟපාන්න සහ ගීත ගයන්න ආසාවක් හිතිලා නැද්ද?

අනේ ඒවා හරියන්නේ නැහැ. ගීත නම් ඉතින් අපි කවුරුත් මුමුණනවනේ. ඒත් ගායකයකු වෙන්න නම් බැහැ. මම හොඳ ගීත රසිකයෙක්.

මේ දිනවල සිත් ගත් ශිල්පීන් කවුද? කාගේ ගීතද මිමිනෙන්නේ?

බොහෝ ගීත අහනවා. ඒ අතරින් යුකී ගේ ඔබ දැකලා ගීතය වගේම කාංචනා අනුරාධිගේ ගීත වැඩිපුර අහනවා. කාංචනා අනුරාධිගේ ගීත වලට මම කොහොමත් ආසයි.

මහීෂ් බොහොම ආදරණීය කෙනෙක්නෙ. ඉතින් ආදරය කියන දේ දකින්නේ මොන විදියටද?

ආදරය කරද්දී ඉවසීම කියන දේ තිබිය යුතුමයි.

මහීෂ්ගේ ප්‍රේමය මොනවගේද?

මගේ ප්‍රේමය හොඳයි. බොහොම ආදරණීයයි.

ජීවිතය ගැන මොන විදියටද මහීෂ් හිතන්නේ?

ජීවිතයේ අපි හැමෝටම අවස්ථාවන් ලැබෙනවා. ඒ ලැබෙන අවස්ථාවලට උපරිම සාධාරණයක් කිරීම හොඳයි. ජීවත් වෙද්දී අපි කරන කියන සියල්ලෙහි හරි - වැරැද්ද දන්නේ අපි. ඒ නිසා තමන් නිතරම හරි විදියට ඉඳලා හරි දේ කළොත් යහපත් විදියට හිතුවොත් ඉබේම ජීවිතය ලස්සන වෙනවා.

ජීවිතයේ මහීෂ් කැමති මොන විදියට ඉන්නද?

නිදහසට බොහෝම කැමති කෙනෙක්. ප්‍රසංග නරඹන්න එහෙම යනවා. ඒත් නිතරම පාටි - උත්සව සමාජ මාධ්‍ය එක්ක ඉන්න කැමති නැහැ. නිදහස ඊට වඩා අගය කරනවා. නිවස වුණත් හදන්න තෝරා ගන්නේ බොහෝම නිස්කලංක ජනාකීර්ණ නොවූ තැනක්. ඉවසීම එක්ක නිදහස වැඩිපුර හොයන කෙනෙක්.

 

මහීෂ් ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙනුවෙන් ඔබ පසුගියදා ක්‍රීඩා කළා. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දෝනි, රයිනා වගේ අය එක්ක ක්‍රීඩා කරන්න ලැබීම සහ ඒ අත්දැකීම මොන වගේද

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. දේශීය ක්‍රීකට් විදියට ගත්තොත් සමහර විට අපි ඉන්නේ බොහෝ අඩු මට්ටමක කියලයි පුද්ගලිකව මම හිතන්නේ. එයාලගේ පළපුරුද්ද යොදා ගන්නේ කොහොමද? එයාලා රට ඇතුළේ ක්‍රිකට් ගහන්නේ කොහොමද කියන දේ ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. අපේ ක්ලබ් ලෙවල් එක එක්ක බලද්දී එයාලා බොහෝ ඉදිරියෙන් ඉන්නේ. ජාතික කණ්ඩායම නියෝජනය කරන්න බැරි වුණත් ක්‍රිකට් හරියට කළොත් එයාලට ජීවිතය ගෙනියන්න පුළුවන් බව එයාලා දන්නවා. දෝනි එක්ක ක්‍රීඩා කරද්දී සංකීර්ණ නැහැ. එයා නිතරම කියන්නේ කීප් ඉට් සිම්පල් (Keep it Simple) කියායි. ක්‍රීඩකයකු සතු පුළුවන් දේ වෙතින් ප්‍රයෝජන ගැනීම හැර වෙන දෙයක් කරන්න එයා හදන්නේ නැහැ. මැච් එකක් දිනන පරදින එකට වඩා අපි කණ්ඩායමක් හැටියට තරඟාවලියට මුහුණ දෙන විදිය ගැන සැලැස්මක් ක්‍රමයක් තියෙනවනෙ. ඒ විදියට අනුගත වෙලා ක්‍රීඩා කරමු කියන දේ තමයි එයා කියන්නේ. කණ්ඩායම පහතට නොවැටී ඉදිරියට යෑම ගැන තමයි හිතන්නේ. දෝනි ඇත්තටම හොඳ කෙනෙක්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් වඩා මිත්‍ර වුණේ?

නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ බොහොම මිත්‍රශීලි වුණේ. එයාලා අපේ තේ වලට බොහොම කැමැතියි. මම මෙහේ ඉඳලා යනකොට ඩිල්මා ටී ගොඩාක් ගෙනිච්චා. ඒත් ඒවා මදි වෙලා මතීෂ පතිරණ එනකොට තව ටිකක් ගෙන්වා ගත්තා. එයාලා අපේ තේ වලට හරි ආසයි. බ්‍රාවෝ, මොයින් අලී වගේ ක්‍රීඩකයින් වුණත් හරිම මිත්‍රශීලියි. දෝනි ගේ රූම් එක පාන්දර තුන හතර වෙනකල් ඇරලා තියෙන්නේ. කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයකුට එන්න පුළුවනි. ඉතින් ඔක්කෝමලා එයාගේ කාමරේට එක් රොක් වෙනවා. මොයින් අලී පාපන්දු වලට මාර ආසයි. ලිවර්ෆූල් මැච් එක යද්දී එයා ලිවර්ෆූල් ටී ෂර්ට් එක ඇඳගෙන එන්නේ. අපිත් ඉතින් එයා එක්ක එකතු වෙලා චියර් කරන්න ඕනෑ. නැත්නම් එයා කැමති නැහැ. මම කැමති නැත්නම් එයා මට ඩිනර් එකවත් ඕඩර් කරන්නේ නැහැ. තරහට නෙවෙයි. ඒ තරමට ලිවර්ෆූල් ෆෑන් කෙනෙක්. එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩා කිරීම ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක් වුණා.

සඳුන් ගමගේ