දර්ශන්ට ඒවගේ චරිතයක් රඟපාන්න ලොකු හීනයක් තිබුණා
ලාංකේය දමිළ සිනමා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ ‘කෝමලි කිංග්ස්’ චිත්‍රපටයේ පිටපත් රචකයා සහ අධ්යක්ෂවරයා වන්නේද ඔහුය. ඇගේ ඇස අග, ඉනිඅවන්, කෝමලි කිංග්ස් ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට නිර්මාණයන්ය.
රංගන ශිල්පියකු ලෙස චිත්‍රපට කලාව තුළ නව මානයන් සොයායන කින්ග් රත්නම් මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවට එන නවතම සිනමා නිර්මාණය වන්නේ සිංහල සිනමාවට වෙනස්ම හැඩයක් හා තේමාවක් සමඟ එකතුවුනු ප්‍රාණ චිත්‍රපටයේ ‘නාගනා’ ලෙසයි.
ඉන්දියාවේ නිපදවන මුරලි චිත්‍රපටයේ අර්ජුන රණතුංගගේ චරිතය නිරූපණය වෙනුවෙන් රූපගත කිරීම් සඳහා විදේශගතව සිටින කාර්යබහුල මොහොතක කින්ග් අපේ කතාබහට එකතු වුණේ මෙලෙසිනි.
අපි ප්‍රාණ චිත්‍රපටයෙන්ම කතාබහ ආරම්භ කරමු?
මට ඇත්තටම මේ ප්‍රාණ චිත්‍රපටයේ නාගනා ගේ චරිතයට අවස්ථාව ලැබෙන්නේ සංජය නිර්මාල් මහතාගේ කණ්ඩායමේ සහය අධ්යක්ෂවරයා හරහා චරිතය ගැන කිව්වාම චරිතය භාරගන්න කලින් මට පිටපත කියවන්න ඕනකමක් තිබුණා. හේතුව තමයි මේ කතාව 1544 වසරේ ලංකාවේ සිදුවූ ඛේදනීය සිදුවීමක්වීම. අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයක් හේතුවෙන් සැඟවී ගිය මන්නාරම් මහා සංහාරය පදනම් කරගනිමින් තමයි ප්‍රාණ නිර්මාණය වෙන්නේ.
15 වෙනි සියවසේ යාපනේ සංකිලි රජුගේ දේශපාලන ස්ථාවරය දෙදරිමේ භීතිය හේතුවෙන් දමිළ ජනතාව හත්සීයක් කතෝලික ආගමට හැරුණු නිසා මන්නාරම තෝට්ටවේලි ගම්මානයේදී මරා දමනවා. ඒ ඓතිහාසික ස්මාරකයන් මන්නාරමේ අදටත් තියෙනවා. එතකොට හත්සීයක් පිරිස දවාලූ මොහොතකින් අරඹන මේ කතාව හරිම සංවේදී කතාවක්. ඒ නිසාම මම කිහිපවතාවක් මේ පිටපත කියෙව්වා.
ප්‍රාණ සඳහා ඔබේ දායකත්වය ගැන කතාකරොත්?
කොහොම නමුත් මේ චරිතය භාරගනිද්දී මම දමිළ ජාතිකයෙක් නිසාම දෙපාරක් හිතන්න වුණා. මොකද මේ නිර්මාණය දෙමළ ජනතාව කොහොම භාරගනීවිද කියන ප්රශ්නය මට ඇතිවුණා. මේ නාගනා කියන චරිතය ඉතිහාසයේ හිටියද නැද්ද කියන එක පිළිබඳව සටහනක් නැහැ. නාගනා කියන්නේ ආගමික අන්තවාදී කුමන්ත්‍රණකරුවෙක්. මේ තරම් දරුණු දුෂ්ඨ චරිතයක් මම මීට පෙර කරලා තිබුණේ නැහැ. ඒ නිසාම ඒ අත්දැකීම මට ලබාගත්තා නම් හොඳයි කියලා හිතුනා. හැබැයි නාගනා කියන දරුණු මනුස්සයා තුලින් කින්ග් රත්නම්ට පොඩි අවාසියක් වෙන්න පුළුවන් කියලත් මට හිතුනා.
මොකද මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාගෙන් මට ආදරණීය ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. හැමෝටම පිලිකුල් චරිතයක් බවට නාගනා පත්වෙනවා. ඒක තමයි කතාවේ අරමුණ. ඒත් නළුවෙක් හැටියට මම සාර්ථකයි කියලා හිතනවා.
මම මුලින් කිව්වා මම දෙමළ ජාතිකයෙක් නිසා මේ චරිතය භාරගන්න ගොඩක් හිතුවා කියලා හේතුව දෙමළ ජන කොට්ඨාසය කියන්නේ. මේ රටේ තාඩන පීඩනයන්ට ලක්වුණ. කඳුළු පිරිච්ච තුවාල පිරිච්ච ජනකොට්ඨාසයක්. මමත් ඒ ජනකොට්ඨාසය නියෝජනය කරනවා. මම සුළු ජාතිකයෙක් විදිහට ඉපදිලා 83 එක් රැයකින් අපේ ජීවිත වෙනස් වෙනවා. අපේ නුගේගොඩ ගෙදර ගිනි තිව්වාට පස්සේ කෝච්චියේ මඩකලපුවට ඇවිල්ලා අපි ජීවත්වුණෙත් අනාථ කඳවුරුවල.
එතකොට ඉතිහාසයේ කළු පැල්ලමක් මේ විදිහට කතා කරද්දී ඒක දරාගන්න අමාරුයි. මම මේක කළ යුතුද කියලා සියවතාවක් හිතුවේ ඒකයි. ඒත් අද මම සතුටු වෙනවා ඒ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ලැබීම ගැන.
ඔහු නැතුව ඔහු එක්ක අපි ප්‍රාණ නැරඹුවා. දර්ශන් ධර්මරාජ් ආ ගමනේ ළඟින්ම ඉඳපු ගමන් සගයා ඔබ
ඇත්තටම මට දර්ශන්ව මුණගැහෙන්නේ ඉනිඅවන් චිත්‍රපටයේදී. ඒ 2012 දී. පසුකාලීනව අපේ බැඳීම ඉතාම ළඟ බැඳීමක් වුණා. අවසාන වශයෙන් දර්ශන් සහ මම රඟපෑවේ ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි චිත්‍රපටයේ. අපි දෙන්නට දෙන්නා මේ ශිල්පය හොඳින් බෙදාගත්තා. දර්ශන් කියන්නේ ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ප්‍රාණ චිත්‍රපටයේ දර්ශන් රඟපෑවේ පුදුමාකාර සතුටකින්. ඒ ප්‍රථම වතාවට දෙමළ රජෙකුට රඟපාන්න ලැබීම සමඟ. ඔහුට සංකිළි රජුගේ චරිතය ලැබීම ගැන මම පෞද්ගලිකව සතුටුවුණා. දර්ශන්ට ඒවගේ චරිතයක් රඟපාන්න ලොකු හීනයක් තිබුණා. ප්‍රාණ චිත්‍රපටයේ අපි දෙන්නට කරන්න ලොකු දර්ශන තිබුණා. ඒ සඳහා පුදුමාකාර සහයෝගයක් මගේ සගයා මට දුන්නා.
ඇත්තටම දර්ශන් දර්ශන තලයක ඉන්නවා කියන්නේ වෙනම ආලෝකයක්. රූගත කිරීම්වලට ගියහම හරිම විනෝදෙන් අපි කාලය ගත කරන්නේ. දර්ශන් ඉන්නේ විහිළුවෙන්මයි. ඒ වගේම දර්ශන්ට තියෙනවා පුදුම හැකියාවක්. ගලක් උඩ හරි ඕනම වෙලාවක වැටිලා නිදාගන්න පුළුවන්. ඒතරමට හරිම සැහැල්ලු මිනිහෙක් දර්ශන්. ඒ සැහැල්ලුවෙන්ම තමයි ඔහු ගියෙත්.
මම ලන්ඩන්වලට යන්න කලින් දර්ශන්ට කීපවිටක්ම කතා කළා. දර්ශන් ටිකක් දඩබ්බරයෙක්. දඩබ්බර කම්වලට මම ටිකක් බැනලත් තමයි ලන්ඩන්වලට ආවේ. ලන්ඩන්වලට ගිහින් ෆෝන් එක ඔන්කරනකොටම ආපු නිවුස් එක මට දරාගන්න බැරිවුණා. දෙමළ කලාකරුවෝ විදිහට අපි ඉන්නේ කීපදෙනයි දර්ශන් මම ජීවිතයේ දුක සතුට ඕනම වෙලාවකදී බෙදාගත්තා. මට දර්ශන් එක්ක තිබුණේ පුදුමාකාර ආදරයක්. ලංකාවේ සිනමාව දෙමළ, සිංහල කියලා බෙදන්න බැරි හොඳම උදාහරණය දර්ශන්.
දර්ශන්ට තිබුණේ එක හීනයයි. ඉන්දියාවට ගිහින් චිත්‍රපටයක ලොකු චරිතයක් කරන්න. මගේ ගමන් සගයා සිංහයෙක් විදිහට ආවා සිංහයෙක් විදිහට ගියා. ඒ අඩුව මේ සිනමාවේ කාටවත් පුරවන්න බැහැ. මම ලංකාවට ඇවිල්ලා දර්ශන්ගේ දුව සහ බිරිඳ බලන්න යනවා. දෙමළ කලාකරුවෝ විදිහට දර්ශන්ගේ දුවගේ අනාගතය වෙනුවෙන් දැනෙන යමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබේ සිනමා ජීවිතේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් තමයි මුරලි චිත්‍රපටය. එහි ඔබ නිරූපණය කරන අර්ජුන රණතුංග මහතාගේ චරිතය මොනවගේ අභියෝගයක්ද ගෙනාවේ?
මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් ලබාගැනීමේ වාර්තාව සිහිගන්වමින් සහ මුරලිගේ ජීවිත කලාව පාදක කරගනිමින් නිර්මාණය වන 800 මුරලි චිත්‍රපටයට පහුගිය කාලේ විරෝධයක් එල්ල වුණා දකුණු ඉන්දියාවෙන්. එහි මුරලිගේ චරිතය රඟපෑ දකුණු ඉන්දියානු නළු විජෙයි සේතුපතිට රංගනයෙන් ඉවත්වෙන ලෙස දකුණු ඉන්දියාවෙන් තර්ජන එල්ලවුණා. ඒ සිදුවීම් සමග විජෙයි ඉවත්වෙනවා. ඒ කාලෙදිම තමයි අර්ජුන රණතුංගගේ චරිතයට මාව තෝරගෙන තිබුණේ. චිත්‍රපටය නොකෙරෙන මට්ටමක තිබුණත් පසුව මුම්බායි වලින් වෙනත් රංගන ශිල්පියෙකු සොයාගෙන නැවත චිත්‍රපටය රූපගත කිරීම් ආරම්භ වුණා. මේක දැවැන්ත නිෂ්පාදනයක්. මුරලි චිත්‍රපටය ලංකාව, එංගලන්තය, ඉන්දියාව වැනි රටවල රූපගත කිරීම් කෙරෙනවා. මේ දිනවල මම මුරලි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ලන්ඩන්වලට ඇවිත් ඉන්නේ.
ඇත්තම කියනවනම් මම පුංචිකාලේ ඉඳලා ක්‍රිකට් පිස්සෙක්. 96 ලෝක කුසලානය ලංකාව දිනද්දි මට අවුරුදු 16 යි. මැච් එක TV එකේ බලලා සතුටට මම ඇඬුවා අද වගේ මතකයි.
අර්ජුන රණතුංග මහතා ගැන ලොකු අධ්‍යයනයක් පුංචි කාලේ ඉඳලා මට තිබුණා. එවැන්නකුගේ චරිතයක් කරන්න ලැබීම මා ලැබූ ලොකු භාග්‍යයක්. ජීවත්වෙන කෙනෙකුගේ චරිතයක් නිරූපණය කිරීම ඉතාම අසීරු දැවැන්ත අභියෝගයක්. අවුරුදු 2 ක් මම අර්ජුන රණතුංග මහතා ගැන අධ්‍යයනය කරලා තමයි චරිතයට යොමුවුණේ.
ලබන වසරේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබේවි කියලා විශ්වාස කරනවා.
දමිළ සිනමාව කියන්නේ ඉන්දියාවෙන් පිටතත් දැවැන්ත ක්ෂේත්රයක්. ඒත් ලංකාවේ ද්‍රවිඩ සිනමාවට දොරක් විවර නොවෙන්නේ ඇයි?
අපි රටක් හැටියට මගහැර ගත්ත ලොකු හිඩැසක් තමයි දෙමළ සිනමාව කියන්නේ. අපේ රටේ දෙමළ සිනමාව නිර්මාණය වුණා නම් අද ලොකු විදේශ විනිමයක් ගේන කර්මාන්තය බවට පත්වෙලා. තාමත් අපි පරක්කු නැහැ. මේක දේශපාලනික ප්‍රශ්නයක්. අවුරුදු 40 ක් තිස්සෙ තියෙන දෙමළ ප්‍රශ්නයක් නිසා ඒකට මොකක් හරි හවුල් කරගෙන ඒ කර්මාන්තය අපි නැති කරගෙන තියෙනවා. මලයාලම්, තෙලිඟු දකුණු ඉන්දියානු චිත්‍රපට එක්ක සටන් කරන්න පුළුවන් දමිළ සිනමාවක් අපේ රටේ හදන්න පුළුවන්.
70 ගණන්වල මේ රටේ දෙමළ සිනමාවක් හැදුණ යුගයක් තිබුණා. ඒක අමතක කරලා තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දකුණු ඉන්දියානු ආභාෂය තියෙන සිනමා දැනුම තියෙන දක්ෂ තරුණ තරුණියන් පිරිසක් යාපනේ ඉන්නවා. ඒත් ඒ අයට එළියට එන්න කර්මාන්තයක් නැහැ. මගේ එකම අරමුණ මේ රටේ දමිළ චිත්‍රපට කර්මාන්තයක් ඇති කිරීමටයි. කලාකරුවෙක් විදිහට මම වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.
නදීශා අතුකෝරළ